ඇවන්ගාඩ් පැමිණිල්ල මෙම කොමිසමේ විෂය පථයට අදාල වන්නේ කෙසේ ද ? අනුර ජනාධිපති කොමිසමෙන් ප්‍රශ්න කරයි…

ඇවන්ට් ගාඩ් සභාපතිගේ පැමිණිලි විභාගය දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ විෂය පථයට අදාල වන්නේ කෙසේදැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා ජනාධිපති කොමිසමෙන් ප්‍රශ්න කර තිබේ.

ඒ එම කොමිසමේ කැඳවීම අනුව ඒ මහතා ඊයේ  (23) පෙරවරුවේ එහි ගිය අවස්ථාවේ දී ය.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා නීතිඥ නියෝජනයන් නොමැතිව තනිවම කොමිසම හමුවේ පෙනී සිටි අතර තමාව වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අදාළ හේතු සාධක සහ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලිඛිතව ලබාදෙන්නැයි ඔහු කොමිසමෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම ඇවන්ගාඩ් පැමිණිල්ල මෙම කොමිසමේ විෂය පථයට අදාල වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කර ඇති ඒ මහතා ඇවන්ඩ්ගාඩ් සභාපතිවරයා රාජ්‍ය නිලධාරියකු නොවන බවත්, ඔහු සිදුකර ඇත්තේ රජය විසින් පවත්වාගෙන ගිය සේවාවක් පවරා ගැනීම පමණක් බවත් පෙන්වා දී ඇත.

කොමිසමට විමර්ශනය කළ හැක්කේ දේශපාලන පළිගැනිමට ලක්වු බව කියන රජයේ නිලධාරීන් සහ සන්නද්ධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පමණක් බවත්, පැමිණිලිකාර නිශ්ශංක සේනාධිපති මෙම කාණ්ඩවලට අයත් නොවන නිසා ඔහුට නීත්‍යානුකූලව පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමට බලයක් නොමැති බවත් සඳහන් කරමින් නීතිපතිවරයා පෙරේදා  (22) ලිඛිත දැනුම්දීමක් කර තිබුණි.

ඒ, නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතාට කොමිසම නිකුත් කළ නොතීසිය සම්බන්ධයෙන් සිය ස්ථාවරය දන්වමිණි.

ඒ අනුව නීතිපති නිකුත් කළ එම ලිපියෙන් පසු ඇවන්ගාඩ් පැමිණිල්ල තවදුරටත් මෙම කොමිසමට පවත්වාගෙන යාමට හැකි දැයි අනුර දිසානායක මහතා ජනාධිපති කොමිසමෙන් ප්‍රශ්න කර තිබේ.

අනතුරුව කොමිසම හමුවේ අදහස් පළ කළ – නීතිපති දෙපාර්තමේන්තුවෙන් පත් කෙරුණු නීතිඥ මණ්ඩලයේ ප්‍රධානී, අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතාට නොතීසියක් නිකුත් කිරීමට කොමිසමට හැකියාවක් ඇත්ද සහ නිශ්ශංක සේනාධිපති විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල මෙම කොමිසමේ විෂය පථයට අයත් වන්නේද යන්න නීතිපතිගේ ලිපියේ අන්තර්ගත බව ප්‍රකාශ කර ඇත.

ඊට පිළිතුරු දෙමින් කොමිසමේ සභාපති විනිසුරු, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ ඇවන්ගාඩ් පැමිණිල්ල මෙම කොමිෂන් සභාවේ විෂය පථයට අයත් බවට මීට පෙර නිගමනය කිරීමෙන් පසු එය විභාග කිරීම ආරම්භ කළ බවයි.

මේ සම්බන්ධයෙන් යම් පුද්ගලයෙක් අතෘප්තිමත් වන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ඉහළ අධිකරණයකට ගොස් ඒ සම්බන්ධයෙන් සහනයක් ලබා ගැනීමට හැකි බවද ඔහු ප්‍රකාශ කර ඇත.

කොමිසමේ වැඩ කටයුතුවලට සහාය වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පත් කර ඇති නීතිඥ මණ්ඩලයේ ප්‍රධානී, අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා එහි දී නැවතත් කොමිසමට ප්‍රකාශ කළේ දේශපාලන කොමිසම ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදන අනුව ද මෙලෙස කටයුතු කිරීමට කොමිසමට බලයක් නොමැති බවයි.

එහි දී සභාපති විනිසුරුවරයා ඔබ කොපමණ කාලයක් කොමිෂන් සභාවේ වැඩ කටයුතු වලට සම්බන්ධ වී ඇත්දැයි අතිරේක සොලිස්ටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාගෙන් ප්‍රශ්න කර තිබේ. එවිට තමා නිශ්ශංක සේනාධිපති මහතා කරුණු දැක්වූ දින 03 තුළ සහභාගි වූ බව ඔහු සඳහන් කර ඇත.

එම අවස්ථාවේ දී මෙම ගැටලුව ඉස්මතු කිරීමට ඔබට මතක් වූයේ නැද්ද යන්න කොමිසමේ සභාපති විනිසුරු වරයා නැගූ පැනයට රොහාන්ත අබේසූරිය මහතාගේ පිළිතුර වී තිබෙන්නේ “නැත” යන්නයි.

කෙසේවෙතත් නීතිපතිවරයා කොමිසමට යොමු කළ ලිඛිත සැලකිරීමට අදාල නියෝගය ලබා දෙන ලෙස නැවතත් රොහාන්ත අබේසූරිය මහතා කොමිසමෙන් ඉල්ලා තිබේ. එවිට නීතිපතිවරයාගේ සෑම දැනුම්දීමකටම කොමිසම ප්‍රතිචාර දැක්විය යුතු නැති බව සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත.

මේ පිළිබඳ වැඩිදුර විභාගය ජුනි 26 වැනිදා දක්වා කල් තැබුණු අතර ඇවන්ගාඩ් පැමිණිල්ල සම්බන්ධයෙන් නොතීසි නිකුත් කෙරුණු කිසිදු වගඋත්තරකරුවෙකු ඊයේ  දිනයේ දී සාක්ෂි ලබා නොදීමද විශේෂත්වයකි.

LANKATRUTH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *