ඇමති බන්දුලගෙන් තවත් ගැසට්ටුවක් – ආහාර වර්ග 10කට ස්ථාවර මිලක්
ආහාර ද්‍රව්‍ය 10 ක් පාලන මිලක් යටතේ ජනතාවට ලබාදීමට අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි
ඒ අනුව හාල්, පිටි, සීනි, පරිප්පු, ටින්මාළු, හාල්මැස්සන්,ලූණු, ආර්තාපල්, බිත්තර හා කුකුල් මස් යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ස්ථාවර මිලක් යටතේ ලබාදීමට නියමිතය.
සතොස සමූපකාර සහ කිව් ෂොප් ජාලය හරහා මෙම ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයින් වෙත පාලන මිලක් යටතේ ලබාදෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මේ අතරින් හාල්, පිටි, සීනි, පරිප්පු, ටින්මාළු, හාල්මැස්සන්, ආදිය මේ වනවිටත් ගැසට් නිවේදන මගින් මිල පාලනය කොට ඇත. එසේ වුව ද එම මිලට භාණ්ඩ මිල දී ගැනීමේ හැකියාවක් වෙළෙඳපොළේ නැත.
දේශීය නිෂ්පාදකයන්ගෙන් හා ඝෘජු ආනයනකරුවන්ගෙන් ඉහළ ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ අවම මිලකට ලබාගෙන ස්ථාවර මිලක් යටතේ පෙබරවාරි මාසයේ සිට ජුනි මස දක්වා මාස 06ක කාලය තුළ පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
මේ අතර ලංකා සතොස ආයතනයේ සිදුවී ඇති වංචා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කර තිබෙන බවද වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකදී බන්දුල ගුණවර්ධන අමාත්‍යාවරයා මෙම අදහස් පළ කළේය.
කෙසේ වෙතත් , රජයේ ලේක් හවුස් පුවත්පත් පසුගිය දා වාර්තා කළේ, රජය නියම කළ අඩු මිලට භාණ්ඩ විකිණීමෙන් සතොසට රුපියල් කෝටි හය සීයකට වැඩි පාඩුවක් සිදු වී ඇති බව යි.

