ගිවිසුම නිසා බාබර්ලා පැමිණෙන බව කීම විකාර කථාවක්- මහාචාර්ය රොහාන් සමරජීව
එක් පැත්තකින් කිසිදෙයක් නොදෙන්නේ නම්, අපි තමුසෙලා සමග ගිවිසුම් අත්සන් කරන්නේ කුමකට ද යන්න අනික් පැත්තේ අය අසන්නට පුළුවන. එවැනි තත්ත්වයන් රටවල් අතර තිබේ. චීනය සමග අපේ අය අත්සන් කරන්නට උත්සාහ දරන ගිවිසුම ගැන සාකච්ඡාවේ දී මට ලැබී ඇති ආරංචි අනුව චීනය තරමක් නුරුස්නා ලෙස එසේ ප්‍රශ්නකර ඇත. නමුත් අපි අකැමැති නම් එසේ ඇතුලත් නොකර ඉන්නට පුළුවන්කමක් ඇති බවයි මා පවසන්නේ. ක්ෂේත්රයක් දාන්න අවශ්‍ය නම් දමන්නට පුළුවන. එසේ දමන විට මාදිළි 4ම ඇතුලත් කරන්නට පුළුවන් වගේම ඉවත්කරන්නට ද පුලුවන.
ඊ ළගට ඒ මාදිළියක් ඉදිරිපත් කරනවිටත් ඒකට කොන්දේසි දමන්නට ද පුළුවන. එසේ නැත්නම් දෙන්නේ කුමක් ද යන්න ද පැවසිය හැක. උදාහරණයක් ලෙස ස්වභාවික පුද්ගලයින් එහාට මෙහාට යනවිට ඉන්ට්‍රා කෝපරේට් ට්රාන්සරීස්ලා යනුවෙන් සංකල්පයක් තිබේ. එයින් අදහස් වන්නේ සමාගම ඇතුලේ එක තැනකින් තව තැනකට යවන අය ගැන ය. ඒක රටකට නිර්වචනය කළහැක. දැන් සිංගපූර්ව හා ඉන්දියාව අතර ගිවිසුමේ දෙගොල්ලන්ගේ නිර්වචන සමාන නැත. මෙහෙම උපාධියක් තිබිය යුතුයි, මෙතරම් වසර ගණනක අත්දැකීම් තිබිය යුතුයි යනාදි ලෙස සිංගපුර්වට කියන්නට පුළුවන. ඉන්දියාවට කියන්න පුලුවන් උපාධියක් තියෙන්නට අවශ්‍යයි නමුත් වසර 3ක් ප්‍රමානවත් බවට. ඒකත් ඒ අයට නිර්වචනය කරන්නට හැකියි ඒ අයට අදාළ වන ආකාරයට. එවිට ඒ පුද්ගලයාට යන්නට එන්නට හැකිවන්නේ ඒ නිර්වචනයට ඇතුලත් වුවහොත් පමණි. සිංගපූර්ව ඒ පුද්ගලයාගේ භාර්යාව හා පවුල රැගෙන ආ හැකි බව නිශ්චිතවම සඳහන් කරනු ලැබේ. නමුත් එයා පැමිණි පසු රක්ෂාවකට යනවා නම් එයට ඉඩ සළසන බවට ඒ අය පොරොන්දු වේ. නමුත් රක්ෂාවක් දෙන්නේ නැත. රැකියාවකට ඉල්ලුම්කර ඒ සුදුසුකම් වලට රැකියාවක් ඇත්නම් යා හැක. ඉතා සියුම්ව මේ දෙන පොරොන්දු ලියන්නට පුළුවන. මා සඳහන් කළ ඒ සංකල්පය ගත්විට මේ එන පුද්ගලයා මේ සමාගමේ වසර 3ක්වත් සේවය කළයුතු බව සඳහන් කළහැක. එහෙම නැතිව මේ සමාගම ට මිනිසෙකු ගන්නට අවශ්‍ය නිසා අලුතෙන් කෙනෙක් බඳවාගෙන හිටි හැටියේ මෙහෙට එවන්නට නොහැක. මගේ අවශ්‍යතාවය තිබෙන්නේ 2016 නම් මම 2016 බඳවාගත් අයෙක් එවිමට නොහැක. 2013 බඳවාගත් අයෙක් තමයි ඒ අනුව එවන්නට හැකි වන්නේ. එහෙමත් කොන්දේසි දමන්නට බැරිකමක් නැත.
මේ කොන්දේසි හොදයි කියන එක නොවේ මා මෙයින් කියන්නේ. මේ ගැන හදාරන අයෙකුට මෙවා දැක ගැනීමට හැක. ඒ ඒ රටවල් එක එක ආකාරයට මේ කොන්දේසි ලියති. ඊ ළගට අපිට ඒ සමාගමක සේවය කරන්නට පැමිණි විට කුමන හෝ හේතුවක් මත රැකියාව නැතිවුවහොත් නැවත තමන්ගේ රටට යන්නට වෙන බව කිව හැක. එසේ නැතිනම් වෙන සමාගමක සේවය කළහැකි බව පැවසිය හැක. හැම එකකටම කාලසීමාවක් ද දැමිය හැක. බොහෝ ඒවාගේ වැඩිම වුවහොත් වසර 5ක් ලෙස සඳහන් වේ. ඔය ආකාරයට කොන්දේසි දමන්නට පුළුවන. කල්පනාකර බැලූවිට මේක සකස්කර තිබෙන්නේ සමාගම්වල පහසුව සඳහා ය. මේ සමාගම් යනු කවු ද? මේවා මා කියූ ගෝලීය අගය දාමයේ එහෙ මෙහෙ දුවන සමාගම් වේ. ඒ අයට වැඩක් ලැබුනාම ඒ අය ඒ ඒ තැනවල හෙවත් රටවල අවශ්‍ය ශ්‍රමය මෙහෙයවා ගැණිම සඳහා තමයි මේ පහසුකම් සපයන්නේ.
ඒකේ වාසිය ලබන්නේ ද ඒ ඒ සමාගම් ය. ඒකෙන් අපිට අවාසියක් තිබෙනවාද යන්න ඇසුවොත්, මටනම් පෙනෙන්නේ එතරම් අවාසියක් නැත. අර බරපතල කොන්දේසි දැමුවොත්, උදාහරණයක් ලෙස සේවකයින්ට භාර්යාවන් ගෙනෙන්නට නොහැකි කොන්දේසියක් ඇත්නම්, තමන් මේ සමාගමේ සේවය කරන්නට පැමිණ වෙන සමාගමක සේවය කරන්නට බැරිනම්, අර මිනිසා සම්පූර්ණයෙන්ම වහලෙක් නැත්නම් සිරකාරයෙකු බවට පත්වේ. ආපසු යන්නට හැකියාව තිබුණත් මට හිතෙන්නේ එක හොද විදියක් නොවේ. හුග දෙනෙක් බරපතල කොන්දේසි දමන්නට කැමති වූවත් එවිට ඔය ප්රශ්නය මතුවේ. මානුෂික පැත්තෙන් බැලු කළ මේ දෘඩ කිරීමේන් වාසිය තිබෙන්නේ කාට ද? එවිට සමාගමට කේවල් කිරීමේ හැකියාව ඉතා ඉහල යයි. ඊ ළග කාරනය තමයි මේ ස්වාධින කම්කරුවන්ට එන්නට පුළුවන් කියන අදහස. මෙහෙ රැකියා දැන්වීමක් පලකල සැනින් ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත්කර එන්නට පුළුවන් කියන අදහස. මේ ගිවිසුම් මගින් ඒවා සාමාන්‍යයෙන් කරන්නේ නැත. ඒ නිසා මම හිතන ආකාරයට ඒ ගිවිසුම් යටතේ රැකියාවලට යන අහිංසක ජනතාව මේ නෛතික රාමුවලට දැමීම හොඳ දෙයකි. මොකද ඔය ගිවිසුම් අත්සන් කලාට මැද පෙරදිගට යන ඔය දුප්පත් ජනතාවට රැකවරනයක් නැත. ඒ නිසා ගිවිසුම් අත්සන්කල පසු කරනවෑමියෝ වැනි අය පැමිණිය හැකි බව කීම විකාරයකි. ඒ කොටස්වලට මේ ගිවිසුම් අදාල වන්නේ නැත. මේවාට ඇතුලත් වන්නේ උපාධියක් සහ අත්දැකීම් ඇති අයවේ. මේවා තිබෙන්නේ වෘත්තිකයින්ට ය. දැන් වෘත්තිකයෝ ගත්කල ස්වාධීන වෘත්තිකයෝ යනුවෙන් සහ සමාගම් ඇතුලේ වැඩ කරන වෘත්තිකයෝ යනුවෙන් කොටස් දෙකක් සිටිති. මම ගත් කළ ස්වාධින වෘත්තිකයෙකි. මා සමාගමකට නතු වූ පුද්ගලයෙක් නොවේ. මම රටින් රට යනවිට මට ආවරණයක් නැත. එසේ නම් මට ලැබෙන්නට පුලුවන් ආරක්ෂාව කුමක් ද ? ඔය සිංගපූර්වල නම් පිට රටින් වෘත්තිකයෙක් පැමිණියහොත්, ඒ අයට ඊ ටී එෆ් , ඊ පී එෆ් වලට අනුරූප ගෙවිමක් කරන්නට සිද්ධ වන්නේ නැත. ඉස්සර කළේ එසේ නොවේ. ඉස්සර කපා ගන්නවා නමුත් ගෙවන්නේ නැත. ඒ නිසා තමයි දැන් කියන්නේ අපෙන් කපා ගන්නෙත් නෑ අපිට දෙන්නෙත් නෑ. ඔය වගේ කොන්දේසි තමයි තිබෙන්නේ. ඒවා වගන්තියෙන් වගන්තිය ලියා ඇත.
මේ අය අහන අනික් ප්රශ්නය තමයි ගිවිසුම පෙන්නන්නට නොහැකි ද යන්න. ඇත්තටම පෙන්නන්න තවම ගිවිසුමක් නැත. එතකොට ලංකාවේ අයට ඒක සංකීරණ නැත් ද අසති. අපි බබ්බු නොව ඒ වැනි ගිවිසුම් හදන්නට අපිටත් පුළුවන. යම් කාලයක් යන්නට පුළුවන් නමුත් වෙන රටවල පූර්වාදර්ශ ගෙන අපිට ගිවිසුමක් හදාගන්නට බැරිකමක් නැත. සිංගපූර්වේ ආකාරයට හදනවා යන්න කිව හැක. සිංගපුර්ව ලිහිල් වැඩි නම් ඉනිදියාවේ ආකාරයට හදන්නට පුළුවන. අපිට මුරිසියේ ආකාරයට ද හැදිය හැක. අවශ්‍ය නම් අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්නට ද පුළුවන. මේවා කරන්නට වෙලාවක් ද ගතවේ. මේකට යම් කිසි තාක්ෂණික දැනුමක් තිබිය යුතුබව අමුතුවෙන් කිවයුතු නැත. ඒ ගිවිසුම් බැලූ කල ඉංග්‍රීසියෙන් නොව වෙනත් භාෂාවකින් ලියූවා සේ ය. ඒකට ආකෘතියක් තිබෙන අතර ඒ ඒ වචනවලට එක එක තේරුම් තිබේ. ඒ වචනම යොදා මේක ලිවිය යුතුය.
මේක දෙපැත්තකට වැඩකරන එකක් බව අපේ අය දන්නේ නැත. ඒ අය නිතරම කියන්නේ පිටරට මිනිසුන් මෙහෙ එන බව ය. පිට රට සමාගම් මෙහෙ එන බව ය. ඒක මහ දීන ආකල්පයකි. අපේ අය යන්නේ නැත් ද? අපේ අයත් යති. අපේ සමාගම් පිටරට ආයෝජනය කර තිබේ. නයනා සැලෝන් ගතහැක. ඒ අය පිටරටවල කාර්යාල විවෘතකරගෙන ආයෝජනය කරගෙන ආදායම් උපයමින් සිටිති. ඒ අයටත් මේවායෙන් සහනයක් ලැබෙන බව කවුරුවත් සිතන්නේ නැත. අපි මැදි ආදායම් රටක් නම් අපි ඒ පටු රාමුවෙන් මිදිය යුතු වේ. දම්රෝ එකවගේ . එහෙම නැතනම් දිල්මා වගේ. එහෙමත් නැත්නම් ඉන්ෆොමැටික් සමාගම වගේ හිතන්නට අවශ්‍ය ය. මම ශාන්තිකරයේ කුඩා දූපත්වලට යනවිට ඉන්ෆෝ මැටික්ස් කාරයෝ සිටිති. ෆීිජි වල වරායක් කලමණාකරනය කරන්නේ ලංකාවේ ඒට්කන් ස්පෙන්ස් සමාගම ය. ඒවා තමයි ඔය සේවා වෙළදාම . ඒ අයට මේ ගිවිසුම් වාසිදායක ය. ගිවිසුම් වලින් කරන්නනේ නෛතික රාමුවක් දීලා අවිනිච්චිතතාවය දුරුකර අර ගණදෙනු වියදම් අඩුකරන එකය. ඒ ගිවිසුමෙන් ප්‍රයෝජන ගන්නට අපේ කට්ටිය උද්යෝගයෙන් ව්‍යාපාර කටයුතු කළයුතු ය. එතකොට තමයි වාසියක් ගන්නට හැකි වන්නේ. අපනයන වලට පමණක් නොව මේ ගිවිසුම් ආනයන වලටත් හොද ය. ඔය ආකාරයට ඒක දාම පිළිබද ප්‍රශ්නයක් මිස අපනයන වැඩිකර ආනයන අඩුකර ක්‍රම වේදයක් නොවන බව තේරුම්ගත යුතු ය.
