සමගි ජන බලවේගය සමග එක්වූ තවත් අය එජාපයෙන් නෙරපනවා – රවී කරුණානායක

සමගි ජන බලවේගය සමග එක්වෙමින් එක්සත් ජාතික පක්ෂය හැර ගිය තවත් කණ්ඩායම් කිහිපයක්ම ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ පක්ෂයෙන් නෙරපා හරින බව එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා පවසයි.

අද (29) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එසේම නිසි ලෙස චෝදනා විභාග කිරීමෙන් පසු පළමු කණ්ඩායම නෙරපා හැරීම සිදුකළ බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නියෝජිත හමුවක දී ප්‍රකාශ කළේය.

මෙවර මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාම යෝජනා ලබා දුන් අපේක්ෂකයින් 54 දෙනෙකුගේ සහ එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වු පළාත් පාලන මන්ත්‍රීවරු 61 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (28) තීරණය කළේය.

එම තීරණය ගනු ලැබුවේ අධිකරණවලින් ලබා දුන් තීන්දු පාදක කරගනිමින් බව එම තීන්දුව සම්බන්ධයෙන් අද (29) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

සමගි ජනබලවේගයේ පැමිණිලි අධිකරණවලින් ප්‍රතික්ෂේප වීම තුළ එහි කිසිවෙකුට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව තහවුරු වී ඇති බව එජාප මහ ලේකම්වරයා එහි සඳහන් කර තිබේ.

අධිකරණ තීන්දුව හෑල්ලුවට ලක් කරමින්, “එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව සමග ඩීල් එකක් දමා ඇති බව” සමගි ජන බලවේගයේ ඇතැමුන් පවසන්නේ අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කිරීමට බව ද ඔහු සඳහන් කර තිබේ.

ආණ්ඩුව, ස්වාධීන අධිකරණ කොමිසම ඇතුලු කොමිෂන් සභා අහෝසි කිරීමට උත්සාහ දරමින් සිටින බවත් සමගි ජන බලවේගය ද ආණ්ඩුවේ ඩීල් එක යහමින් ඉටු කරමින්, “නීත්‍යනුකූල නොවන පක්ෂ සහ එහි සාමාජිකයන් රැක ගැනීමේ” ආණ්ඩුවේ පදයට නටමින් සිටින බව ද අකිල විරාජ් කාරියවසම් මහතා එම නිවේදනයේ සඳහන් කර ඇත.

ADADERANA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *