ජනාධිපති හරස්වීම නිසා 20 ගැන අගමැති පත්කළ කමිටුවේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් නොකරයි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සොයා බැලීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පත්කළ කමිටුවේ වාර්තාව අද රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ.

දැන් ගැසට් කොට ඇති 20 සංශෝධනය ගැන වගකීම තමන් භාරගන්න බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීම නිසා කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බව දැනගන්නට ඇත.

මහාචාර්ය ජී එල් පීරිස් , නිමල් සිරිපාල ද සිල්වා ,විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,මොහොමඩ් අලි සබ්රි, ඇතුළු නව දෙනකුගෙන් යුත්  කමිටුවකින් මෙම වාර්තාව කඩිමුඩියේ සකස් කරන ලද්දේ අද දින ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා ය.

මෙම පනත් කෙටුම්පත ගැසට් කර අදට දින 14 ක් ගතවන බැවින් හෙට (17) සිට ඕනෑම දිනකදී එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළ හැකිය. එය ලබන විසි දෙවන දා (22) න්‍යාය පුස්තකයට ඇතුලත් කිරීමට නියමිත බව මීට පෙර වාර්තා වීය.

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව අඩු පාඩු සොයා බලා වාර්තාවක් ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත්කළ කමිටුව ඊයේ සිය නිරීක්ෂණ සහ නිගමන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය. එම ක්‍රියාමාර්ගය ගනු ලැබුවේ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී මෙයට එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි.

එය අද අමාත්‍ය මණ්ඩලට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් ඇති වූ ගැටුම්කාරී තත්ත්වය නිසා එය අද දින ඉදිරිපත්කොට නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *