ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ සාක්ෂි විභාගය ඇරඹෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි සටහන් කරගැනීම ඊයේ (02) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ  මහාධිකරණය හමුවේ ආරම්භ විය. 

ඒ අනුව නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක වන ප්‍රගීන් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ, එනම් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ සාක්ෂි සටහන් කරගැනීම ඊයේ සිදු කෙරිණි. 

සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සැදුම් ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභාග කෙරෙන අතර වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම 04 වනදාට කල් තැබිණි. 

2010 ජනවාරි 24 වනදා රාත්‍රියේදී රාජගිරිය ආසන්න ප්‍රදේශයකදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාව පැහැරගැනීමට ලක්වූ අතර ඔහුව පැහැරගෙන ගොස් තිබුණේ යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසක් විසින් බවත් ඔහුව ගෙනගොස් තිබුණේ ගිරිතලේ යුධ හමුදා බුද්ධි ඒකකයට බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. 

නොයෙකුත් බාධාවන් මැද සිදු කෙරුණු දීර්ඝ කාලීන විමර්ශනයකින් පසු, 2010 ජනවාරී මස 24 වැනිදාත් 27 වැනිදාත් අතර කාලයේ ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩලච්චේන හා අක්කරපත්තුව ප‍්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ප‍්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැළිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කළ බවට ද ඒ අනුව නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන් ගොස් ඔහුගේ මරණය සිදුකළ බවට ද යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් 09 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කෙරුණේ 2019 නොවැම්බර් මාසයේදීය. 

RN

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *