අලුත් ගමනට එක්වන්නැයි සජිත්ගෙන් එජාපයේ සැමට ආරාධනා !

රට ගොඩනැංවීම වෙනුවෙන් “සමගි ජන බලවේගය” දියත් කරන අලුත් ගමනට එකතු වන ලෙස එම සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, සාමාජිකයින් සහ හිතවතුන් ඇතුළු සැමට ආරාධනා කරයි. 

“මම මේ අවස්ථාවේදී ආරාධනා කරනවා එක්සත් ජාතික පක්ෂය ඇතුළු මේ රටේ සියලුම ප්‍රගතිශීලී බලවේගවලට සමගි ජන බලවේගයත් සමඟ එකතු වෙන්න කියලා. එක්සත් ජාතික පක්ෂයේ සියලුම මැති ඇමතිතුමන්ලා, මන්ත්‍රීතුමන්ලා, පළාත් සභා නගරසභා ප්‍රාදේශීය සභා නියෝජිතයින් මේ සෑම සියලු දෙනාම බියක් සැකයක් නැතිව එඩිතරව දකුණු පය පෙරට තබලා රට ගොඩනඟන අලුත් ගමනට එකතු වන්නැයි කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරනවා. 

ඒ එකතුවෙන සියලුම දෙනා අපි රැකගන්නවා. අපි ආරක්ෂා කරනවා. තනතුරු, තාන්න මාන්න, ඔය තාවකාලික දීමනාවලට කවුරුත් වහල් වෙන්නෙ නෑ. රටේ ජනතාව ගැන හිතලා අලුත් ගමනක් ආරම්භ කිරීමේ මූලාරම්භයට ඔබතුමන්ලා, ඔබතුමියන්ලා සියලුම දෙනාගේ සහෝදර ශක්තිය එකතු කරන්නය කියලා මම ඉල්ලීමක් කරනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (02) කොළඹ, නෙළුම් පොකුණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සමගි ජන බලවේගය එළිදැක්වීමේ උත්සවය අමතමිනි. 

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකු ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටියහ. 

RN

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *