2018 ව්‍යවස්ථා අර්බුදයෙන් පසු රාජ්‍ය බුද්ධි අංශය දේශපාලන ඔත්තු සේවාවක් වුණා – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

ඉකුත් 2018 වසරේ ඔක්තෝබර් මස 26 වැනි දා ඇති වූ ව්‍යවස්ථා අර්බුදයෙන් පසු මෙරට රාජ්‍ය බුද්ධි සේවාව දේශපාලන ඔත්තු බලන සේවාවක් බවට පත් වී තිබූ බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු දා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (18) කියා සිටියේය.

එම කාලයේ දේශපාලන කැලඹිලි සහිත අවිචාරවත් සමයක් බව පෙන්වා දුන් ඒ මහතා එම කාලයේ රාජ්‍ය බුද්ධි සේවාව දේශපාලන ඔත්තු බැලීමේ කටයුතු සිදු කළ බව ද පෙන්වා දුන්නේය.

තමන් ආරක්ෂක ලේකම් ධුරය බාරගත් දිනයේ සිට අප්‍රේල් 8 වැනි දා දක්වා අන්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වන බුද්ධි වාර්තාවක් තමන් වෙත ලැබී නැති බව කියා සිටී ඒ මහතා, තමන් ප්‍රකාශ කරන දෙය පිළිගන්න නොහැකි නම් බුද්ධි විශ්ලේෂකයන් ගෙන් සමන්විත වන කමිටුවක් හරහා හෝ විමර්ශන කරන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටියේය.

ප්‍රහාරයක් සම්බන්ධයෙන් වන සෘජ පණිවිඩයක් තමාට ලැබී නැති බව කියා සිටි ඒ මහතා, සහරාන් හෂීම් සම්බන්ධයෙන් ලැබුණු වාර්තාවලට අනුව තමා දැන සිටියේ ද ඔහු අන්තවාදී ආගමික දේශකයකු ලෙස යැයි ද කොමිසමට කියා සිටියේය. ඒ මහතා මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් වී සිටියේ ද යන්න විමසමින් කොමිසම යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සෘජුවම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සම්බන්ධතා පැවැත් වූවා. මම පත්වීම ලබා දින දෙක තුනක් තුළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවෙන්න අස්සන් කිරීමට ඇති ලිපිගොනු අරගෙන ගියා. එහිදී මම බුද්ධි තොරතුරක් ගැන කතා කරන අවස්ථාවේ නිලන්ත මට ඒක ගන්න එපා කියා කිව්වා. ඒ වගේම තවත් අවස්ථාවක එලෙසම සිදු වුණා. මම නිලන්ත ජයවර්ධන මහතාට දුරකථනයෙන් කතා කර විමසුවාම ඒ මහතා කිව්වා ඔව් මම දැනුම් දෙනවා. හැමදාම සිදුවන්නේ එලෙසින් කියා. එහිදී මම කිව්වා බුද්ධි තොරතුරු මෛත්‍රීපාල සිරිසේන මහතාට සෘජුවම දෙන්න මට දෙන්න එපා කියා. ඒ වගේම මා මෛත්‍රීපාල සිරිසේන මහතාට කියන්න තිබූ කරුණු මට හමුවීමට නොහැකි වූ අවස්ථාවල නිලන්ත ලවා කියවා තිබෙනවා. ආරක්ෂාවට තර්ජනයක් වූ තොරතුරු තිබේ නම් නිලන්ත ජයවර්ධන මහතාට එය මෛත්‍රීපාල සිරිසේන මහතාට කියන්න බැරි කමක් නැහැ. මම හිතන්නේ නැහැ මෙම තොරතුර හිටපු ජනාධිපති වරයා දැන් නොසිටියා කියා. එහෙම ප්‍රශ්නයක් ඇති වුණා නම් නිලන්ත ජයවර්ධන මහතා මා හමු වී සාකච්ඡා කළ යුතුය. අප්‍රේල් 9 පැවැති ආරක්ෂක මණ්ඩලය රැස්වීමේදී ඔහු මේ ගැන කතා කළේ නැහැ. ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා ඔහුගෙන් මේ බව ඇහුවම කිව්වේ මම ටීම් එකක් ඇරලා තියෙන්නේ කියායි. පොලිස්පතිවරයාට වාර්තාවක් යවන්න සකස් කර තියෙන්නේ කීවා. සර්ට සවිස්තරාත්මක වාර්තාවක් දින දෙක තුනකින් දෙන්නම් කියා කිව්වා. නිලන්ත ජයවර්ධන මහතා එම රැස්වීමේ ඒ බව කතා නොකළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ත්‍රිවිධ හමුදා පතිවරුන් මේ බව දැන ගනීවී කියා යැයි මා හිතනවා.

මේ අවස්ථාව වන විට ජනාධිපතිවරයා හා මා අතර විරසකයක් තිබුණා. මම තනතුරෙන් ඉවත් වෙන්න හිටියේ. මම රැස්වීමක කතා කරපු දෙයක් නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා මාව හමුවන්න වත් කැමැත්තක් තිබුණේ නැහැ. මට යාළුවෝ කිව්වා මාස හයක්වත් ඉන්න කියා. රේඛිය ඇමැතිවරයා සහ ලේකම්වරයා අතර සම්බන්ධය නැතිව වැඩ කරන්න අමාරුයි. මැයි මාසයේ අස්වීමේ ලිපිය දෙන්නයි මම හිටියේ. ඊට පෙර අවාසනාවන්ත ලෙස ප්‍රහාරය සිදු වුණා.

සුභාෂිණී සේනානායක

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *