එහෙම වුනානම් ඇදිහැසත් නැහැ – අනුර සූරියබණ්ඩාර

මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම පිළිබඳ කතාබහ නැවතත් මෙරට දේශපාලන කරළියේ උණුසුම් කරමින් තිබේ. හේතුව මේ වන විට එම ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබීමය. ඒ අතර නීතිඥයෙකු එම ගිවිසුමට එරෙහිව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා එම ගිවිසුමට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළ බව කියැවේ. උදය ගම්මන්පිල විමල් වීරවංශ වැන්නන් ජනාධිපතිවරයා හමුවී එළැඹෙන ජනාධිපතිවරණයට පෙර මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුමට අස්සන් කරන්නට ඉඩ නොදෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබිණ.
වසර අටකට ආසන්න කාලයක් තිස්සේ මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම රට පාලනය කරනු ලැබූවේ ඇමෙරිකානු භීතියක් සහ බටහිර විරෝධයක් මවාපාමිනි . එහෙත් ඔවුන්ගේ රහසිගත ජීවිතය කෙසේවත් ඇමරිකානු විරෝධී වූයේ නැත. නිදසුනක් වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වත්මන් ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය පවා දරනු ලැබුවේ ඇමරිකානු පුරවැසිභාවය සාක්කුවේ රඳවා ගනිමිනි. ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය මේ වන විටත් අහෝසි වී නැත. ඔහු මෙවර ජනාධිපතිවරණයට තරග කරන්නේ එක් පයක් ඇමරිකාවේ ද අනෙක් පය ශ්‍රී ලංකාවේ ද තබාගත් ඇමරිකා ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියෙක් වශයෙනි.
ගෝඨාභය මහතාගේ බිරිය පවා මේ වනතුරු ඇමරිකානු පුරවැසි භාවය ආරක්ෂා කරගනිමින් සිටින තැනැත්තියෙකි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද ඇමරිකානු පුරවැසියෙකි. ඒ අනුව ගත් කළ මෙරට දේශපාලනය ඇමරිකානු ලකුණ වශයෙන් පොහොට්ටු පක්ෂය හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හඳුනා ගැනීමෙහි වරදක් නැත. ගැටලුව වන්නේ තම ජනාධිපති අපේක්ෂකයාගේ, ජාතික සංවිධායකවරයාගේ සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන්ගේත් ඇමරිකානු පුරවැසිභාවය ප්‍රශ්න නොකරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැන්නන් වත්මන් ආණ්ඩුවට ඇමෙරිකානු හිතවාදී චෝදනා එල්ල කරමින් සිටීමයි.
ඊළඟ කරුණ වන්නේ සති කිහිපයකට පෙර අනුර ප්‍රියදර්ශන යාපා සහ කෙහෙළිය රඹුක්වැල්ල යන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරුන් පවසා තිබුණේ ගෝඨාභය මහතා බලයට පත්වුවහොත් මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම් සම්බන්ධව සාකච්ඡා කරන බවයි. මිලේනියම් චැලේන්ජ් යනු විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදීන් සහ මහින්ද රාජපක්ෂ පවා පවසන ආකාරයේ යක්ෂයෙකු නම් ඒ් පිළිබඳ ඔවුන් බලයට පත්වූ පසුව සාකච්ඡා කරන්නේ කුමට ද? යනු ප්රශ්නයකි.
මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම යනු මේ වන විට රහසක් හෝ රහස් පත්‍රිකාවක් නොවේ. අවශ්‍ය අයෙකුට එහි තොරතුරු අන්තර්ජාලය ඔස්සේ කියවා ගැනීමේ හැකියාව ආණ්ඩුව විසින් සපයා තිබේ.
ශ්‍රී ලංකාව සතු දේපල ඇමරිකාවට විකිණීමේ සූදානමක් පිළිබඳ භීතිකාවන් මැවීම රාජපක්ෂ කල්ලියේත් ඔවුන්ගේ හිතවතුන්ගේත් පැරණි තැටියකි . කලකට පෙර ඔවුන් කියනුයේ සීගිරිය සිංහරාජය ද විකිණීම සූදානමක් ඇති බවයි. සීගිරිය සහ සිංහරාජය යනු ලෝක උරුමයන් දෙකකි. එවැනි ස්ථාන මිලදී ගැනීමට සංස්කෘතික උරුමයන්ට ගරු කරන එවැනි උරුමයන් ගැන අවබෝධයක් ඇති කවර රටක් හෝ ඉදිරිපත් වන්නේ නැත. එකී කතා වලින් පෙනී යන්නේ බලය ලබාගැනීම සඳහා රාජපක්ෂ කල්ලිය කොයිතරම් කෙප්ප කෙළින්නෙ ද යන්නයි.
මිලේනියම් චැලේන්ජ් ගිවිසුම යනු 2002 වසරේ පටන් සාකච්ඡා වෙමින් පවතින කාරණයකි. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දෙන්නේ 2005 බලයට පත්වූ පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ද මිලේනියම් චැලේන්ජ් ප්‍රධාන මුදල ලබා ගැනීමේ උත්සාහයක නිරත වූ බවයි. මංගල සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එවක මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා වශයෙන් තමා ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීමේ සාකච්ඡාවකට එවකට මහින්ද ජනාධිපති මහතාගේ ඉල්ලීමකට අනුව සහභාගී වූ බවයි. එහිදී එම උත්සාහය අසාර්ථක වී ඇත්තේ රාජපක්ෂ ආණ්ඩුව මානව හිමිකම් කැරට්ටුවේ චෝදනා හේතුවෙනි.
මිලේනියම් චැලේන්ජ් ගිවිසුමේ දෝෂ ඇතොත් ඒවා තර්කානුකූලව පෙන්වා දෙන්නට මහින්දවාදීන්ට මේ වනවිට හැකියාව තිබිය යුතු නමුත් ඔවුන් කරමින් සිටින්නේ මේ වන විට අන්තර්ජාලයේ පළකර ඇති එම ලියවිල්ල පිළිබඳව තර්කානුකූල මත ප්‍රකාශ කිරීම නොවේ. ජනතාව භීතියට පත් කිරීම සඳහා නන් දෙඩවීමයි.
විමල් විරවංශ කියමින් යන්නේ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම නිසා ඇමරිකාවට මෙරට ඉඩම් කොල්ලකෑමට ඉඩ ලැබෙන බවයි. හමුදා මූලස්ථානය පැවති ඉඩම ෂැංගිලා හෝටලය ඉදිරිකිරීම් සඳහා චීනයට පාවා දෙන විට බත් මුඛයත් අධෝමුඛයත් යන දෙකම කිටිකිටියේ තද කරගෙන සිටි විමල්ගේ මෙවැනි කෙප්ප වලින් ජනතාව නොමඟ යායුතු නැත.
මිලේනියම් චැලේන්ජ් ආධාර මුදල ඇත්ත වශයෙන්ම යොදා ගැනෙන ලැබෙන්නේ මහනුවර නගරයේ දැනට ක්‍රියාත්මකව පවතින සහසර ව්‍යාපෘතිය රටපුරා ක්‍රියාත්මක කිරීම, මාර්ග සංවර්ධන අධිකාරිය හරහා රට පුරා මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම ආදී කටයුතු සඳහාය. රටේ බොහෝ තැන්වල පවතින මාර්ග තදබදයට විසඳුම් ලැබීම එම ප්රදානය යටතේ ඉටු වන සුවිශේෂී යහපතකි.
රාජපක්ෂවාදීන් මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිබඳ භීතිකාව මවන්නේ ආර්ථික කොරිඩෝ හතර පිළිබඳ සංකල්පය මිලේනියම් චැලේන්ජ් ප්රදානය සමග සම්බන්ධ කරමිනි. ආර්ථික කොරිඩෝ යනු අනාගතය මෙරට ඇති විය හැකි ඉඩම් හිඟය, ජලය, අධ්‍යන අවශ්‍යතා ඇතුළු ගැටලු සඳහා වන දිගු කාලීන විසඳුම් සංකල්පයකි. ජාතික භෞතික සැලැස්ම යටතේ ක්‍රියාත්මක වීමට නියමිත ආර්ථික කොරිඩෝ යනු ඇමරිකාව හෝ වෙනත් රටක් විසින් යෝජනා කළ දෙයක් නොව මෙරට විද්වතුන් පිරිසකගේ වසර ගණනක වෙහෙස මහන්සියක පලයකි.
යම් යම් රටවල් සහ සංවිධාන මඟින් මෙරට ආර්ථික සංවර්ධන කටයුතු වලට ආධාර පරිත්‍යාග සැපයීම අද ඊයෙ හෝ වත්මන් ආණ්ඩුව යටතේ පමණක් සිදුවන්නක් නොවේ. නිදර්ශනයක් වශයෙන් සුනාමි ඛේදවාචකය අවස්ථාවේ මෙරට විදේශ මෙරටට විදේශ රටවලින් සහ සංවිධාන වලින් බොහෝ මූල්‍ය හා භාණ්ඩ ආධාර ලැබුණි. මහින්ද රාජපක්ෂ මහතාගේ හෙල්පින් හම්බන්තොට ගිණුමට බැර වූ බවට එකල මහත් ආන්දෝලනයක් ඇති වූයේ ද එසේ ලැබුණ මුදල්ය.
කොළඹ ක්‍රමය වැනි වැඩසටහන යටතේ ද අතීතයේ මේ රටට ආධාර ලැබුණි. රටේ වාසනාවකට එකල මෙරට දේශපාලනයේ ගෝඨා මහින්ද විමල් ගම්මන්පිල වැනි වංචනිකයන් සිටියේ නැත. එසේ සිටියේ නම් මෙරට පාසල් දරුවන්ගේ මන්දපෝෂණය දුරු කිරීමට එකල ඇමරිකාවෙන් ලැබුණු ඇදිහැස බිස්කට් වලටත් කෙලවන්නට උත්සාහ ගන්නවාට සැකයක් නැත.
