සේනාපතිගේ අවන්ගාඩ් පැමිණිල්ල විමසන්න ජනාධිපති කොමිසමට බලයක් නෑ – නීතිපතිගෙන් විරෝධතාවක්

නිශ්ශංක සේනාපති මහතා විසින් අවන්ගාඩ් සමුද්‍ර ආරක්ෂක සේවයේ කටයුතු රජයට පවරාගැනීම පිලිබඳ පැමිණිල්ල විභාග කිරීමට දේශපාලන පලිගැනීම් ගැන විභාග කිරීමට පත්කොට ඇති ජනාධිපති කොමිසමට බලයක් නැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති කොමිසම වෙත දැනුම් දී ඇත.

මෙම කොමිසම පත්කොට ඇත්තේ රජයේ සේවකයන්ට, රජයේ සංස්ථාසේවකයන්ට  සහ හමුදාවේ හෝ පොලිස් සේවයේ නියුතු වුවන්ට ආදී නිල තත්ත්වයක් ඇති අයගේ පැමිණිලි විභාග කිරීමට බවත් ,නිශ්ශංක සේනාධිපති එම කුමන හෝ නිල තත්ත්වයක් නැති තැනැත්තකු බවත් පෙන්වා දී ඇති නීතිපතිවරයා සේනාපතිගේ පැමිණිල්ල විභාග කිරීමට ජනාධිපති කොමිසමට බලයක් නැති බව පෙන්වා දී තිබේ.

එමෙන්ම නීතිපතිගේ නිලධාරීන්ට නොතිසි නිකුත් කිරීමට ද නීතිමය බලයක් කොමිසමට නැති බව නීතිපතිවරයා පෙන්වා දෙයි. එබැවින් තම නිලධාරීන් කොමිසම හමුවට ඉදිරිපත් නොකරන බව නීතිපතිවරයා කොමිසමට දැනුම් දී තිබේ.

නීතිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශිකා නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය නිකුත්කළ මාධ්‍ය ප්‍රකාශනයක් මගින් මේ කරුණු අනාවරණය කොට ඇත.

මේ අතර නිශ්ශංක සේනාධිපති මහතා ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබඳව සාක්ෂි දීම සඳහා හිටපු ඇමතිවරුන් වන රාජිත සේනාරත්න, පාටලී චම්පික රණවක, අර්ජුන රණතුංග ඇමතිවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්වරුන් අද දින ජනාධිපති කොමිසම හමුවට කැඳවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *