අපට අපේම ජාතික ගීයක් තෝරාගත් හැටි – ඩී බී එස් ජෙයරාජ්

imagesශ්‍රී ලංකා හමුදාව එල්ටීටීඊ ග‍්‍රහණයේ තිබූ ප‍්‍රදේශ මුදාගත් විට එම ප‍්‍රදේශවල කොළඹ ආණ්ඩුවේ ආධිපත්‍ය හා අධිකාරිය නැවත ඇතිවිය. උතුරු නැගෙනහිර පළාත්වල ජාතික ගීය ගැයීම විශාල ලෙස නැවතී තිබුණද 2009 මැයි මාසයේදී එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව නැවත වතාවක් ජාතික ගීය ගැයීම වර්ධනය විය. එම ප‍්‍රදේශවල ජාතික කොඩිය ඉහළින් එසවීමත් සමඟ ජාතික ගීය ගැයීමද වැඩි වැඩියෙන් සිදුවිය. එක අතකින් එය නිදහසින් පසු මුල් කාලයේ ඇතිවූ තත්ත්වයට නැවත ළඟාවීමකි.

ලංකා ගාන්ධර්ව සභාව.

1948 පෙබරවාරි 4 වනදා මෙම දිවයිනේ ජනයා යටත්විජිත පාලනයෙන් නිදහස ලබන විට දැන් අප ගයන ජාතික ගීය නිල වශයෙන් භාවිතයේ නොතිබිණි. ලංකාව මුලදී ඩොමිනියන් තත්ත්වයෙන් පසුව සම්පූර්ණ නිදහසක් ලබන විට පිළිගත් දේශීය ජාතික ගීයක් නොවීය. ජාතික ගීයක් සෑදීමේ වගකීම ලංකා ගාන්ධර්ව සභාවට පවරනු ලැබීය. ඒ සඳහා තරගයක් සංවිධානය කරන ලද අතර සභාව විසින් පත් කරන ලද කමිටුවකට සුදුසු ගීතයක් තෝරා ගැනීම පවරනු ලැබීය.
එම කමිටුවේ සාමාජිකයන් වූයේ එස්.එල්.බී. කපුකොටුව, ආචාර්ය  ඕ.එච්.ඞී. විජේසේකර, ලයනල් එදිරිසිංහ මුදලිදු ඊ.ඒ. අබේසේකර, එල්.එල්.කේ. ගුණතුංග සහ පී.බී. ඉලංගසිංහයි. කමිටුවේම දෙදෙනකු ජයග‍්‍රාහකයන් ලෙස තෝරා ගැනීම විවාදාත්මක සිදුවීමක් විය. පී.බී. ඉලංගසිංහ විසින් ලියන ලදුව ලයනල් එදිරිසිංහ සංගීතය සැපයූ ගීතයක් නව ජාතික ගීය ලෙස තොරා ගනු ලැබීය. එය ‘‘ශ්‍රී ලංකා මාතා / පාලා යස මහිමා / ජය ජය’’ ලෙස ආරම්භ වී ‘‘ජය ජය දද නංවා / ශ්‍රී ලංකා මාතා’’ ලෙස අවසන් විය. තේරුම් කමිටුවේ සාමාජිකයන් දෙදෙනකු විසින් ඉදිරිපත් කරනු ලැබූ ගීතයක් නව ජාතික ගීය ලෙස තෝරා ගැනීම දැඩි විවේචනයට හා විරෝධයන්ට හේතුවිය. එය සම්පූර්ණයෙන්ම අසාධාරණ බව පෙනී ගියේය.
ඉලංගසිංහ – එදිරිසිංහ දෙදෙනාගේ ගීතය නිදහස් දිනයේදී ‘‘රේඩියෝ සිලෝන්’’ ආයතනය විසින් ජාතික ගීය ලෙස ප‍්‍රචාරය කළ ද නිල රාජ්‍ය උත්සවයේදී එය ගායනා නොකරන ලද්දේ දැඩි විරෝධය එල්ලවීම නිසාය. එම ගීතය ද එතරම්ම ආකර්ශනීය නොවුවද එය භාවිත නොකිරීමට හේතුව වූයේ තෝරාගත් ආකාරය පිළිබඳව එල්ල වූ විවේචන හා විරෝධයයි. තෝරාගත් ආකෘතිය පිළිගත නොහැකි වීම නිසා ජාතික ගීය කිරීමේ සමස්ත ලංකා තරගයෙන් ජයගත් ගීතය පිළිගත නොහැකි තත්ත්වයට පත්විය.
මේ අතර ජාතික ගීය විය හැකි වෙනත් ගීතයක් පිළිබඳව මහජනයාගේ අවධානය ටිකෙන් ටික වර්ධනය වෙමින් පැවතිණි. එය නම් ප‍්‍රසිද්ධ චිත‍්‍ර ශිල්පියකු හා ගීත රචකයකු වූ ආනන්ද සමරකෝන් මහතා ලියූ ‘‘නමෝ නමෝ මාතා’’ ගීතයයි. ගීත තරගයට මෙම ගීතය ද ඉදිරිපත් වුවද එය නොතකා හරිනු ලැබීය. තරගයෙන් දිනුව ද ‘‘යස මහිමා’’ ගීතය බොහෝ දෙනා විසින් නොතකා හරින ලද්දේ එය තෝරාගත් ආකාරය පිළිබඳ නොපිළිගැනීම නිසාය. කිසිදු නිල පිළිගැනීමක් නැතිවම ‘‘නමෝ නමෝ මාතා’’ ගීතය වඩා ජනප‍්‍රිය වී පිළිගැනීමට ලක්විය. එයට සාමාන්‍ය ජනයා අතර තිබූ ජනප‍්‍රියතාවය නිසා ‘‘යස මහිමා’’ ගීතයට වඩා ‘‘නමෝ නමෝ මාතා’’ ගීතයට වැඩි පක්ෂපාතිත්වයක් වීමි. ගුවන් විදුලියෙන් නිතර නිතර ප‍්‍රචාරය වූ ‘නමෝ නමෝ මාතා’’ ගීතයට නිල පිළිගැනීමක් නොතිබුණද එය නොනිල ජාතික ගීය බවට පත්ව තිබිණි.
1949 පෙබරවාරි 4 වැනිදා ටොරින්ටන් චතුරශ‍්‍රයේදී පැවැති පළමු නිදහස් දින සැමරුම් උළෙලේ දී නිදහස් සමරු ගොඩනැගිල්ල උත්සවාකාරයෙන් විවෘත කිරීම සිදුවූයේ අග‍්‍රාමාත්‍ය ඞී.එස්. සේනානායක මහතා අතිනි. ජාතික කොඩිය අභිමානවත් ලෙස ලෙලදෙන අතර පන්දම් රැුගත් තරුණ මලල ක‍්‍රීඩකයෝ සතර දෙනකු දිවවිත් නිදහස් මන්දිරයේ පියගැට පෙළ දිගේ ඉහළට පැමිණියහ. ඔවුන් එක්ව නිදහසේ පහන දල්වනු ලබූහ.
එම කණ්ඩායම සමන්විත වූයේ රටේ ප‍්‍රධාන ජනවර්ග සතර වන සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් නියෝජිතයන්ගෙනි. පිළිගත් ජාතික ගීයක් නොමැති නිසා ‘‘යස මහිමා’’ ගීතය මෙන්ම ‘‘නමෝ නමෝ මාතා’’ ගීතයද එම උළෙලේදී ගායනා කරන ලද්දේ ජාතික ගීය වශයෙනි. එම උත්සවයේදී මෙම ගීත දෙකෙහිම නිල නොවන දෙමළ පරිවර්තන ද ගායනා කරනු ලැබීය. සිංහලෙන් හා දෙමළෙන් ජාතික ගී ගායනා කරන බව නිවේදනය කිරීම ද සිදුවිණි. එම කාලයේදී ජනවර්ග එකතු කර ගැනීමේ වාතාවරණය පැවතියේ ඒ ආකාරයෙනි.

‘‘නමෝ නමෝ මාතා’’

1950 දී එවකට මුදල් ඇමැතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් මඟින් ඉල්ලා සිටියේ ආනන්ද සමරකෝන් මහතා විසින් ලියන ලද ජනප‍්‍රිය ‘‘නමෝ නමෝ මාතා’’ ගීතය ජාතික ගීය ලෙස පිළිගත යුතු බවයි. අගමැති ඞී.එස්. සේනානායක මහතා ඒ සඳහා ස්වදේශ කටයුතු සහ ග‍්‍රාමීය සංවර්ධන ඇමති ශ්‍රීමත් ඊ.ඒ.පී. විජේරත්න මහතාගේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරනු ලැබීය. විජේරත්න මහතාගේ නායකත්වයෙන් යුතු කමිටුව ‘‘නමෝ නමෝ මාතා’’ මෙන්ම වෙනත් ගීත ද සලකා බලා නිර්දේශ කළේ ‘‘නමෝ නමෝ මාතා’’ ගීතය ජාතික ගීය විය යුතු බවටය.
ශ්‍රීමත් විජේරත්න මහතා 1951 අගෝස්තු මාසයේ කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළේ ‘‘නමෝ නමෝ මාතා’’ ගීතයට ජාතික ගීයේ තත්ත්වය ලබාදීමටය. එය අමාත්‍ය මණ්ඩලයේදී ඒකමතිකව සම්මත වූ අතර නිල වශයෙන් පිළිගැනීම සිදුවූයේ 1951 නොවැම්බර් මස 22 දිනයි. අගමැති ඞී.එස්. සේනානායක මහතා ප‍්‍රකාශ කළේ මෙහි සුදුසු දෙමළ පරිවර්තනයක්ද නිල වශයෙන් පිළිගන්වන බවයි.
ජාතික ගීයේ නියම දෙමළ පරිවර්තනයක් තිබිය යුතු බව ශ්‍රීමත් ඊ.ඒ.පී. විජේරත්න මහතාගේ නායකත්වයෙන් යුත් තේරීම් කාරක සභාව ප‍්‍රතිපත්තිමය වශයෙන් පිළිගත්තේය. මෙම කාර්යය කොළඹ සහිරා විද්‍යාලයේ ගුරුවරයකු හා දෙමළ බුද්ධිමතකු වන පණ්ඩිත එම්. නල්ලතම්බි මහතාට භාරදෙන ලද අතර ඉතා හොඳ පරිවර්තනයක් සිදුකරනු ලැබීය. දෙමළ පද මාලාව නිල වශයෙන් පිළිගනු ලැබූ අතර උතුරු නැගෙනහිර පළාත්වල රාජ්‍ය උත්සවවලදී වැඩි වශයෙන් ගායනා කරනු ලැබීය.
නිදහසින් වසර හතරකට පසු 1952 පෙබරවාරි 4 වැනිදා ‘‘නමෝ නමෝ මාතා’’ ජාතික ගීය නිදහස් දින සැමරුමේ දී නිල වශයෙන් ගායනා කරනු ලැබීය. යාපනය, මන්නාරම, වවුනියා, ත‍්‍රිකුණාමලේ හා මඩකලපුව, කච්චේරිවල පැවැති නිදහස් දින සැමරුම්වලදී ‘‘නමෝ නමෝ මාතා’’ දෙමළ පදමාලාව ගායනා කරනු ලැබීය. සුදුසු පරිවර්තනයක් තිබීම නිසා ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා ද තම ජාතික ගීය හැඟීම්බරව ගායනා කළ අතර තම මව්බසින් ගායනා කිරීමට කැමැති විය.
1954 දී ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා යාපනයේ සංචාරය කළ විට එතුමා පිළිගැනීමේ උත්සවවල ගායනා කරන ලද්දේ  දෙමළ ගීතයයි. නමෝ නමෝ මාතා රටේ ජාතික ගීය බව ප‍්‍රකාශ කළ ආණ්ඩුවේ විශාල දැන්වීමක් 1952 මාර්තු 12 දා සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි පුවත් පත්වල පළ කරනු ලැබීය. සිංහල පුවත්පත්වල සිංහල පදමාලාවක්, දෙමළ පුවත්පත්වල දෙමළ පදමාලාවක් පළකරනු ලැබූ අතර ඉංග‍්‍රීසි පුවත්පත්වල සිංහල වචන ඉංග‍්‍රීසියෙන් ලියා පළකොට තිබිණි.
එලෙස නමෝ නමෝ මාතා ගීතය ජාතික ගීය ලෙස ගායනා කරනු ලැබුවද එහි තාලය හා තනුව හැමවිටම ඒකාකාර වූයේ නැත. විවිධ කණ්ඩායම් එය විවිධ ආකාරයෙන් ගායනා කරනු ලැබීය. එය බොහෝ අවුල් ඇතිකිරීමට හේතුවිය. එබැවින් ජාතික ගීය ගායනා කිරීමේ ඒකමිතියක් ඇති කිරීම සඳහා ආණ්ඩුව කමිටුවක් පත්කරනු ලැබීය. 1953 පත්කරනු ලැබූ එකළොස් දෙනකුගෙන් යුතු කමිටුවට ආනන්ද සමරකෝන් දේවාසූරියසේන, සහ ජේ.ඞී.ඒ. පෙරේරා මහත්වරු ද ඇතුළත් වූහ. ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය පෙන්වා දුන් එම කමිටුව ගීතයට නියමිත තනුවක්ද නියම කළේය. එම තනුව සමරකෝන් මහතාගේ මුල් තනුවම වඩා දියුණු කරන ලද්දකි.

නිල දෙමළ පදමාලාව.

1954 ජුනි 24 දා ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ අමාත්‍ය මණ්ඩලය ජාතික ගීයේ තනුව හා ගායනය නිල වශයෙන් අනුමත කළේය. එම දිනවල රුපියල් 2500ක් ගෙවීමෙන් ‘‘නමෝ නමෝ මාතා’’ ගීතයේ හිමිකම ආණ්ඩුව නිල වශයෙන් ලබා ගත්තේය. එච්.එම්.වී. රෙකෝඞ්ස් සමාගමට ජාතික නියෝජිතයන් වන කාගිල්ස් සමාගමට ජාතික ගීයේ තැටිගත කිරීමේ ඇණවුම භාරදෙනු ලැබීය. ජාතික ගීයේ දෙමළ පදමාලාවටත් තැටියක් සකස් කරනු ලැබීය. එහි තනුව හා සංගීතය සිංහල ගීතය අනුවම වූ අතර පණ්ඩිත නල්ලතම්බි විසින් ලියන ලද පද මාලාව ගායනා කරන ලද්දේ සංගරී හා මීනා යන ගායිකාවන් දෙදෙනා විසිනි. ‘‘රේඩියෝ සිලොන්’’ ආයතනය නිල දෙමළ ජාතික ගීය ප‍්‍රථමවරට විකාශය කරන ලද්දේ 1955 පෙබරවාරි 4 වැනිදාය.
1956 දී එස් ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා බලයට පත්වූයේ සිංහල ජාතිකවාදී රැුල්ලක් සමඟය. ‘‘අපේ ආණ්ඩුව’’ ලෙස හඳුන්වනු ලැබූ නව ආණ්ඩුවට ඉක්මණින්ම ප‍්‍රශ්න රාශියකට සහ අමාරුකම්වලට මුහුණදීමට සිදුවිය. ආණ්ඩුවට එරෙහිව දේශපාලන උද්ඝෝෂණ, කම්කරු වැඩවර්ජන, ජන වාර්ගික ප‍්‍රචණ්ඩ ක‍්‍රියා, ගංවතුර වැනි ස්වභාවික විපත්, ගිනි ගැනීම් හා නායයෑම් ආදී බොහෝ ප‍්‍රශ්න ඇතිවිය.
මේ අවස්ථාවේ ඇතැම් බලවේග (වෙනත් අරමුණුද සහිතව) ප‍්‍රශ්නයට හේතු සෙවුයේ ජාතික ගීය මගිනි. බණ්ඩාරනායක ආණ්ඩුව යටතේ රටට අත්විදින්නට සිදුවූ සියලූ ප‍්‍රශ්නවලට හේතුව ලෙස පෙන්වා දෙන ලද්දේ ‘‘නමෝ නමෝ මාතා’’ ගීතයයි. ‘‘නමෝ නමෝ මාතා’’ ට එරෙහිව විශාල ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත් කරනු ලැබූහ.
‘‘නමෝ නමෝ මාතා’’ යන්න අවාසනාවන්ත බවත් රටේ ප‍්‍රශ්නවලට එම අවාසනාව හේතුවක් බවටත් චෝදනා ඉදිරිපත්වීය. ආරම්භයේ ඇති ‘‘නා’’ යන්න නුසුදුසු බව ප‍්‍රකාශ විය. ජාතික ගීයේ ආරම්භයේ ඇති ඝන පිහිටුවීමේ අවාසනාවන්ත භාවය රටේ ප‍්‍රශ්නවලට හේතුව බව ප‍්‍රකාශ වීය. ඝන ලෙස හඳුන්වන ලද්දේ පළමු ස්වර තුන පිහිටන ආකාරයයි. එනම් දිගු හා කෙටි ස්වර පෙළගැස්මයි. ජාතික ගීයේ මූලින් එන ‘‘නxමෝxන’’ ස්වර කෙටි දිගු හා කෙටි වශයෙන් යෙදී තිබීම අවාසනාවන්ත බව කියැවිණි.

(මෙම ලිපියේ ඉතිරි කොටස පසුව පළකරමු )

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *