ඩඩ්ලි, ගම්ලත් නිදහස් ; ආණ්ඩුවේ මහත්වරුනි, දැන් එතකොට වී තොග, සහල් තොග සඟවාගෙන ඉන්නේ අපි ද ?
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති, මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා අව් කණ්නාඩි සහ අත්වැසුම් පැළඳි, ගිනි අවි අතදැරූ හමුදාව පිරිවරාගෙන ඩඩ්ලි සිරිසේනගේ අරලිය සහල් මෝලට කඩාවදින විට ආණ්ඩු හිතවාදීන් සිතන්නට ඇත්තේ එතුමා මැනිං මාකට්ටුවේ එළවලු වෙළඳුන්ට පෑ සිංහ තේජසම පෙන්වා ඩඩ්ලි සිරිසේනටත් “කන පැලෙන්න ගහන්නේ” යැයි සිංහනාද කරනු ඇති බවකි.
එහෙත් ඒ වෙනුවට සිදුවුණේ ඩඩ්ලි සිරිසේන මහතා මේජර් ජනරාල්වරයාව පසෙකින් තබාගෙන, ඔහුට වඩා බොහෝ ඉහළ බලධාරියකු, දේශපාලන ප්‍රබලයකු වන හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පතුරු යන්නට බැනීමත් මේජර් ජනරාල්වරයා ඒවා හිස වනමින් අසා සිටීමත් රටට වැඩකරන තමන් වැන්නෙකුට හිරිහැර කිරීම ගැන ඩඩ්ලි නෝක්කාඩු කීමත් මේජර් ජනරාල්තුමා ඩඩ්ලිට “ඔබතුමා හොඳ ව්‍යාපාරිකයෙක්, රටේ පුරවැසියෙක් හැටියට ඔබතුමාගේ මේ වැඩපිළිවෙල අපි අගය කරනවා” කීමත් අවසානයේ ඩඩ්ලිගේ, සිරිපාල ගම්ලත්ගේ ඇතුළු මහා පරිමාණ සහල් මෝල්වල වී හෝ සහල් තොග සඟවා නොමැති බවට රටට සහතිකයක් දීමත්ය.
ඊක්වලයිසර් බලන්නට සැදී පැහැදී සිටි අයට බලන්නට ලැබුණේ කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටියය.

මෙය එක් අතකින් කෝකටත් තෛලය ලෙස මිලිටරිකරණය ගෙනහැර පාන අයට නම් හොඳ පිළිතුරකි. හමුදා නිලධාරීන් යෙදවූ විට දැඩි පාලනයක් ක්‍රියාත්මක වේයැයි කීවද ඒ දැඩි පාලනය බලපාන්නේ මැනිං මාකට්ටුවේ සිටින පොඩි වෙළඳුන්ට මිස ඩඩ්ලි සිරිසේනලා වැනි බලවත් ධනවත් ප්‍රභූ ව්‍යාපාරිකයින්ට නොවේ. ඩඩ්ලිගේ කන පළන්නට මේජර් ජනරාල්තුමා හොඳටෝම පොඩි වැඩිය !
අනෙක් අතින් මේ පෙන්නුම් කෙරෙන්නේ මාධ්‍ය අධිරාජ්‍යයක බලයෙන් පිහිටුවාගත් ආණ්ඩුවක් රජයන රටක ජනතාවට පැය 24 මුළුල්ලේම රූපවාහිනී මාලා නාටකයක් තුළ ජීවත් වීමට සිදුවීමේ ඉරණමය. ඇමරිකානු නේවි සීල් භටයන් ත්‍රස්තවාදී තිප්පොලකට කඩාවදින ආකාරයෙන් තිර රචනය කර තිබුණ ද ඩඩ්ලිගේ සහල් මෝලට පැනීමේ ඇත්ත අරමුණ වූයේ සහල් සැඟවීමේ චෝදනාවෙන් ඩඩ්ලි සහ සිරිපාල ගම්ලත් යන ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින්ව නිදහස් කිරීමය. හමුදාවත් කඩාපැන සැඟවූ වී ඇටයක්වත් අත් අඩංගුවට ගැනීමට නොහැකි වූ නිසා රටේ කාටවත් මින් ඉදිරියට ඩඩ්ලිලාට, ගම්ලත්ලාට සහල් හිඟය ගැන චෝදනා කරන්නට නම් බැරිය.
ඒ අනුව දැන් අපට ආණ්ඩුවේ බලධාරීන්ගෙන් අසන්නට සිදුව ඇත්තේ වී තොග සහ සහල් තොග සඟවාගෙන සිටින්නේ අපද කියාය. වී සහ සහල් සැඟවීමේ චෝදනාවෙන් පාරිභෝගික අධිකාරිය හමුදාව සමඟ කඩාපැන පිරික්සූ හාල්මෝල් අටට අයත් අය නිදහස් වී ඇති නිසා දෙකෝටි විසි ලක්ෂයක ජනතාවගෙන් ඒ අට දෙනාත් ආණ්ඩුවේ සෙසු ප්‍රබල දේශප්‍රේමීනුත් හැර සෙසු සියලු දෙනාම සහල් සැඟවීමේ චූදිතයින් බවට දැන් පත්ව සිටිති.
පාරිභෝගික කටයුතු අධිකාරියේ ගරු කටයුතු මේජර් ජනරාල්තුමා ඔබේ නිවසටත් හමුදාව සමඟ කඩාපැන “කන පැලෙන්න ගහන්නේ” කියා කුස්සියේ තිබෙන සහල් කිලෝ දෙක අත් අඩංගුවට ගනීදැයි අප දන්නේ නැත. එහෙම නොවුණොත් හොඳය.
LANKANEWSWEB
