විගණන කොමිසම අහෝසි වීමෙන් රාජ්‍ය සමාගම් 260ක විගණන කටයුතු කිරීමේ බලය අහෝසි වී යනවා… විගණන නිලධාරීහු ජනපතිටත් ලියති…

නව ව්‍යවස්ථා සංශෝධනය හරහා ශ්‍රී ලංකා විගණන කොමිසම අහෝසි වී යාමත් සමග රාජ්‍ය සමාගම් 260ක විගණන කටයුතු කිරීමේ බලය අහෝසී වී යන බව විගණන නිලධාරීහු සඳහන් කරති.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ශ්‍රී ලංකා විගණන කොමිසම ස්ථාපිත වී ජාතික විගණන කාර්යාලය සකස් වූ බවත්, විගණන කටයුතු කළ සියලු නිලධාරීන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිට විගණන කාර්යාලයට අනුවුක්ත වූ බවත් එම පිරිස් පෙන්වා දෙති.
මේ නිසා ශ්‍රී ලංකා විගණන කොමිසම වෙනුවට ඒ හා සමාන බලතල සහිත ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද විගණන නිලධාරීහු සඳහන් කරති.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සමාගම් විගණනය කිරීම නිසා එම ආයතන තුළ සිදු වූ විශාල මූල්‍ය වංචා සොයාගැනීමට හැකි වූ බවද ඔවූහු පවසති.
මිට අමතරව රාජ්‍ය සමාගම 260ක විගණනය කිරීමේ බලයක් ලැබුණු බවත්, මේ අනුව මේ වසරට අදාළව රාජ්‍ය සමාගම්වල විගණන කටයුතු සිදුවෙමින් තිබූ බවත් එම පිරිස් සඳහන් කරති.
එසේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර නව ව්‍යව්ථාවක් සකස් කිරීමට අදාළ කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකා විගණන කොමිසම අහෝසි වී තිබෙන බවත්, ඒ යටතේ ක්‍රියාත්මක වූ ජාතික විගණන කාර්යාලයත් අහෝසි වී යන බවත් විගණන නිලධාරීහු පෙන්වා දෙති.
මේ නිසා මේ වසරට අදාළව රාජ්‍ය සමාගම් 260ක සිදුකරණ විගණන කටයුතු නවතා දමා තිබෙන බවත් මීට අමතරව ජාතික විගණන කාර්යාලය පිහිටුවීමත් සමග විගණකාධිපති දෙපාර්තමේන්තුව අහෝසි වී යාම නිසා සහ නව ව්‍යවස්ථාවෙන් ජාතික විගණන කාර්යාලය අහෝසි වී යාම නිසා විගණන නිලධාරීන් මින් ඉදිරියට අයත් වන්නේ කුමන දෙපාර්තමේන්තුවකටද යන්නත් ගැටලුවක් වී ඇති බවත් එම පිරිස් සඳහන් කරති.
මේ අතර, යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයට හා රාජ්‍ය විගණනයේ විෂය පථයට විශාල හානියක් සිදුකර ඇති බැවින් රාජ්‍ය මූල්‍ය පාලනය ඉටුකිරීම පිළිබඳ යාන්ත්රණයට දැඩි හානියක් සිදුව ඇති බැවින් වහා එය නිවැරදි කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා විගණන පරික්ෂක සේවා සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක්ද යවා ඇත.
එමෙන්ම එම සංශෝධන මගින් මහජනතාවට රටේ සමස්ත මූල්‍ය පාලනය පිළිබඳ දැනගැනීමට ඇති ශුද්ධවූ අයිතියද අහිමිකර ඇතැයි එම සංගමය යවා ඇති ලිපියෙන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාව මගින් විගණනයට භාජනය කිරීම සඳහා විණකාධිපතිවරයා වෙත පවරා තිබූ රාජ්‍ය අයවැයෙන් මුදල් වෙන්වන හා පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනයට යටත් වන රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ආ) ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක කොමිෂන් සභා, ජනාධිපතිවරයාගේ ලේකම්වරයාගේ කාර්යාලය, අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයාගේ කාර්යාලය, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ කාර්යාල විෂය පථයෙන් ඉවත් කර තිබීමද ගැටළු සහගත යැයි එහි සඳහන් වෙයි.
එමෙන්ම සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති කොටස් ප්‍රාග්ධනයෙන් 50% හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රජය හෝ රාජ්‍ය සංස්ථාවන් හෝ පළාත් පාලන ආයතනයක් විසින් දරන සමාගම් ද විගණන විෂය පථයෙන් ඉවත්කර ඇතැයි ද රාජ්‍ය මූල්‍ය පාර්ලිමේන්තු පාලනයෙන් මුළුමනින් බැහැර වීමට මේ තත්ත්වයන් හේතු වන බව ද එම ලිපියේ සඳහන් වේ.
50% වැඩි කොටස් හිමිකමක් ඇති රාජ්‍ය සමාගම් පිළිබඳ විගණනය විගණකාධිපති විෂය පථයෙන් බැහැර කිරීම හේතුවෙන් සෞභාග්‍යයේ දැක්ම වැඩ පිළිවෙලෙහි ප්‍රතිපත්තිවලට අනුකූලව එකී සමාගම් ක්‍රියාත්මක වන්නේ දැයි බැලීමට හැකි යාන්ත්‍රණය බිඳ වැටෙන බව එම ලිපිය මගින් පෙන්වා දෙන අතර සමහර සමාගම් මේ යෝජනා ඉදිරිපත් වීමත් සමග රාජ්‍ය විගණන යාන්ත්‍රණයෙන් ඉවත් වීමට පිඹුරුපත් සකසමින් සිටින බව වාර්තා වී ඇතැයි ද සඳහන් කර ඇත.
මෙකී සංශෝධන මගින් විගණකාධිපතිවරයා රාජ්‍ය නිලධාරියෙක් බවට පත් කරමින් ඔහුගේ ස්වාධීනත්වයට බරපතල ලෙස හානිකර ඇති බවත් එහි පැවැසේ.
ශ්‍රී ලංකා විගණන සේවා පරික්ෂක සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් ජේ සී තිසේරා මහතාගේ අස්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යවා ඇති එම ලිපියේ පිටපත් අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා, සියලු මැති ඇමැතිවරුන් මෙන්ම සිවිල් සංවිධාන හා මාධ්‍ය වෙත ද යවා ඇත.
