19 සංශෝධනය ඉවත් කර රටට ගැළපෙන ව්‍යවස්ථාවක් ගෙන එනවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

ජනතාව දී ඇති ජනවරමේ පළමු කාර්යය ලෙස ජනතාවට පොරොන්දු වූ පරිදි, 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර, සියලු දෙනා සමඟ එක්ව රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙරට සියලු ජනතාව සම්බන්ධයෙන් ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පයට මූලිකත්වය දෙන බව නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය විවෘත කරමින් ජනාධිපතිවරයා කීවේය.
පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි, අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත් වන, අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ. නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේදී වර්තමාන මැතිවරණ ක්රමයේ වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය වෙනවා. එහිදී සමානුපාතික ඡන්ද ක්රමයේ ඇති සාධනීය ලක්ෂණ රැකගනිමින් පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවයද, ජනතාවගේ ඍජු නියෝජනය ද තහවුරු වන ලෙස මෙම වෙනස්කම් සිදු කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් නාස්තිය හා දූෂණය පිටුදකින බව ජනතාවට පොරොන්දු වුණු බව පැවැසූ ජනාධිපති රාජපක්ෂ මහතා මෙය අප සියලු දෙනාගේම ප්රමුඛ වගකීමක් ලෙස සලකා සියලු අමාත්‍යාංශ හා ආයතනවල නාස්තිය සහ දූෂණය සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරන බව කීවේය.
ඉදිරියේදී නාස්තියට, දූෂණයට සම්බන්ධ වන පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට වන්නේ නැතැයිද හෙතෙම ප්‍රකාශ කළේය. රජය, අමාත්‍යාංශ සහ රාජ්‍ය අංශය මගින් ඉටු කිරීමට අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රගතිය නිරන්තරයෙන් පසුවිපරම් කරනු ලබන බවත් යම්කිසි අමාත්‍යාංශයක ඒ ඉලක්කයන් සපුරා ගැනීම පසුබෑමකට ලක් වන්නේ නම්, රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට මා කිසිවිටකත් පැකිළෙන්නේ නැති බවත් ජනාධිපතිවරයා පැවැසීය.
අපේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව මගේ ධුර කාලය තුළ රටේ ඒකීය බව ආරක්ෂා කරන බවටත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට, පෝෂණය කරන බවටත් තමන් පොරොන්දු වී තිබෙන බව පවසන ජනාධිපතිවරයා බුද්ධාගමට ප්‍රමුඛත්වය තහවුරු කරන අතරම, මෙරට ඕනෑම පුරවැසියකුට තමන් කැමැති ආගමක් ඇදහීමේ නිදහස වඩාත් හොඳින් සුරක්ෂිත වී ඇති බව ජනතාවට මේ වන විට පැහැදිලිව ඇති බව කියා සිටියේය.
මම මගේ රටට ආදරය කරනවා, මම මගේ රට ගැන ආඩම්බර වෙනවා, මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අපේ අරමුණ වන්නේ ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණගරුක සමාජයක් හා සෞභාග්‍යවත් දේශයක් ගොඩනැඟීමයි. මේ දක්වා අප විසින් කරන ලද සියලු දේ මෙන්ම, මින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රියාමාර්ගයන් ද සැලසුම් කරනු ලබන්නේ මේ අරමුණ පෙරදැරි කරගෙන යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
අපි ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. ජනතාව වත්මන් රජයට විශාල ජනවරමක් ලබා දී තිබෙනවා. කිසිදු බලවේගයකට යටත් නොවී මේ රටේ ස්වෛරීත්වය රැකගෙන ජනතාව ආරක්ෂා කරගෙන රට සෞභාග්‍යය කරා ගෙනයාමට අපට වගකීමක් පැවැරී තිබෙනවා. රටේ අනාගත පරපුර වෙනුවෙන් වත්මන් පරපුර ඒ වගකීම ඉටු කළ යුතු යැයිද ජනාධිපති රාජපක්ෂ මහතා පැවැසීය.
මේ අප සියලු දෙනාගේම මව්බිමයි. ඒ නිසා ජාති, ආගම්, පක්ෂ බේදයකින් තොරව අප සියලු දෙනාම රට වෙනුවෙන් එක් විය යුතු අවස්ථාවක් පැමිණ තිබෙන බවත් ජනතාවට අප පොරොන්දු වූ සෞභාග්‍යවත් දේශය ගොඩනැගීම සඳහා මා සමඟ එකතු වන ලෙස ඔබ සියලු දෙනාටම මා මිත්‍රත්වයේ දෑත් දිගුකොට ආරාධනා කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය.
ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ
මහින්ද අලුත්ගෙදර
දිනමිණ
