අද ප්‍රශ්නෙ තියෙන්නෙ නගරයේ නෙවෙයි අද ප්‍රශ්නෙ තියෙන්නෙ ගමේ – ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක

අපේ රටේ ජනතාවට යළිත් අවස්ථාවක් ඇවිත් තිබෙනවා රටට නව පාලනයක් ගොඩ නගාගැනීමට. ජනතාවට පුළුවන් නොවැම්බර් 16දාට ඡන්දේ පාවිච්චි කරලා අලුත් පාලනයක් හදාගන්න. අපිට පාලනයක් අවශ්‍යවෙලා තිබෙන්නෙ කුමක් වෙනුවෙන් ද? ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා එසේ පැවසුවේ පසුගිය (24) දා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන භූමියේ පැවති සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික මහා සමුළුව අමතමිනි. තවදුරටත් කතා කළ දිසානායක මහතා මෙසේ ද කීවේය, මීට කලිනුත් මෙවැනි අවස්ථා ඇවිල්ලා තියෙනවා. ඒ හැම අවස්ථාවකම ජනතාව ඡන්ද පොලට ගිහිල්ලා තෝරගෙන තිබෙන්නෙ අපේ රට ගොඩ නැගීමට සමත්වෙන පාලකයන් සහ පාලනයන් නොවේ. අපේ රටේ ජනතාව තවත් පීඩාවට පත් කරන මහජනයගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් ගණන් හොරකන් කරන මාතෘ භූමිය පිළිබඳවත් එහි වෙසෙන ජනතාව පිළිබඳවත් කිසි ලෙංගතුකමක් හැඟීමක් නැති ත්‍රාඩ කණ්ඩායමක් තමයි පාලකයො හැටියට තෝරගෙන තිබෙන්නෙ. එහි ප්‍රතිඵලය කුමක් ද? රටට ජනතාවට සෙතක් ශාන්තියක් සුගතියක් අත්කර දෙනවා වෙනුවට සිදුවෙන්නේ විනාශයක් පමණයි. සෑම අතින්ම විනාශයට ගෙන යන රාජ්‍යයක්, සෑම අතින්ම කඩා වැටුනු රටක් අපට ඉතුරු වී තිබෙනවා. දැං මොකක්ද අපි කරන්න ඕනෑ. මේ විනාශකාරී, අසාර්ථක මාවතේම අපේ රටත් ජනතාවත් අගාධයට ඇදගෙන යනවද? අපි මේක නතර කරන්න ඕනෑ. මේ 71ක් වසරක් විනාශයේ අගාධය දක්වා රැගෙන යන අපේ මාතෘ භූමියත් එහි ජනයාටත් මෙයිට වඩා හොඳ රාජ්‍යයක් නිර්මාණය කිරීමේ වගකීමට උරදෙන්න කියලා සියළු දෙනාට ආරාධනය කරනවා.
අද ඇකයේ නැළවෙන දරුවටත් ස්ථාවර අනාගතයක් නිර්මාණය කරගන්න ඕනෑ නම් බියෙන් සැකයෙන් තොරව ජීවත්විය හැකි රාජ්‍යයක් නිර්මාණය කරගන්න ඕනෑ නම් අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩාව වැනි සියල්ලගෙන් සම්පූර්ණ වූ නිරෝගි සම්පන්න ජීවිතයක් නිර්මාණය කරගන්න ඕනෑ නම් අපිට තියෙන එකම මාවත, 71ක් වසරක ගමන් කළ විනාශකාරී මාවතෙන් ගොඩ ඒමයි.
අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ වෘත්තීයවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතීඥවරු, වෛද්‍යවරු, කළමණාකරුවන්, සාහිත්‍යධරයන්, කලාකරුවන් විශාල පිරිසක් මේ ව්‍යායාමයට පෙළගැහිල ඉන්නවා. ලංකා ඉතිහාසයේ විශ්වවිද්‍යාල ආචාර්යවරු, මාහාචාර්යවරු, පීඨාධිපතිවරු මේ තරම් ප්‍රමාණයක් කිසිදු දේශපාලන වේදිකාවකට ගොඩවෙලා නැහැ, මේ වෙනස වෙනුවෙන් වේදිකාවට ගොඩවෙලා තියෙනවා. ඒ වගේම සාහිත්‍යධරයන්, කලාකරුවන් විශාල ප්‍රමාණයක් මේ වෙනුවෙන් පෙළගැහිල ඉන්නවා. ධීවර සංවිධානය, ගොවි ව්‍යාපාර, කිරි ගොවි සංවිධාන, වෘත්තීය සමිති, වතුකරයේ ජනතාව මේ ආදී වැඩකරන ජනතාව මේ වෙනුවෙන් විශාල ප්‍රමාණයක් පෙළගැහිල ඉන්නවා.
අද ප්‍රශ්නෙ තියෙන්නෙ නගරයේ නෙවෙයි අද ප්‍රශ්නෙ තියෙන්නෙ ගමේ. ගමේ ජනතාව අන්ත දරිද්‍රතාවයට පත් කරලා. දරුවන්ට රැකියාවක් නැති තත්වයට පත්කරලා. ගොවියාගේ ඉඩමට ඔප්පුවක් නැති තත්වයක් ඇතිකරලා. වහලේ සෙවිලිකරගන්න සෙවිලි තහඩු නැහැ. වැසිකිළියක් හදාගන්න පෝච්චියක් නැහැ. ජීවත්වීම සඳහා ආදායම් මාර්ගයක් නැහැ.
ඡන්දයක් ආවම හැමදාම මොකක්ද කරන්නෙ? තහඩුවක් දෙනවා, සිමෙන්ති කොට්ටයක් දෙකක් දෙනවා වැසිකිළි පෝච්චියක් බෙදනවා, කොල්ලට රස්සාවක් දෙන්නං කියල කියනවා. ග්‍රාමීය ජනතාව ඒ අය විසින්ම පීඩාවට පත් කරලා ඒ පීඩාව අළෙවි කරලා, වෙන්දේසි කරලා ඒගොල්ලො බලය අත්පත් කරගන්නවා. අද සටන තියෙන්නෙ ගම ඇතුළේ. අපි දැන් පටන් ගන්න ඕනෑ. සියලු ගොවි ජනපදවල සක්‍රීයව ගොවි සංවිධානවලට මැදිහත් වී සිටින තමුන්නාන්සෙලා සියලු දෙනාට ආරාධනා කළේ අන් කවරකටවත් නෙවෙයි. ගම ඇතුළෙ දියත් කරන්න ඕන සටන දියත් කරන්න සූදානම් කියන පණිවිඩය රටට ගෙනයන්න. මොකද මේ විනාශකාරීත්වය අපේ පරම්පරාවෙන් අපි අවසන් කරන්න ඕනෑ. අපේ දරුවන්ගේ පරම්පරාවට මේ අභියෝගය අපි භාර නොදිය යුතුයි. ඒ නිසා ඔබ හැමදෙනාම ඔබ ජීවත්වෙන ගමේ අසල්වැසියත් එක්ක කතාකරන්න පටන් ගන්න ඕනෑ. ඥාතියා හිතවතා එක්ක කතාකරන්න පටන් ගන්න ඕනෑ.
ඒ වගේම අපි දන්නවා මේ පරිවර්ථනයත් එක්ක අපි අත තියන්න ඕනෑ අපේ රට ගොඩනගන්න. අද අපේ රටේ ග්‍රාමීය ජනතාව විශාල ප්‍රශ්ණ ප්‍රමාණයකට මුහුණ දී තිබෙනවා. ගම්වල ජනතාවගෙ විශාල ප්‍රමාණයක පවුලේ දුව හෝ බිරිඳ විදෙස් ගතකරලා. නෝන රට යවපුවහම ගෙයක් හදාගන්න පුළුවන් කියල හිතනවා. මෙහෙ ඉදගෙන උගන්නන්න වත්කමක් නැහැ. පිටරට ගිහිල්ල සල්ලි හම්බකරලා උගන්නන්න පුළුවන් කියල හිතනවා. ත්‍රී වීල් එකක් හරි පොඩි වෑන් එකක් හරි ගන්න. මේ අපේක්ෂාවන් වෙනුවෙන් තමයි අපේ ගම්වල අම්මලා අක්කලා රටගියේ. මේ උවමනාවන් තුන සම්පූර්ණ වුණා ද? දරුවන්ට නිසි පරිදි අධ්‍යාපනයක් ලැබුනද නැහැ. බිරිඳ නොමැති වූ ශෝකයට තාත්ත තවත් මත්පැන්වලට ඇබ්බැහි වුණා විනාශ වුණා. දරුව රස්තියාදු ගහන්න පටන් ගත්තා. පවුල් පිටින් විනාශවුණා.
අපේ ග්‍රාමීය තරුණ පරම්පරාවට අනාගතයක් පිළිබඳ විශ්වාසයක් නැහැ. එක්කො ත්‍රීවීල් එකක් අරන් පාරට බහිනවා. එහෙම නැත්තං කොළඹ කොංක්‍රීට් වැඩපලක වැඩ කරන්න යනවා. නැත්තං කොළඹ ෆැක්ටරියක සිකියුරිටි කරන්න යනවා. ගියත් වැඩි කාලයක් ඉන්නෙ නැහැ ආයි ගමට එනවා. අවුරුද්දයි දෙකයි ආයි ඇවිල්ල කියනවා මම අම්මගෙන් තාත්තගෙන් ලැබුණු කුඹුර කොටන්න යනව කියලා. ජීවිතේ හරියට ගැටගහගන්න විදිහක් නැහැ. විශාල ලෙස අපේ ගම්වල සිටින ජනතාවගෙ ජීවිත පීඩාවට පත්වී තිබෙනවා.
ඒ වගේම මේ රට හදන්න ඕනෑ. මේ රට හදනකොට විශාල පංගුවක් තමයි අපේ රටේ කෘෂිකර්මාන්තය. අපි විශ්වාසකරනවා අපේ රට කෘෂිකර්මාන්තය සඳහා යෝග්‍ය රටක්. හැබැයි අපිට විශාල ප්‍රශ්නයක් තිබෙනවා. අපිට විශාල ඉඩම් සම්පතක් නැහැ. අපේ භූමියෙන් 23%ක් විතර වනාන්තරවලට යටවෙලා තියෙන්නේ. 16%ක් විතර ජලාශවලට යටවෙලා තියෙනවා. අපේ පදිංචියට, නගරවලට ඉඩම් ප්‍රමාණයක් ගිහින් තියෙනවා. අපිට කෘෂිකර්මාන්තයේ යෙදෙන්න මුළු භූමියෙන් තියෙන්නේ 11%යි. ඒ නිසා කෘෂිකර්මාන්තය නවීකරණයකින් තොරව අපිට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් ඇති කරන්න බැහැ. අද අපේ රටේ ශ්‍රම බලකායෙන් 28%ක් ඉන්නේ කෘෂිකර්මාන්තයේ. හැබැයි රටේ ජාතික ධනයට දෙන්නේ 9.5%ක ප්‍රතිශතයක්. මේ භූමියෙන් බාගයක් යොදවලා, මේ ශ්‍රමිකයන්ගෙන් බාගයක් යොදවලා මේ දායකත්වය ගන්න පුළුවන්. අපේ රටේ කෘෂිකර්මාන්තය මීට වඩා ලොකු පිම්මක් පනින්න ඕනෑ. කෘෂිකර්මාන්තයේ නව පරිවර්ථන යුගයක් අපේ රටට අද අවශ්‍ය වී තිබෙනවා. අන්න ඒ නව පරිවර්ථන යුගය අපි කරුණු දෙකක් අරමුණු කරගෙන ඇති කරන්න ඕනෑ. එකක් ගොවිජනතාවගේ ජීවන තත්වය උසස් කරන්න ඕනෑ. ජීවන තත්වය උසස්කළ හැකි වන්නේ තමන්ගේ යෙදෙන ආර්ථික ක්‍රියාවලියේ තමන්ට සරිලන ආදායමක් ලැබුනොත් විතරයි. තමන් නිරතවන ආර්ථික ක්‍රියාවලිය මොකද්ද? වී වගාව. එහෙම නැත්නම් එලවළු වගාව. එහෙම නැත්නම් ළුෑණු වගාව. එතකොට තමන් නියැලෙන ආර්ථිකය ඒකනම් ඒකෙන් ලැබෙන ආදායමෙන් තමන්ට ජීවිතය ගැටගහගන්න පුළුවන් වෙන්න ඕනෑ. එහෙම වුනොත් විතරයි ජීවන තත්වය උසස් වෙන්නේ. ජීවන තත්වය විතරක් නෙවෙයි ගොවිජනතාවගේ සමාජීය තත්වයත් අපි ඉහළ නංගවන්න ඕනෑ. ගෙදර හදාගෙන, ලයිට්, වතුර අරගෙන, ළමයට උගන්නගෙන, ඒ ජීවිතය පමණක් නෙවෙයි අපිට සමාජ වටිනාකමක් ඕනෑ.
ලෝකේ ගොඩක් රටවල්වල ගොවිජනතාව කියන්නේ විශාල සමාජ වටිනාකමක් තියෙන සමාජ කණ්ඩායමක්. යුරෝපා රටවල්වල ෆාමර් කෙනෙක් කියන්නේ විශාල පෞර්ෂයක් තියෙන කෙනෙක්. එයා සුපර්මර්කට් එකට ගිහින් බහින්නේ මම ෆාමර් කියලා. ඔක්කොම නැගිටිනවා. ඇයි? ඒගොල්ලෝ දන්නවා මේ සුපර්මාර්කට් එකේ තියෙන බොහෝ නිෂ්පාදනයන් ඇති කරලා තියෙන්නේ ගොවිජනතාව කියන එක. ඒ අයට ගරුත්වයක් තිබෙනවා. අපි අහල තියෙනවා “මඩ සෝදාගත් කල රජකමටත් සුදුසුයි” කියලා. හැබැයි මඩ සෝදාගෙන පොළී කඬේ ළඟින් යන්න බැහැ. අහනවා ණය ගෙව්වද කියලා. රජකම නෙවෙයි උගස් බඩු කඬේ ළඟින්, පොලී මුදලාලි ළඟින්, වෙස්වලාගෙන යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා යළි ඉහළ සමාජීය තත්වයක් අපි ඇත් කරන්න ඕනෑ ගොවිජනතාවට.
පොළොන්නරුවේ ගිරිතලේ ව්‍යාපාරයේ යළ මහ දෙකන්න අක්කර පහක් වගාකරනවා, වී ටැක්ටර් 4ක් 5ක් කන්යකට ගෙදරට ගේනවා, මම රටට ආහාර සපයන හොඳ ගොවි පුත්‍රයෙක්, මම මගේ විවාහයට සුරූපි ළඳක් පතයි කියලා දැකල තියෙනවද එහෙම මංගල දැන්වීම්. දැම්මොත් එක ලියුමක් එන්නේ නැහැ. වටිනාකමක් නැහැ. සමාජ ගරුත්වයක් සහ සමාජ වටිනාකමක් නැහැ. ඒක යුක්ති සහගතද? මේ රටට අවශ්‍ය කරන ආහාර ටික නිෂ්පාදනය කරලා දෙන්නේ ගොවි ජනතාව. ඒ නිසා ලෝකයේ සෑම රාජ්‍යයක්ම ගොවිජනතාවට විශාල පෞර්ෂයක්, බලයක්, සමාජ ටිනාකමක් ලබාදී තිබෙනවා. අපි දන්නවා ගොවිතැනෙන් විතරක් එයාගේ ජීවිකාව සරිකරගන්න බැහැ එයාට සමාජ වටිනාකම නිර්මාණය කරගන්න බැහැ. ඒ නිසා කෘෂිකර්මාන්තයේ නව පරිවර්තණයක් අපි ඇති කරන්න ගොවි ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමත් ගොවිජනතාවට හිමි සමාජීය තත්වය අත්පත්කරදීම වෙනුවෙන් කෘෂිකර්මාන්තයේ නව ප්‍රබෝදමත් යුගයක් අපි ආරම්භ කරන්න ලෑස්තියි. අපි මේ කෘෂිකර්මාන්තය හදනවා.
කොතනින්ද අපි පටන් ගන්න ඕනා. අපි මොනතරම් කෘෂිකර්මාන්තය ගැන කතා කළත් වැඩක් නැහැ අපිට ඉඩමක් නැත්නම්. අද අපිට විශාල ඉඩම් ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. ගොවිජනතාවට ඉඩම් නැහැ. හැබැයි ගොවිජනතාවට ඉඩම් නැතිවුනාට මේ පාලකයන් රටේ ඉතාමත් වටිනා ඉඩම් සම්පත පවරා දුන්නේ කාටද? පැල්වත්තේ සීනි සමාගම ගාවින් අක්කර දෙදාහක් දුන්නා ඇමරිකානු ඩෝල් සමාගමට. සෝමාවතී චෛත්‍ය ආසන්න භූමියේ අක්කර පන්දාහක් දුන්නා ඇමරිකානු ඩෝල් සමාගමට. ඉඟිනිමිටිය පැත්තේ ඒ විදිහයටම ඉඩම් අක්කර දහස් ගණන් කොම්පැනිවලට දුන්නා. හැබැයි අපිට වගා කරගන්න අක්කරයක් අක්කර බාගයක් හොයාගන්න නැහැ. දැන් මේ පාලකයා මාතෘභූමියේ ඉඩම් පවරා දුන්නේ කාටද? ඇමරිකන්කාරයට මාතෘභූමියේ ඉඩම් පවරා දීලා පපුවට ගහගන්නවා දේශප්‍රේමී කියලා. මේ මොන නායකයොද? අපි එකක් සහතික කරනවා. අපේ රටේ ඉඩම් අපේ රටේ ඉපදුණු පුරවැසියන්ට අයිති ඉඩම්, ඒ පුරවැසියන්ගෙන් තොර කිසිදු විදේශීය රාජ්‍යයකට අපේ රටේ ඉඩම් පවරාදීම මුළුමනින්ම නරත කරනවා විතරක් නෙවෙයි පවරා දීපු ඉඩම් පවරා ගන්නවා. දීපු ඉඩම් යලි ගන්නවා. ගන්න දෙයක් නැහැ අපි එනකොටම යනවා. අපි දන්නවා ඒක.
පොළොන්නරුවේ ජීවත්වෙන ගොවි අම්ම තාත්තගෙ දුවාදරුවන්ට ඉතාමත් හොඳ ගොවිපළක් ඇතිකරලා දීලා, නව පර්යේෂණ කරල හොඳ බීජ ටිකක් හඳුන්වාදීලා, යන්ත්‍ර සූත්‍ර ඇති කරලා ඒ සෝමාවතිය චෛත්යගාව අක්කර පන්දාහෙන් නවීන ගොවිපළක් ඇතිකරන්න බැරිද? අක්කර දෙක ගානේ දුන්නොත් තරුණයෝ දෙදහස් පන්සියයකට එතන ඉතාමත් හොඳ නවීන කෘෂිකර්මාන්තයකට අඩිතාලම තියන්න පුළුවන්. මතක තබාගන්න අපි ඉඩම් ප්‍රශ්නයට නිශ්චිත උත්තරයක් හොයනවා.
අපිට තියෙන්නේ හොඳට ඉර පායන රටක්. මෝසම් දෙකකින් වර්ෂාව ලැබෙන රටක්. කෘෂිකර්මාන්තය සඳහා යෝග්‍ය පසක් තිබෙන රාජ්‍යයක්. ඒක නිසා මේක ඉතාමත් හොඳ සාරවත් පොළවක් කෘෂිකර්මාන්තය වෙනුවෙන්. හැබැයි වතුර ප්‍රශ්නයට මොකද වෙලා තිබෙන්නේ? මහ වැහි වහිනකොට ඒ වැහි වතුර ආරක්ෂා කරගැනීමට අපේ මුතුන් මිත්තෝ වැව් තිස්දෙදාහක් බැන්දා. රජරටට කිව්වේ වැව්බැඳි රාජ්‍ය කියලා. වැව් තමයි අපේ සංස්කෘතිය තිබුණේ. වැව් තිස්දෙදාහක් තිබුණ රාජ්‍යයේ අද ඉතුරුවෙලා තියෙන්නේ වැව් දාහතරදාහයි. ඒ වැව් දාහතරදාහෙනුත් වැව් දොලොස්දාහක් අභාවයට යමින් තිබෙනවා. විනාශයට යමින් තිබෙනවා.
අද විශාල ලෙස වසවිෂ මේ මහ පොළවට යොදලා වසවිෂවලින් පිරිච්චි මහපොළවක් අද නිර්මාණය වෙලා තිබෙනවා. ඒනිසා අපි මේ ගැන කල්පනාකරන්න ඕනෑ යුගය ඇවිල්ලා තිබෙන්නේ. අපේ කෘෂිකර්මාන්ත ප්‍රතිපත්ති, කෘෂිකර්මාන්තයේ වැඩපිළිවෙල අපි තව දුරටත් සකස් කරමින් තිබෙන්නේ රසායනික පොහොර තව තවත් යොදවන, කෘමිනාශක, වල්නාශක තව තවත් යොදන කෘෂිකර්ම ප්රතිපත්තියකද? කාබනික පොහොර යොදන මෙන්ම කාබනික සහ රසායනික මිශ්‍රණයක් සහිත නව වගා ක්‍රමයකට අපි යන්න ඕනෑකම තිබෙනවා. ඒ නිසා මේ විනාශයට අද අපේ කෘෂිකර්මාන්තය ලක් වී තිබෙනවා. ඒ නිසා නව වගා සැලසුම්, නව වගා ක්‍රම, වගාවට නව තාක්ෂණය කැඳවාගෙන එන නව ප්‍රතිපත්තියක් අපි නිර්මාණය කරන්න ඕනෑ. ගොවිජතාව එකතුවෙච්ච සාමූහික කෘෂිකර්මාන්තයක් ගැන කල්පනා කරන්න ඕන යුගය ඇවිල්ල තියෙන්නේ. තවදුරටත් මේ බිම් කට්ටි කුඩාවෙමින් කුඩාවෙමින් කෘෂිකර්මාන්තය මේ යන ගමණ නතර කරන්න ඕනකම තිබෙනවා. ඒ සඳහා නව වගා සැලැස්මක් අපි ජනතාවට දෙන්න සූදානම්. ඒක අපේ කෘෂිකර්මාන්තයේ ප්රාධාන එකක් බවට පත්කරගන්නවා.
අපි ස්වැන්න නෙලන්න ඕනා, ඒ අස්වැන්න ආරක්ෂා කරන්න ඕනා ඒවා ගබඩා කරන්න ඕනා. ඒක ඉදිරියට ගෙනියන්න කෘෂිකර්මාන්තයට නව ප්‍රබෝදමත් යුගයක් අපි නිර්මාණය කරන්න ඕනා. කෘෂිකර්මාන්ත ප්‍රතිපත්තියේ පධාන අරමුණු දෙකක් තිබෙනවා. එක. ගොවිජනතාවට සාධාරණ මිලකට තමන්ගේ භාණ්ඩටික විකුණගන්න පුළුවන් වෙන්න ඕනා. පාරිභෝගික ජනතාවට ස්ථාවර මිලකට මිලදීගැනීමේ හැකියාව තියෙන්න ඕනා. ගොවිජනතාවට තමන් නෙළන අස්වනු සාධාරණ මිලකට විකුණාගැනීමේ හැකියාව, පාරිභෝගික ජනතාවට ස්ථාවර මිලකට භාණ්ඩ මිලදීගැනීමේ හැකියාවත් අපි නිර්මාණය කරන්න ඕනා. ලෝකයේ සෑම රාජ්‍යයකම මිල ස්ථාවරයි. අඩුම තරමේ අවුරුද්දකට සත 50කින් වෙනස් වෙන්නේ නැහැ. ජනවාරි මාසේ කැරට් කිලෝ එක යූරෝ බාගයයිනම් දෙසැම්බර් මාසය දක්වාම කැරට් කිලෝඑක යූරෝ බාගයයි. අපේ කැරට් කිලෝඑක එක කාලෙක රුපියල් 60යි, ඒ කැරට් කිලෝ එක ඒ අවුරුද්දෙම රුපියල් 400යි. විශාල මිල උච්චාවචනයක් තිබෙනවා. මිල බහින කාලෙට ගොවිය අනාතයි. ලෝකයේ කිසිඳු රාජ්‍යයක මෙහෙම මිල උච්චාවචනය වෙන්නේ නැහැ. කෘෂිකර්මාන්තයේ එවැනි පරිවර්ථනයක් කරන්න අපි ලෑස්තියි. කෘෂිකර්මය කියන්නෙ අපේ රට ගොඩනැගීමේ මාවතේ ඉතාමත් වැදගත් ක්ෂේත්රයක්. ඒ නිසා මෙය ගෙඩනැගිය හැකි ගොඩනැගීමට අවශ්‍ය වන දැක්ම වැඩපිළිවෙල අප සතුව තිබෙනවා.
මනෝජ් රූපසිංහ
ස්තූතිය – ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය ඒකකයට.
