යාපනේ කොවිඩ් පොකුරක් බිහිවෙයි ! උඩුවිල් අගුළු දමයි ; පාසල් දින නියමයක් නැතිව වසයි

යාපනයේ උඩුවිල් ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 26 ක් ඊයේ හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශය හුදෙකලා කොට විශාල පිරිසක් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකොට ඇත . ප්‍රදේශයේ පාසල් ද දින නියමයක් නැතිව වසා දමා තබේ.ප්‍රදේශයේ කොවිඩ් පොකුරක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය අංශ විශ්වාස කරයි.
මේ තත්ත්වය තුළ යාපනය ප්‍රදේශයේ පාසල් 73 ක් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට උතුරු පළාත් අධ්‍යාපන බළධාරීන් පියවර ගෙන ඇති අතර මෙසේ වසදමා ඇත්තේ යාපනය, උඩුවිල් සහ තෙලිප්පලෙයි යන අධ්‍යාපන කලාපවලට අයත් පාසල්ය.
උඩුවිල් අධ්‍යාපනය කලාපයට අයත් ප්‍රදේශ තුළින් කොවිඩ් ආසාදිතයන් සැළකිය යුතු ප්‍රමාණයක් වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.
උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ආසාදිතයන් 26 ක් පමණ ඊයේ වනවිට හඳුනාගෙන තිබූ අතර මේ වනවිට එම ප්‍රදේශ හුදෙකලා කර සංචරණ සීමා පනවා තිබේ.
විශාල පිරිසක් පී සී ආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එම වාර්තා ලැබීමත් සමග ඉදිරි පියවර ගැන තීරණ ගැනීමට නියමිත බව කියති .
