නිදහස් මාධ්‍යවේදියාට පහරදීම ගැන විශේෂ විමර්ශනයක්
මුහුණු ආවරණයකර ගත් සන්නද්ධ කණ්ඩායමක් හබරාදූව මීපේ ප්‍රදේශයේ නිවසට පෙරේදා (14) රාත්‍රියේ කඩාවැදී නිවෙස් හිමි නිදහස් මාධ්‍යවේදියකුට පහරදීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇතැයි හබරාදූව පොලීසිය පැවසීය.
පහරකෑමට ලක්වූ නිදහස් මාධ්‍යවේදී ලසන්ත විජේරත්න මහතා කරාපිටිය රෝහලට ඇතුළත්කර තිබේ. ඔහුට කැපුම් තුවාල සිදුව ඇතැයි පොලීසිය කියයි.
“ නාස්තිකාර සංවර්ධනය සහ දූෂණය“ නමින් මොහු රචිත ග්‍රන්තයක් පසුගිය දා අහංගම පැවැති දෝශපාලන රැස්වීමක දී ජනපති අපේක්ෂකයකුට පිළිගන්වීම මෙම ප්‍රහාරයට මුල්වන්නට ඇතැයි විජේරත්න මහතාගේ බිරිය මධුෂා ප්‍රියංගිකා මහත්මිය සඳහන් කළාය.
විජේරත්න මහතාගේ හිසට හිස් ආවරණයකින් පහර දී ඇති බවත්, තවත් අයෙක් පිහියකින් ඇනීමට තැත්කර තිබෙන බවත්, පහරදීම සම්බන්ධයෙන් ඊයේ (14) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අභ්‍යන්තර සහ ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කර තිබේ.
