“දේශප්‍රේමින්” ට කොකා පෙන්වා ජනාධිපති ඉන්දියාවේ තානාපති ලෙස මිලින්ද මොරගොඩ නම්කරයි

තමන් සැබෑ “දේශප්‍රේමින්” ලෙස පෙනී සිටිමින් ගොටාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග්‍රහණය සඳහා විශාල වැඩ කොටසක් කළ විමල් වීරවංශ , ගුණදාස අමරසේකර ආදීන්ගේ සහ ජාතික සංවිධාන එකමුතුවේ බලවත් විරෝධය නොතකා මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස නම්කොට පාර්ලිමේන්තුවේ අනුමැතියට යැවීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කටයුතු කොට ඇත.
විදේශවල මෙරට තානාපති තනතුරු සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභා අනුමැතිය සඳහා නම් හයක් ජනාධිපතිතුමා විසින් යවනු ලැබ ඇත.
පාර්ලිමේන්තුවේ අනුමැතියට යවා ඇති නම් මෙසේ ය.
ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සංජීව් ගුණසේකර මහතා,
අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රවිනාත් අරියසිංහ මහතා
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය ශනිකා හිරිබුරේගම මහත්මිය,
චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා,
ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිචන්ද්‍ර ද සිල්වා මහතා
උසස් නිලතල පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වූ පසුව මෙම පත්කිරීම් සිදුකෙරෙනු ඇත.
මිලින්ද මොරගොඩ මහතාගේ පත්කිරීමට විරෝධය පළකරමින් ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක දොස්තර වසන්ත බණ්ඩාර මහතා මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ දැන් තමන්ට බස් එකක , දුම්රියක යන්න බැරි , මළගෙදරක යන්න බැරි තත්ත්වයක් ඇති වී තිබෙන බව යි. මිනිස්සු බනින බව යි.
ජනාධිපතිතුමා මෙම පත්කිරීම කරන්නේ එම සියලු විරෝධතා නොසලකා හරිමිනි.
