ඉතාලි තානාපති කාර්යාලයෙන් නිවේදනයක් – අජිත් රෝහණගේ කතාව බොරු

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු නිරුවත් කර කිසිදු ආගමික වතාවතකින් තොරව අවසන් කටයුතු සිදු කෙරෙන බවට ඇතැම් පුද්ගලයින් විසින් ශ්‍රී ලංකාව තුළ ගෙනයන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම තානාපති කාර්යාලය අවධාරණය කරන්නේ ඉතාලියේ කොරෝනා මරණවලදී පොදුවේ සමාන්‍ය පරිදි ආදාහන කටයුතු සිදුකිරීමට අවසර නොමැති නමුත් මියගිය පුද්ගලයාගේ සමීපතමයින් පිරිසකගේ සහභාගීත්වයෙන් එම පුද්ගලයාගේ ආගමට අනුව අවසන් කටයුතු සිදුකිරීමට සියල්ලන්ටම අවසර  ලබාදී තිබෙන බවයි.

එසේම මියගිය තැනැත්තන්ගේ මෘත දේහයන් (තැන්පත් කළ තනි මිනිපෙට්ටිය හෝ භෂ්මාවශේෂ තැන්පත් කළ බඳුන) තනි තනි වශයෙන් අදාළ පුද්ගලයාට අයත් ආගමානූකූලව සහ නීතිමය රෙගුලාසිවලට අනූව හිමි විය යුතු අවසන් ගෞරවයන් දක්වමින් ඉතාලි සංස්කෘතියේ මුල් බැසගත් අවමංගල්‍ය චාරිත්‍රවලට අනුව නිසි පරිදි අවසන් කටයුතු සිදුකිරීමට සියලූ පහසුකම් රජය විසින් සළසා දී තිබෙන බවත් ඔවුන් සඳහන් කරයි. 

මේ අතර අනවසරයෙන් ඉතාලියේ රැඳී සිට ශ්‍රී ලංකාවට පැමිණි කිසිවෙකුත් ඉතාලියට පැමිණීම සඳහා තම තානාපති කාර්යාලයෙන් වීසා ලබාගෙන නොතිබුණු බවත් මේ වනතුරුත් එසේ වීසා ලබාගැනීම සම්බන්ධයෙන් ඉල්ලීම් කර නොමැති බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වේ. 

කොරෝනා වෛරසයෙන් මියගිය ඉතාලි ජාතිකයින්ගේ මළ සිරුරු නිරුවතින්ම ලොරිවල පටවාගෙන ගොස් කම්බි කොක්කකින් වළවල්වලට අතහරින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය මැඬපැවැත්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රකාශකයකු වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසිනි. 

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *