මහජනතාවගේ විකාශන තරංග සොරාගත් සැමගෙන් ඒවා ආපසු ලබාගෙන පාරදෘෂ්‍ය ලෙස නැවත බෙදා දෙනු! – අජිත් පැරකුම් ජයසිංහ

‘‘හිහ්, හිහ්, හිහ්! ඔය වගේ සද්ද ඇහෙනවා නේද? දැන් හැමදාම ඤාව් ඤාව් කියන බැළලියෝ හිටපු ගමන් ඔන්න ඔය වගේ සද්ද කරනවා රෑට. එතකොට අපි මොකක්ද කරන්නේ ගඩොල් බාගයක් අරගෙන ඒ එන පැත්තට ගහනවා නේද. මූසලයි, මුස්පේන්තුයි කියලා තමයි ගම්වල උදවිය කියන්නේ. ඉතින් ඔය දන්නෝ බුදුන්ගේ කියන ගීතය ටවර් හෝල් යුගයේ ඉදන් ඉතාමත් උත්තරීතර ගීතයක් විදියට, බොදු බැති ගීතයක් විදියට, දන මන පුබුදුවාලන ඉතාමත් උතුම් ගීතයක් විදියට තමයි සැළකුවේ.”

මෙහෙම කියන්නේ තරුණ වියේදී, ඒ කාලයේ සංස්කෘතිය කනවා යයි මේ අන්දමින් ම චෝදනාවට ලක් වූ සිරස රේඩියෝවෙන් එළියට ආ නිවේදකයකු වන සංඛ අමර්ජිත් පෙරේරායි. අද කාලේ රූපවාහිනී මාධ්‍යවේදීන් යයි කියන්නේ පත්තරවල අනුන් ලියූ දේ කියවන ගමන් තමන්ගේ මනස්ගාත ඒවාට එකතු කරන අයටයි. ඉතින් මේ සංඛ අමර්ජිත් මාධ්‍ය‘වේදියා’ පත්තර කියවන ගමන් වැඩි දුරටත් මෙසේ කීවේ ය.

“අමරදේව මහත්තයාගෙන් පටන් ගත්තම බොහෝ ගායක ගායිකාවන් ඉතාමත් ගෞරවයෙන්, භක්තියෙන්, සැදැහි සිතෙන් යුතුව මෙම ගීතය ගායනා කළ. නමුත් ඔය විදියට ඔය ගීතය විකෘති කළේ පසුගිය පෙබරවාරි 4 වෙනිදා ජාතික නිදහස් දිනය සමරන්නට කියලා පවත්වපු උත්සවයකදී. ඉතින් ඔපෙරා ද මොනවද කියන්නට දන්නේ නැහැ.

“කේමදාස මාස්ටරුත් ඔපෙරා කරා. හැබැයි ඒ ගීතවලට තිබෙන්නා වූ ගෞරවය ආරක්ෂාකර ගනිමින් තමයි එතුමා ගෞරවනීය විදියට ඔපෙරා කරේ. ඇයි මේ වටිනා කියන දේවල් වලට මේ විදියට කරන්නේ. ගඩොල් බාග බලාපොරොත්තුවෙන් මේ වගේ දේවල් කරනවද කියන්නට අපි දන්නේ නැහැ‘‘

දන්නෝ බුදුන්ගේ ගීය සම්බන්ධයෙන් ඔහුගේ මේ අදහස් පළ වන්නේ පසුගිය නිදහස් දිනයේදී ජාත්‍යන්තර සම්මානලාභී ශ්‍රී ලාංකික සොප්‍රානෝ ඔපරා ගායිකාවක වන ක්‍රිශානි ජයසිංහ පසුගිය නිදහස් දිනයේදී දන්නෝ බුදුන්ගේ ගීය ගායනා කළ ආකාරය පිළිබඳවයි. ක්‍රිශානි යනු බටහිර සංගීතය පමණක් නොව, නීතිය සම්බන්ධයෙන් ද උපාධිධාරිනියකි. ලංකාවේ හිටපු ඔරු පැදීමේ ශූරියකි. ඇය කලාව සහ සංස්කෘතිය පිලිබඳ අකුණු ආසියානු සම්මානය, සොන්ටා සම්මානය, Associate of the Royal Academy of Music (London) for outstanding Alumni and Alumni Laureate of the University of Nottingham යන සම්මාන හිමි කර ගැනීමට සමත් වූ අන්තර්ජාතික ඔලිම්පික් සම්මේලනයේ සංගීතය පිලිබඳ උපදේශිකාවක් ලෙස ද සේවය කළ ලංකාවට ආභරණයක් වන් කාන්තාවකි.

අනෙක් පැත්තෙන් දන්නෝ බුදුන්ගේ යනු 1903 දී ජෝන්ද සිල්වා විසින් රචනා කරන ලද සිරිසඟබෝ නාට්‍යය වෙනුවෙන් විශ්වනාත් ලවුජී නමැති ඉන්දියානු සංගීතඥයා විසින් නිර්මානය කරන ලද තනුවකි. එය ජර්මානු ජාතික සංගීතඥයකු වන වැග්නර්ගේ මුල් නිර්මානයක් අභාසයෙන් කරන ලද්දක් ලෙස සැලකේ.

සංඛ අමර්ජිත් නම් මේ කිසිවක් නො දන්නා මාධ්‍ය‘වේදියා’ ගඩොල් බාගයකින් ගැසිය යුතු බැළලියකැයි අපහාස කරන්නේ ඇයටයි.

මෙම වැඩසටහන විකාශය කළ දෙරණ මාධ්‍යය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අගමැති රනිල් වික්‍ර‍මසිංහ පැවසුවේ මහජනයාට හිමි ගුවන් විකාශ තරංග භාවිතා කර ‘බල්ලන්ට බලු වැඩ කරන්නට නො දෙන’ බව ද පවසමිනි.

ලංකාවේ රූපවාහිනී ප්‍රේක්ෂකයන් මෙන් ම රූපවාහිනී චැනල්වල අයිතිකාරයන් ද සිතාගෙන ඉන්නේ රූපවාහිනී විකාශය ඒවායේ අයිතිකාරයන්ගේ අප්පාගේ බූදලයක් ය කියා ය. රනිල් කියන කතාව ඔවුන්ට තේරෙන්නේ නැත. මාධ්‍ය සංවිධානවලට තේරෙන්නේ ද නැත.

ලංකාවේ විද්‍යුත් චුම්බක විකාශ සංඛ්‍යාත පරාසය යනු මේ රටේ මහජනතාවට අයිති දේපලකි. එය ජාත්‍යන්තරව ම පිළි ගත් කාරණයකි. අපි එය බලාකියාගන්නට රජයට භාර දී තිබේ. රජය ද එහි අයිතිකරු නො වේ. එහෙව් සංදර්භයක හඩ්ඩා හෙවත් හඩ්සන් සමරසිංහ, සංඛ අමරජිත්, චතුර අල්විස් වැනි කුලියට කහින පණුවන් පමණක් නොව මහරාජා, දිලිත් ජයවීර, රේනෝ සිල්වා වැනි අය පවා ඔවුන් හිතන තරම් ලොක්කෝ නොවෙති.

ලංකාවේ විකාශන තරංග පරාසය බෙදා දෙන ආකාරය නීත්‍යානුකූල නැත. එය ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ ප්‍ර‍ජාතාන්ත්‍රික මූලධර්මවලට ද පටහැණි ය. පාසලක කැන්ටිමක් බදු දෙන විටත් ටෙන්ඩර් කැඳවා, ඕනෑම කෙනෙකුට විවෘතව මිළ ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී සුදුස්සා තෝරා ගනු ලැබේ. පොදු දේපලවල භාරකරු වන රජය ඒවා සම්බන්ධයෙන් පාරදෘෂ්‍ය අන්දමින් කටයුතු කළ යුතු බව ඉතා පැහැදිලි ය.

රජය පොදු දේපලවල හිමිකරු නොව ඒවායේ භාරකරු පමණක් බව එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් මහමාන්කඩවල පියරතන හිමියන් විසින් පවරන ලද නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවෙහි පැහැදිලිව දැක්වේ. මෙය දේවානම්පියතිස්ස රජු සමයට අයත් සෙල්ලිපියක පවා දැක්වෙන යහපාලන මූලධර්මයකි.

එසේ නම්, මහජනතාවට අයිති පොදු දේපලක් වන ගුවන් විදුලි විකාශ පරාසය පමණක් යාලු මිත්‍ර‍කමට, පගාවට හිතවතුන්ට බෙදා දුන්නේ කෙසේ ද? මහජනතාවගේ ගුවන් විදුලි පරාසයෙන් සංඛ්‍යාත සොරකම් කළ සොරුන් අතර ජනතා විමුක්ති පෙරමුණ ද සිටින නිසා ඔවුන් දැන්වත් මේ ගැන කතා කළ යුතු ය.

මහජනතාවගේ සංඛ්‍යාත සොරකම් කරගත් අයට ජන මනස විකෘති කරන, ජාතිවාදී, ආගම්වාදී, ස්ත්‍රී විරෝධී වැඩසටහන් විකාශනය කිරීමට ඉඩ දීමට ආණ්ඩුවට අයිතියක් නැත. එහෙම වැඩසටහන් ඉදිරිපත් කිරීම මාධ්‍ය නිදහස වන්නේ ද නැත.

මහජනයාට හිමි සංඛ්‍යාත පරාසය විනිවිද පෙනෙනසුළු ලෙස නැවත බෙදා දිය යුතු ය. සංඛ්‍යාත ලබා දීමේදී මහජන සේවා විකාශවලට ප්‍ර‍මුඛතාව දිය යුතු ය.

මහජන සේවා විකාශ යනු මොනවාදැයි ලංකාවේ සිටින මාධ්‍ය ඔස්තාර්ලා වන චතුර අල්විස්ලා, සංඛ අමර්ජිත්ලා, හඩ්සන් සමරසිංහලා අහලාවත් ඇති යයි නො සිතමි. ඒ ගරන වෙන ම කතා කළ යුතු ය.

අජිත් පැරකුම් ජයසිංහගේ W3Lanka වෙබ් අඩවියෙනි

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *