20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවනවර කියවීම මෙන් ම තෙවැනි වරත් 156 ට 65 යි

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවනවර කියවීමේ දී ලබාගත් ඡන්ද ප්‍රමාණය ම ලබා ගනිමින් තෙවන වර කියවීමෙන් ද සම්මත වී තිබේ . තෙවන වර ද එයට පක්ෂව ඡන්ද 156 ක් ද විපක්ෂව 65 ක් ද ලැබී ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන මොහොතේ සභා ගැබේ සිටියේ නැත .

මෙම සංශෝධනයට විරෝධය පල කළ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්  සිය ඡන්දය එයට පක්ෂව  ලබාදී තිබිණි. එමෙන් ම සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරු පිරිසක්ද ඊට ඡන්දය ලබාදී ඇත.

විශේෂයෙන් මීට පෙර 20වන සංශෝධනයට විරෝධය පළ කළ විජයදාස රාජපක්ෂ මහතා ද එයට පක්ෂව ඡන්දය භාවිත කර තිබේ.

විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියත් රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරුන් නායකත්වය දරණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන අරවින්ද් කුමාර්, ඉෂාක් රහමන්, එම්.එස්. තවුෆීක්, ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, එච්.එම්.එම් හාරිස් සහ එස්.එම් රහීම් යන මන්ත්‍රීවරුන්  මෙම සංශෝධනයට පක්ෂව  ඡන්දය ප්‍රකාශ කරන ඇත.

20වන සංශෝධනයට විරුද්ධව දෙමළ ජාතික සන්ධානයේ සහ ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන්  සිය ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවනවර කියවීම මෙන් ම තෙවැනි වර කියවීම ද තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය.

ඒ සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 148කුත්, සමගි ජන බලවේගයේ, රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරුන්ගේ පක්ෂවල මන්ත්‍රීවරු 08කුත් පක්ෂව ඡන්දය ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *