ජනමත සමීක්ෂණ ඉලක්කම් විජ්ජාවලින් පක්ෂයම රැවටූ බවට හර්ෂට චෝදනා !

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ව්‍යාජ ජනමත සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් සමස්ත එක්සත් ජාතික පක්ෂයම බරපතළ රැවටීමකට ලක් කළ බවට හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාට එරෙහිව පක්ෂය තුළින්ම දැඩි චෝදනාවක් එල්ල වී ඇතැයි වාර්තා වේ. 

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය ඉදිරිපත් කළ සියලුම ජනමත සමීක්ෂණ වාර්තා සකස් කර තිබුණේ හර්ෂ ද සිල්වා මහතාට අයත් සමාගමක් විසින්, ඒ මහතාගේ මෙහෙයවීම යටතේය. 

විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදිය යුතුය යන්න අවධාරණය කිරීම සඳහා ඔවුන් උපයෝගී කරගෙන තිබුණේ මෙම සමීක්ෂණ වාර්තා වන අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතා 58%ක ඡන්ද ප්‍රතිශතයක් සහිතව විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්පත් කරගන්නා බව දක්වා තිබිණි. 

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලැබීමෙන් අනතුරුව හර්ෂ ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තාවල දක්වා තිබී ඇත්තේ ප්‍රේමදාස මහතා 35%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් සහිතව ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කරන බවකි. 

මේ පිළිබඳව පක්ෂයේ ජ්‍යේෂ්ඨයින්ගේ අවධානය යොමුව ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබාදීමට පෙර හර්ෂ ද සිල්වා මහතා ඉදිරිපත් කළ ව්‍යාජ සමීක්ෂණ වාර්තා හරහා ඔහු පක්ෂය දැවැන්ත රැවටීමකට ලක් කර ඇති බවට ඔවුන් චෝදනා කර ඇති බව සඳහන්. 

ඒ අනුව මේ පිළිබඳව හර්ෂ ද සිල්වා මහතාගෙන් ප්‍රශ්න කිරීමට පසුගියදා පැවති පක්ෂ ජ්‍යේෂ්ඨයින්ගේ රැස්වීමකදී තීරණය වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

LANKA NEWS WEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *