රුවන්ට එජාප නායකකම දුන්නොත් වජිරට ඉහළ තනතුරක්; වජිර බෑ කියා රහස් ඡන්දයක් ඉල්ලයි

එජාප නායකත්වය රුවන් විජේවර්ධන මහතාට ලබාදීමට ඉඩ දී තරගයෙන් ඉවත්වන්නේ නම් වජිර අබේවර්ධන මහතාට පක්ෂයේ වෙනත් ඉහල තනතුරක් ලබාදීමට ඉදිරිපත් වූ යෝජනාවක් වජිර අබේවර්ධන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි . පක්ෂයේ නායකයා තේරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රහස් ඡන්දයකින් සිදු කළ යුතු බව වජිර අබේවර්ධන මහතා ගේ ස්ථාවරය වී ඇතැයි කියති. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත්තේ තරගයකට නොගොස් පක්ෂයේ තනතුරු බෙදාගන්න ලෙසයි.
සජිත් ප්‍රේමදාස සහ කබීර් හසීම් මහත්වරුන් ඉවත්වීම නිසා මේ වන විට එජාප සභාපති ධුරය සහ නියෝජය නායක ධුරය ද පුරප්පාඩු වී ඇත. එම තනතුරු බෙදාගෙන පක්ෂය ඉදිරියට ගෙන යන ලෙස පක්ෂ නායක රනිල් උපදෙස් දී ඇත. එමෙන් ම පක්ෂයේ තනතුරු ප්රශ්නය ජනමාධ්‍ය මෙහෙයුම් මගින් විසදාගැනීමට උත්සහ දැරීම පක්ෂයට හානිකර බව ද වික්‍රමසිංහ මහතා පවසා තිබේ .
කෙසේ වෙතත් වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත්තේ රනිල් හැරුණු විට පක්ෂයේ ජෙෂ්ටතම නායකයා තමන් බවයි. එමෙන් ම පසුගිය මැතිවරණයේ දී පක්ෂයට වැඩි ම ඡන්ද ප්‍රතිශතය ලබා දුන්නේ තමා නායකත්වය දුන් ගාලු දිස්ත්‍රික්කයෙන් බව ද වජිර අබේවර්ධන මහතා කියයි. තම හැකියාව සහ ජන පදනම එලෙස පෙන්නුම් කර තිබිය දී නායකත්වය නොදෙන්නේ නම් තමා තරග කොට එය ලබාගන්නා බව වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත.
පක්ෂයේ නායකත්වයට තරග වදින කරු ජයසුරිය මහතාගේ අමරසේකර මාවතේ නිවසට පසුගිය දිනක ගිය වජිර අබේවර්ධන මහතා තමා ස්ථිරවම නායකත්වයට තරග වදින බව පවසා ඇති බව ද දැනගන්නට ඇත . රුවන් විජේවර්ධන මහතාට මෙන් ම රනිල් වික්‍රමසිංහ මහතාට ද වජිර අබේවර්ධන මහතා මෙම දැනුම් දීම කොට තිබේ.
එසේ වුව ද නායකත්ව ප්රශ්නය ගැටුමකට නොගොස් විසදාගැනීම සඳහා උත්සාහ දැරීමට ඉඩ සලසමින් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන සතිය දක්වා කල් දමා තිබේ.
