ගෝල්ෆේස් තදියම – සම්පත් අමරසිංහ

එක්සත් ජාතික පක්ෂය සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළේ කොළඹ ගාලුමුවදොර පිටිය හෙවත් ගෝල්ෆේස් පිටියෙනි. එම මංගල රැළිය සඳහා විශාල ජනසහභාගිත්වයක් පැවතුණි. එම ජනසහභාගීත්වය විසින් පෙන්නුම් කරණු ලැබුවේ මෙතෙක් කලක් නිද්‍රාශිලීව සිටි එක්සත් ජාතික පාක්ෂිකයන් මේ වන විට අවදි වී ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් ප්‍රබෝධයට මුලිකම හේතුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුර අපේක්ෂකයා වශයෙන් නම් කිරීම බවට සැකයක් නැත. හේතුව කුමක් වුවද සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියට ගත යුතු බවට පක්ෂය තුළ කාලයක් තිස්සේ මතයක් පැවතුණි. එම මතය ගොඩනැගීමෙහිලා එක්තරා විද්‍යුත් ජනමාධ්‍ය ආයතනයක් කළ කාර්ය භාරයද හේතු වූ බව සඳහන්  කළ යුතුය. එසේම එක්සත් ජාතික පාක්ෂිකයා තම නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් අනුගමනය කරනු ලැබු මන්දෝත්සාහී ඇල්මැරුණු හා විරෝධාකල්පිත පිළිවෙත් ද ඒ සඳහා බලපෑ බව සඳහන් කළ යුතුය. එකී පිළිවෙත්හි අවසන් ඵලය වුයේ රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රෑන්ඩ් එකක් වශයෙන් ඉදිරියට ගැනීමට එජාපයට තිබූ අවස්ථාව මගහැරීයාමය. ඇත්ත වශයෙන්ම කියන්නේ නම් එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා එකමුතුව කටයුතු කරන්නේ නම් අදටත් රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව යොඳින් මාකට් කළ හැකි චරිතයකි. මෑතකදී කිසිවකු පවසා තිබුණේ ස්ත්‍රී දූෂණ චෝදනා හැර අන් සියලුම චෝදනා ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව එල්ල වී ඇති බවයි. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට පස්වරක් අගමැතිව සිටත් එල්ල කරන්නට ඇති එකම චෝදනාව බැඳුම්කර මගඩිය පමණි. නමුත් බැඳුම් කර සිද්ධිය සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම මගින් ඔහුට විරුද්ධව ඇති චෝදනා පදනම් විරහිත බව පවසා රනිල් වික්‍රමසිංහ මහතා නිදොස්කොට නිදහස්කර හමාරය.  

කවර තත්ත්වයක් ය‍ටතේ වුව ද මේ වන විට එක්සත් ජාතික පක්ෂය තම අපේක්ෂකයා වශයෙන් 2020 ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කර තිබේ. එකී ඉදිරිපත් කිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය තුළ බලවත් පිබිදීමක් සිදු වී තිබේ. එසේම 2015 ජනාධිපතිවරණයේ දී යහපාලන කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතා දිනවීමට එක්ව සිටී. පාඨලී චම්පික, සරත් ෆොන්සේකා, රවුෆ් හකීම්, මනෝ ගනෙෂන් ආදි දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පක්ෂවල සහයෝගය ද මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාට හිමි වී තිබේ. එසේම 2015 ජනවාරි වෙනසට ප්‍රබල දායකත්වයක් ලබාදුන් සිවිල් සංවිධානවල සහයද සජිත් ප්‍රේමදාස මහතාට හිමි වී තිබේ. එකී සියල්ල සැලකිය හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සාධනීය ලක්ෂණ වශයෙනි.

ඉහත සටහන් කරන්නට යෙදුනු වාසිදායක කරුණු සියල්ල එසේම තිබිය දී සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඔහු විසින්ම ඇති කර ගනු  ලබන දුර්වලතා ද ඇති බව පෙනේ. ඒවා සැලකිය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතා තමා විසින්ම දමා ගනු ලබන තොප්පි වශයෙනි. ඉන් එකක් වනනේ ජනාධිපති ආර්යාව සම්බන්ධව සජිත් ගෙන්වා ගැනීමට පවත්වනු ලැබූ ජනහමුවක දී කරනු ලැබූ ප්‍රකාශයයි. තවත් එකක් ව‍න්නේ ‘ශ්‍රී මුඛයයි.’ ප්‍රශ්නය කොතෙක් බරපතළ වුයේ ද යත් සිය මංගල රැළියේ දී ඒ ගැන සමාව ඉල්ලා සිටීමට පවා සජිත් ප්‍රේමදාස මහතාට සිදුවිය.

සජිත් ප්‍රේමදාස මහතා යනු සාර්ථක කථිකයෙක් නොවේ. ඔහුගේ පියා ආර්. ප්‍රේමදාස මහතා දක්ෂ කථිකයෙකි. නමුත් සජිත් ප්‍රේමදාස මහතා යනු වචන පිට කරන්නෙකු මිස අර්ථාන්විතව වචන හසුරුවන තැනැත්තෙකු නොවේ. අර්ථ දැනගෙන වචන හසුරුවන්නෙකු වුයේ නම් ඔහු කිසිම දිනක ‘ශ්‍රී මුඛය’ වැනි වචනයක් පිටකරන්නේ ද නැත.

සජිත් ප්‍රේමදාස මහතාගේ ස්වභාවය අනුව පෙනෙන්නේ ඔහු ගැඹුරු දේශපාලන චින්තනයක් සතු අයකු නොවන බවයි. ඔහු ජනප්‍රිය නායකයකු වන්නට පුළුවන. එහෙත් ඔහු දියුණු නායකයෙක් නොවේ. ආර්. ප්‍රේමදාස මහතා යනු ඊට හාත්පසින්ම වෙනස් දියුණු නායකයෙකි.

සජිත් ප්‍රේමදාස මහතා වටා සිටින තැනැත්තන් අවබෝධ කරගත යුතු කරුණක් වන්නේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ඔහු සීරුමාරුවට කළමනාකරණය කරගත යුතු බවයි. විශේෂයෙන්ම ඔහුගේ කතා වලදී ඔහු පරිස්සම්කර ගන්නට ඔවුන්ට සිදුවනු ඇත. එ සඳහා සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ කවරෙකු හෝ විසින් සජිත් ප්‍රේමදාස මහතාට කතා සකස්කර දීමට පියවර ගැනීමයි. නව තාක්ෂණය විසින් එය සිදුකිරීමද පහසු කර තිබේ. නිදර්ශනයක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා යනු ද කථිකයකු නොවේ. ඔහු කථිකයකු වී ඇත්තේ ටෙලි පොම්ටරයේ පිහිටෙනි. ඔහු අපූරුවට ද්‍රවිඩ භාෂාව හසුරුවන්නේ ද ටෙලි පොම්ටරයේ අනුහසිනි. සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් ද එවැනි වැඩ පිළිවෙළක් අනුගමනය කරන්නට පුළුවන.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ව්‍යාපාරය දෙස සැලකිල්ලෙන් බලන විට පෙනෙන ප්‍රධාන ලක්ෂණය වන්නේ එය සංවිධානාතාමක වශයෙන් ඉතා දුර්වල බවයි. නිදර්ශනයක් වශයෙන් විරුද්ධවාදියාගේ දුර්වලතා වලින් ප්‍රයෝජන ගැනීමට සංවිධායකයන් දක්ෂ බවක් පෙනෙන්නට නැත. ඒ සඳහා වන හොඳම නිදසුන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පශ්න කරමින් චන්ද්‍රගුප්ත තේනුවර මහතා සහ ගාමිණි වියන්ගොඩ මහත්වරුන් ඉදිරිපත්කර තිබුණු පෙත්සම සම්බන්ධයෙන් ලැබුණු අධිකරණ තීන්දුවයි. එම තීන්දුවෙන් පසුව ජී.එල්. පීරිස් මහතා කියුවේ අධිකරණය ඒ තීන්දුවේදී දැක් වු ස්වාධීන බව අගය කරන බවයි. නමුත් අධිකරණයට එම ස්වාධීනත්වය ලබා දුන්නේ කවුදැයි අසන්නට කෙනෙක් සජිත් ප්‍රේමදාස මහතාගේ පිලේ සිටිය නැත.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටුවාදීන් නිතර නගන චෝදනාවක් වන්නේ වත්මන් ආණ්ඩුව රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීම සඳහා‍ ඔවුන්ට නඩු පටලවන බවයි. අධිකරණය ස්වාධීන නම් එසේ නඩු පැටලවීමෙන් පලක්වේදැයි අසන්නට වැඩ පිළිවෙළක් තවමත් එක්සත් ජාතික පක්ෂයට හෝ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය හසුරුවන්නන් අතර හෝ නැත. රාජපක්ෂවරුන්ගෙන් ඇසිය යුතු ඊළඟ ප්‍රශ්නය වන්නේ පටලවා ඇත්තේ බොරු නඩුනම් අධිකරණයත් ස්වාධීන නම් එම බොරු නඩුවලට මුහුණ නොදී අධිකරණයෙන් කට්ටි පනිමින් සිටීමට රාජපක්ෂවරුන්ට ඇති හේතුව කුමක්ද යන්නයි.

ඉදිරි ජනාධිපතිවරණය යනු රටටත් ජනතාවටත් අතිශය තීරණාත්මක සන්ධිස්ථානයකි. අනුර කුමාර දිසානායක මහතා පවසන ආකාරයට ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය වුවහොත් රාජපක්ෂවරුන්ගේ දේශපාලනය එතැනින් අවසන් වනවා ඇත. යම් හෙයකින් ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළහොත් රාජපක්ෂවරුන් හැර අන් සියලුම දෙනාගේ දේශපාලනය එතැනින් අවසන් වනු ඇත. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සඳහන් කළ හැක්කේ ගල උඩ සටනක් වශයෙනි. එම සටනේදී ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණාත්මක වශයෙන් පරාජය කළ යුතු බවට තර්කයක් නැත.

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35දෙනෙක් ඉදිරිපත් වී සිටිති. ඔවුන් අතරින් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීමේ හැකියාව ඇති එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතාය. සජිත් ප්‍රේමදාස මහතා හමුවේ ඇති වගකීම වඩාත් වැදගත් වන්නේ එහෙයිනි. එහිදී සතුරන්ට අවි සපයන එකම පියවරක් හෝ නොගැනීමට සජිත් මහතා ඇතුළු කණ්ඩායම සහ පක්ෂය වගබලාගත යුතුය.

එක්සත් ජාතික පක්ෂයේ ගෝල්ෆේස් රැළිය සඳහා තෝරාගත් දිනය අනුව පෙනෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන හා ප්‍රචාරක ව්‍යාපාරය තුළ සූක්ෂම දේශපාලන චින්තනයක් සහ උපායමාර්ග තෝරන්නන් නොමැති බවයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය යනු රාජපක්ෂවාදීන්ට ජයග්‍රහණය ඇතුව අවසන් වන්නට නියමතව තිබූ මැතිවරණයකි. එක්සත් ජාතික පක්ෂය සිය මංගල රැළිය යොදා ගත්තේ ඇල්පිටිය ඡන්දයට කලිනි. එම රැළියට පැමිණි මහා ජන ග‍ඟෙහි වටිනාකම ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය හේතුවෙන් මදක් අඩුවූ බව පෙනේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා ප්‍රසිද්ධියේ කීවේද ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලයෙන් ගෝල්ෆේස් රැළියේ හුළං බස්සන බවයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ සංවිධායකයන් දියුණු චින්තනයක් සහිත වුයේ නම් ඔවුන් තම මංගල රැළිය යොදා ගනු ඇත්තේ ඇල්පිටිය ඡන්දයට පසුවය එසේ කර ගෝල්ෆේස් රැළියට ආ සෙනඟ පෙන්වුයේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇල්පිටියෙන් ගත් දිණුමේ හුළං බැස්සීමට පමණක් නොව එම ජයග්‍රහණය රටම හමුවේ කුජීතුකර දමන්නටද එජාපයට හැකියාව තිබුනි. ඒ වරද දැන් නිවැරදි කරන්නට හැකියාවක් නැත. ‍එහෙත් ඉදිරියේදී වඩාත් කල්පනාකාරී විය යුතුය. මන්ද මෙය ගලඋඩ සටනකි.

සම්පත් අමරසිංහ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *