ගෝඨාබය නම් ඒ මහා සහජීවන දේශපාලනඥයා !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා යනු එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ බිහිවූ අති විශිෂ්ටතම සහජීවන දේශපානඥයාය. දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා පරදන තරමේ සහජීවනයක් සහ සංහිදියාවක් එකිනෙකට ශ්‍රී ලංකාවේ ප්‍රතිවිරුද්ධ ජනකොටස් අතර ඇතිකිරීමට ජනාධිපති අපේක්ෂක ධුරය ලබාගෙන මසක් වැනි කෙටි කාලයක් තුල ඔහුට හැකිවිය. ජනාධිපති අපේක්ෂක ධුරයෙන් මෙතරම් සේවයක් ඉටුකලේ නම් ජනාධිපති ධුරයට පත්වූ පසු ශ්‍රී ලංකාවේ සහජීවනය ඔහු විසින් කුමන තලයකට රැගෙන යනු ඇත්දැයි දේශපාලන විචා රකයෝ විස්මය පලකරති.
සහජීවනය යනු එකිනෙකට නොගැලපෙන මතවාද නියෝජනය කරන පිරිස් තම නොගැලපීම් කළමනාකරණය කරගනිමින් එකට සාමයෙන් වාසය කිරීමයි. ඒ සඳහා එක ළඟ ළඟ කෙටි කාලයක් තුල මෙපමණ උදාහරණ සංඛ්‍යාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුලින් මිස අන් කිසිදු තැනකින් හමුවන්නේ නැත.
ඒවා මෙසේය:-
1. එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැගෙනහිර නායකයා වූද ඊළාම් යුද්ධය හා සමගාමීව අති විශාල මිනිස් ඝාතන රැසකට වගකිවයුත්තා ලෙස සැළකෙන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් ගෝඨාභය කඳවුරේය. එපමණක් නොව කලක් කරුණාගේ ගෝලයාව සිට පසුව වෙන්වූ පිල්ලෙයාන්ද ගෝඨාභය කඳවුරේය. අනෙක් පැත්තෙන් කොටින්ට එරෙහිව මරණය පෙනි පෙනී සටන් වැද අවසානයේ ප්රභාකරන් මරාදැමූ 53වන සේනාංකයට අණදුන් මේජර් ජනරාල් කමල් ගුණරත්න ගෝඨාභයගේ කඳවුරේය.
2. වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධ සිදුවීමේ මහ මොළකරු ලෙස සැළකෙන මහාචාර්ය චන්න ජයසුමන ගෝඨාභයගේ කඳවුරේය. අනෙක් පැත්තෙන් මුළ සිටම සාෆි සිද්ධිය ඩ්රැකියුලා මාධ්‍යකරුවන්ගේ නාටකයක් බව කියූ සහ පසුව එය පොහොට්ටුවේ නාටකයක් බව පිළිගත් ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි ගෝඨාභයගේ කඳවුරේය.
3. මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයේ හිමිකරු එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා ගෝඨාභය කඳවුරේය. ශරියා විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව එළියට බැස එය වසා දැමිය යුතු බවට විශාල සටනක් ගෙනගිය අතුරලියේ රතන හිමි ගෝඨාභය කඳවුරේය.
4. වහාබ් වාදය ශ්‍රී ලංකාවේ පතුරවන බවට චෝදනා ලබා ඇති, වරක් බුදුරජාණන්වහන්සේ මිනීමස් අනුභව කළ බව කියූ තව්හිද් ජමාත් නායක අබ්දුල් රාසික් ගෝඨාභය කඳවුරේය. අනෙක් පැත්තෙන් වහාබ්වාදය පෙන්නන්න බැරි ගලගොඩඅත්තේ ඥානසාර හිමි ගෝඨාභය කඳවුරේය.
5. මුළින්ම දෙමළ ඊළාම් රාජ්‍යය ප්‍රකාශයට පත්කළ වර්ධරාජා පෙරුමාල් ගෝඨාභය කඳවුරේය. අනෙක් පැත්තෙන් තනි සිංහල බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය කිරීමට කැපවී සිටින මහාචාර්ය නලින් ද සිල්වා ගෝඨාභය කඳවුරේය.
6. නාලන්ද එල්ලාවල ඝාතනය කළා යැයි චෝදනා ලැබූ ඇතැම් අවස්ථාවක එය පිළිගත් සුසන්ත පුංචිනිලමේ ගෝඨාභය කඳවුරේය. අනෙක් පැත්තෙන් එකළ නාලන්දට වෙඩිතබනවා දුටුවාය කී නාලන්දගේ අතිජාත මිතුරා ඩිලාන් පෙරේරා ගෝඨාභය කඳවුරේය.
7. වටුක යන්ත්‍ර, වාලම්පුරි ඉස්සර කරගත් ශාන්තිකර්ම සංගමය ගෝඨාභය කඳවුරේය. අනෙක් පසෙන් මිත්‍යාව ප්‍රතික්ෂේප කරන නමට හෝ වියතුන් යැයි කියන වියත්මග කණ්ඩායම ගෝඨාභය කඳවුරේය.
8. හරිහැටි ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත්තාදැයි තවමත් සැකසහිත ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාය. අනෙක් පැත්තෙන් ඇමරිකන් කියන්නට “ඇ” යන්න කියද්දී රෙද්දේ බඩ යන තරමට කේන්ති ගන්නා විමල් වීරවංශ ගෝඨාභය කඳවුරේය.
මෙම නොගැලපීම් සියල්ල විස්මිත ලෙස එකිනෙකට සමපාත කරගෙන සහජීවනය ගොඩනැගූ ගෝඨාභය රාජපක්ෂ සුවිශේෂී සහ විශිෂ්ට සංහිඳියා විශේෂඥයෙකු වන්නේ මේ නිසාය.
එය සැබැවින්ම අගය කළ යුතු අතර සහජීවනය සංහිඳියාව අගය කරන සියලු දෙනා ගෝඨාභයට ඡන්දය දිය යුතු බව සිරි ලංකාවේ දේශපාලන විචා රකයෝ අවධාරණය කරති.
අන්තර්ජාලයෙන් ලැබුණු ලිපියකි
