මට කොච්චර බැන්නත් මේ වෙලාවේ මම කට අරින්නේ නැහැ – එජාප නායක රනිල් වික්‍රමසිංහ

රජයක් ලෙස තමන් රටට අත්කර දුන් ජයග්‍රහණ රැක ගැනීමට එක්සත්ව සටන් කිරීම අවශ්‍ය බවත් , එබැවින් මේ මොහොතේ ඇතැමුන් තමන්ට කොපමණ බැන්නත් තමන් කට නොහරින බවත් එකසත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
ජනාධිපතිවරයාගේ බලය සීමා කොට එම බලය පාර්ලිමේන්තුවට පැවරීම , ස්වාධින කොමිසන් සභා ඇතිකර අධිකරණයට පොලිසියට හා රජයේ සේවකයින්ට තම සේවා ඉටුකිරීමේ දී අවශ්‍ය ස්වාධිනත්වය සහතික කොට ඇති බව කී වික්‍රමසිංහ මහතා , තමන්ට වැරැද්දක් කරන්න කියූ නියෝජ්‍ය ඇමතිවරයකුට විරුද්ධවීමට රජයේ නිලධාරිනියකට හැකිවුයේ තම රජය ඔවුන්ගේ ස්වාධීනත්වය සහතික කිරීමට අවශ්‍ය පසුබිම සකසා තිබු නිසා බව ද පෙන්වා දුන්නේය.
වත්මන් රජය දැන් එම ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ ආපසු හැරවීමට උත්සහ දරන බව කියූ එජාප නායකයා එම උත්සාහය පරාජය කිරීමට සමගිව සටන් කිරීම මේ මොහොතේ අවශ්‍ය තාවය බව පෙන්වා දුන්නේය. ඒ සදහා කළහැකි සියලු කැපවීම් කරන බව කී ඒ මහතා පක්ෂය රැක ගැනීම අවශ්‍ය නිසා තමා වැඩිදුර කතා කිරීමෙන් වලකින බව ප්‍රකාශ කළේය .
එජාප නායකයා මෙම ප්‍රකාශය කළේ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් සමග ඊයේ රාජගිරියේ දී පැවති සාකච්ඡාවක දී ය.
පක්ෂයේ එක් පිරිසක් තම පාර්ශවය දුර්වල කිරීමට උත්සහ කරමින් පහර දීමේ ක්‍රියාමාර්ග වල නියුතුව සිටිය දී නිහඩ වීම අවාසිදායක බව පැමිණ සිටි බොහෝ දෙනා අදහස් දක්වමින් කියා සිටිය ද , රනිල් වික්‍රමසිංහ මහතා ඒ කිසිවකට ප්‍රතිචාර දැක්වුයේ නැත .
