බේරුවල දරු ප්‍රසූතිය සහ රට ගිනිතැබීමේ හනුමන්තා මාධ්‍ය කලාව
කළුතර, බේරුවල ප්‍රදේශයේ දැනට වසා දමා ඇති පන්නිල ග්‍රාමයේ ගැබිණි මවක් ව්‍යාජ ලිපිනයක් ලබාදී රෝහල්ගතව දරුවෙකු ප්‍රසූත කර ඇති බවත් ඇයට කොරෝනා රෝගය වැළදී තිබුණු බවත් මේ කාන්තාවගේ වැරදි ක්‍රියාව නිසා කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ගණනාවක්ම නිරෝධායනයට යැවීමට සිදුව ඇති බවත් සඳහන් කරමින් පුවතක් අද (04) පෙරවරුවේ පටන් මාධ්‍ය ආයතන කිහිපයක්ම විසින් තරගයට මෙන් ප්‍රචාරණය කරනු දක්නට හැකිවිය.
පුවත කියවීමෙන් පරළ වූ දේශප්‍රේමී ෆේස්බුක් ජනතාව ඇයව ‘මරාගෙන මැරෙන මිනිස් බෝම්බකාරියක්’ ලෙස හඳුන්වමින් ඇයට දිය යුතු දඬුවම් සහ පොදුවේ ඇය නියෝජනය කරන ජන වර්ගයටම දිය යුතු දඬුවම් නිර්දේශ කරන අයුරු ඉන් පසුව දැක ගන්නට ලැබිණි.

ඇත්තටම සිදුව තිබුණේ කුමක්ද ?
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සිය නිල ෆේස්බුක් පිටුවෙහි වීඩියෝවක් පළ කරමින් සිද්ධිය පිළිබඳ අදහස් දක්වා තිබුණේ මෙසේය.
“ඊයේ රාත්‍රියේ අපට තවත් කොරෝනා රෝගියෙක් වාර්තා වුණා, ඒත් පන්නිල ගමෙන්මයි. අපි පන්නිල ඇතුළු ග්‍රාම නිලධාරී වසම් 5ක් ඇතුළුවීම පිටවීම සීමා කරලා තියෙනවා. මේ කාන්තාව පන්නිල ප්‍රදේශයේ ඉඳලා අඹේපිටිය කියන ගමට ගිහිල්ලා තියෙනවා ඇගේ අම්මා ඉන්නෙ එහෙ නිසා. ඇගේ ස්වාමි පුරුෂයා සහ දරුවො දෙන්නත් එක්ක. ගිහින් දරු දෙදෙනාම එහෙ නවත්තලා ස්වාමි පුරුෂයා සහ අම්මා සමඟ ඇවිත් කලුතර මහ රෝහලට ඇතුළත් වෙලා තියෙනවා.
ඇය ඇතුළත් වෙලා තියෙන්නෙ ප්‍රසූති වේදනාවෙන්, ඒ ඇරෙන්න ඇයට උණක් හෝ කැස්සක් හෝ කොරෝනා යැයි සැක කෙරෙන කිසිම රෝග ලක්ෂණයක් තිබී නැහැ. ඇය ඇතුළත් කිරීමේදී පී එච් අයි මහතා ලිපියක් දීලාත් නැහැ, මොකද ඇයට රෝග ලක්ෂණ කිසිවක් නැති නිසාත් ඇය පන්නිල වූවාට රෝගියා සිටි ගමට තරමක් ඈතින් ඇගේ පදිංචිය තියෙන නිසාත්. ඒක නිසා ප්‍රමාදය වළක්වන්න පී එච් අයි මහතා උපදෙස් දීලා තියෙනවා වහාම කලුතර මහ රෝහලට ඇතුළත් වෙන ලෙසට දරු ප්‍රසූතිය සඳහා.
ඇය ප්‍රසූතිය සඳහා ලේබර් රූම් එකට ගිය වෙලාවෙ තමයි ඇය පන්නිල කියලා හොයාගෙන තියෙන්නෙ. ඕපීඩී එකෙදි ඇගේ ලිපිනය දීලා තියෙන්නෙ අඹේපිටියෙ කියලා. ඕපීඩී වෛද්‍යවරයා අඹේපිටිය කියලා තමයි ලිපිනය දාලා තියෙන්නෙ ඇතුළුවීමේ ලේඛනයේ. ඒකෙන් පන්නිල කියන එක මිස්වෙලා තියෙනවා, කොහොම හරි ලේබර් රූම් එකට යනකොට තමයි පන්නිල කියලා හොයාගෙන තියෙන්නෙ. ස්ටාෆ් එකේ සැකයට මෙයාව චෙක් කළා, ඒකෙන් හොයාගෙන තියෙනවා කොරෝනා කියලා.
ඒ අනුව අපි හොයාගෙන ගියා ගෙවල් දෙක සහ මේ කාන්තාව පදිංචි වෙලා ඉන්න ස්කීම් එක. එතන ගෙවල් තිස් ගාණක් තියෙනවා ළඟ ළඟ ගෙවල්. මේ කාන්තාව ගෙදරින් එළියට යන කෙනෙකුත් නෙවෙයි, එළියට යන සියලු දේවල් කරන්නෙ ඇගේ මහත්තයා. අපි හොයලා බැලුවා, කලින් කොරෝනා රෝගියා සමඟ මේගොල්ලො කිසිම සම්බන්ධයක් වෙලා නෑ. දැක්කා කියලා කියන්නෙත් අවුරුද්දකට විතර කලින් ඒ පුද්ගලයාව. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. ඒ කිට්ටුව බඩු ගන්න කඩේකට ගිහින් තියෙනවා දවස් දෙකක්.
අපි ළඟදි 219 දෙනෙක් යැව්වා පූනානි කඳවුරට නිරෝධායනය කරන්න. ඒ යවනකොට ඒ කඩේ ඉන්න පවුලමත් අපි යැව්වා. අපට දැනගන්න තියෙන්නෙ මේ කඩේ තියෙන්නෙ මැද්දට වෙන්න, මේ පැත්තට පන්නිල – සෆානි ස්කීම් එක තියෙන්නෙ අනිත් පැත්තට වෙන්න. ස්කීම් එකෙ කට්ටියත් බඩු ගන්නෙ මැද තියන කඩෙන් කියලා තමයි දැනගන්න ලැබුණෙ. රෝගියෙක් කඩේ තිබුණු බඩු අතපත ගාලා එතනින් ස්වාමි පුරුෂයාට බෝ වෙලා ඔහුත් රෝග ලක්ෂණ පෙන්වන්නෙ නැතුව ඔහුගෙන් ඇයට බෝවෙන්න ඇති කියලා අපි හිතනවා. රෝග ලක්ෂණ නැතුවත් මෙහෙම රෝගීන් මතුවෙන එක ඉතාම භයානක තත්වයක්”
මෙම ප්‍රකාශය අනුව පෙනී යන්නේ අදාළ කාන්තාව පන්නිල ගමේ සිට සිය දරු දෙදෙනාත් රැගෙන බේරුවල ප්‍රදේශයේම අඹේපිටිය ගම්මානයේ පිහිටි සිය මවගේ නිවසට ගොස් එහි දරු දෙදෙනාත් නවත්වා සැමියා සහ මව සමඟ රෝහලට පැමිණ ඇති බවත් ඇය ප්‍රසූති වේදනාවෙන් පෙළෙමින් සිට ඇති බවත්ය. රෝහලට ඇතුළත් වීමේදී ඇය සිය භාරකාරයා වන මවගේ නිවසේ ලිපිනය ලබාදී ඇත. සාමාන්‍යයෙන් කවරෙකු වුවත් රෝහලකට ඇතුළත් වෙද්දී ලබා දෙන්නේ තම භාරකරුගේ ලිපිනයයි. ඒ අනුව මෙම කාන්තාව සැලසුම් සහගතව ලොවෙත් නැති ව්‍යාජ ලිපිනයක් ගොතා රෝහලට ලබාදී නැත.
අනෙක් අතට ගර්භණී කාන්තාවක් දරු ප්‍රසූතිය සඳහා රෝහලකට ඇතුළත් වෙද්දී ඇයගේ පූර්ව ප්‍රසව සායන කාඩ්පත අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුමය. එය නොමැතිව දරු ප්‍රසූතියක් සඳහා රජයේ රෝහලකට යාමට නොහැක. එම කාඩ්පතේ ග්‍රාම සේවා වසම සඳහන් වන නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඇය පැමිණියේ කොහි සිටද යන්න පහසුවෙන් හඳුනාගත හැකිවිය යුතුය. ඇයව බාහිර රෝගී අංශයේ සිට වාට්ටුව කරා රැගෙන යාමේදී එය හඳුනාගෙන ඇති අතර ඉන්පසුව ඇයව වෙන්කර වෙනම වාට්ටුවකට ඇතුළත් කරගෙන ඇති බවත් කොරෝනා පරීක්ෂණයකට ඇයව ලක් කරන අතරම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පෞද්ගලික ආරක්ෂණ උපකරණ භාවිතා කරමින් ආරක්ෂිතව දරු ප්‍රසූතියේ කටයුතු සිදුකර ඇති බවත් අපට දැනගැනීමට හැකිවිය.
එසේම මෙම කාන්තාව නිරෝධායනය නොවී සැඟවී සිටි අයෙකු බවට එක් මාධ්‍ය ආයතනයක් චෝදනා කර තිබුණු අතර එය අසත්‍ය බව පෙනෙන්නේ ඇයට කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණු නිසා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරියා ඇය වෙනුවෙන් විශේෂ ලිපියක් ද ලබාදී නොමැති බවත් ඇයව වහාම රෝහලට ගෙනයන ලෙස උපදෙස් ලබාදී ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කරන නිසාය. අනෙක් අතට වෛද්‍යවරයා පවසන ආකාරයට මෙම කාන්තාව මීටපෙර කොරෝනා රෝගීන් හමුවූ ගමේම වාසය කළ අයෙකු ද නොව ඒ සමීප ප්‍රදේශයක වාසක කළ අයෙකි. ඇය නිවසෙන් පිටව කොහේවත් ගොස් ද නැත. ඒ අනුව මෙම කාන්තාව සිතාමතා වුවමනාවෙන්ම වරදක් කර ඇති බවක් අපට නම් පෙනෙන්නේ නැත.
රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් නිරෝධායනයට ලක්කිරීමට සිදුව ඇත්තේ හිතාමතා කළ වරදකින් නොව මෙවැනි කලබලකාරී අවස්ථාවක දෙපාර්ශ්වයෙන්ම සිදුව ඇති අතපසුවීමක් නිසා බව පෙනේ. එය අවාසනාවන්ත සිදුවීමක් මිස කුමන්ත්‍රණයක් නොවේ.
එහෙත් කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගැනීමට වඩා සිය ස්වාමිවරුන්ට දේශපාලන වාසි රැගෙන දීම වැදගත් බව සිතන සහ ඒ වෙනුවෙන් රට ගිනිතැබීමේ හනුමන්තා මාධ්‍ය කලාවෙහි නියැළෙන මාධ්‍ය වෘත්තිකයින් අද උදෑසන පටන් කර තිබුණේ තමන් ආශා කරන ආකාරයෙන් සිද්ධිය විස්තර කරමින් මහා බිල්ලෙකු මැවීමය. වෛරය වපුරමින් වැළපෙන්නට මඟ බලා සිටින සිය දේශපාලන පාඨක පිරිසගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමය.
රට කොරෝනා වසංගතයෙන් බේරෙන මොහොත වනවිට ඊට වඩා දරුණු ජාතිවාදී වසංගතයක ගිල්වා දැමීම එකම අරමුණ කරගෙන සිටින, එය “දේශප්‍රේමය”, “ජාති ආලය” වශයෙන් වර නඟාගෙන සිටින හනුමන්තලා කණ්ඩායමක් සමඟ කොරෝනාවට මුහුණ දෙන්නේ කෙසේද යන්නම දැවෙන ප්‍රශ්නයක් ය.
LANKANEWSWEB
