මහජන උපයෝගීතා කොමිසම වසා දැමේ – හොරකමට ඉඩක්දැයි සැකයක්!

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වසා දමන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත ලිඛිතව නියෝග කර ඇති බව වාර්තා වේ.

වර්ෂ 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත යටතේ පාර්ලිමේන්තුව මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවා ඇති අතර 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත මගින් විදුලි බල කර්මාන්තයේ නියාමන බලතල කොමිෂන් සභාවට පවරණු ලැබීය.

මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රධානතම නියාමන ආයතනය වන මහජන උපයෝගීතා කොමිෂන් සභාව මගින් විදුලිබල ආරක්ෂාව, විදුලිබල ආරක්ෂාව නියාමනය කිරීම, විදුලිබල උත්පාදනය, සමප්‍රේෂණය සිදු කළ හැකි විදුලි අනතුරුවලින් සිදුවන අනතුරු වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ.

පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාකිරීම, කොමිෂන් සභාවේ ප්‍රධානම අරමුණයි. බලපත්‍රලාභීන්ගේ නිසි කාර්යසාදනයට උරදීමද කොමිෂන් සභාවේ තවත් අරමුණකි. තීරණ ගැනීමේදී සියළුම පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන පාරදෘශ්‍ය භාවයකින් අවසාන තීරන වලට එලබේ. ජල සේවා කර්මාන්තය සහ ඛණිජ තෙල් කර්මාන්තය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට බලය පවරා තිබේ. ලිහිසිතෙල් කර්මාන්තයේ ඡායා නියාමන ආයතනය ලෙස කටයුතු කරන්නේද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි.

මහජන උපයෝගීතා කොමිසමට අනුයුක්තව රාජකාරී කළ පිරිස් වෙනත් ස්ථානවලට අනුයුක්ත කරන ලෙසද ජනාධිපති ලේකම්වරයා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කර ඇති ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වේ.

විදුලිබල මණ්ඩලය හරහා සිදුවන මහාපරිමාණ විදුලි මිලදී ගැනීම්වලදී සිදුවන වංචාවන් හා දූෂණයන් හෙළිකළ ප්‍රධාන ආයතනයක් මෙලෙස වසා දැමීමට නියෝග කිරීම තුළින් විදුලිබල මණ්ඩලයේ සිටින දූෂිත නිලධාරීන්ට සිත් සේ වංචා – දූෂණවල නියැළීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වන බවට ක්ෂේත්‍රයේ විද්වතුන් සැක පළකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *