ජනපතිවරණයට එනවා නම් විධායක ජනපති ධුරය අහෝසි කිරීමට පමණයි – කතානායක කරූ ජයසූරිය
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් තමා පිළිගන්නේ නම් ඒ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අරමුණින් පමණක් යැයි කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එමෙන්ම තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ එක්සත් ජාතික පෙරමුණේ සියලුදෙනාගේ ආශිර්වාදය ඇතිව පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව පමණක් බවද කතානායකවරයා සඳහන් කර තිබේ. එම නිවේදනය මෙසේය.
මාධ්‍ය නිවේදනයයි,
පසුගිය සති කිහිපය තුළ ගෞරවණීය නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහ අනෙකුත් පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා, විවිධ සිවිල් සංවිධාන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු හා විවිධ ක්ෂේත්රවල බුද්ධිමතුන්, වෘත්තිකයන්, තරුණ සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරීන් ද විවිධාකාරයෙන් මා ඇමතූහ.
ඇතැම් පිරිස් පුද්ගලිකව පැමිණ මා හමු වූ අතර තවත් අය දුරකථනයෙන් අමතමින් හා ප්‍රසිද්ධ ප්‍රවෘති සාකච්ඡාවන් පවත්වමින් ද මාගෙන් ඉල්ලා සිටියේ සුවිශේෂි කරුණි කීපයක් වෙනුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙසය.
එම සියලු පාර්ශ්වයන් ඉදිරිපත් කළ පොදු කරුණ නම්, රට තුළ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමත්, පවතින දේශපාලන ව්‍යාකූලත්වය සමනය කර ශිෂ්ඨසම්පන්න සත් පුරුෂ පාලනයක් ස්ථාපිත කිරීමත් සඳහා විශ්වාසනීය නායකත්වයක් රටට අත්‍යාවශ්‍ය වන හෙයින්, තමන් එම ඉල්ලීම ඉදිරිපත් කරන බවයි.
පළමුවෙන්ම මා කෙරෙහි එවන් විශ්වාසයක් රැඳවීම පිළිබඳව පූජ්‍ය පක්ෂ ඇතුළු අනෙකුත් සියලු පාර්ශ්වයන්ට මාගේ කෘතවේත්වය පිරිනමමි.
කෙසේ වුවද, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති කවර ඉල්ලීමක් වුව ද මා හට සලකා බැලිය හැක්කේ, “1995 වසරේ සිට අප අඛණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණු කොටගත් දේශපාලන බලවේග සමඟ එක්ව පමණි.
එමෙන්ම 17 වන සංශෝධනය මඟින් ඉදිරිපත් කරන ලදුව 19 වන සංශෝධනය මඟින් තහවුරු කළ දියුණු ප්රශස්ත ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයන් සමඟ පමණි.
එය දියුණු ප්රජාතන්ත්රවාදයක් සහිත ආර්ථික හා සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් සුරක්ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිස යම් නිශ්චිත සීමිත කාලයක් සඳහා කරනු ලබන කැපවීමක් මිස කිසිවිටකත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදහත්වීමක් නොවන බවද අවධාරණය කරමි.
කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කොටගත් පාර්ශවයන් නියෝජනය කරමින් එලෙස ඉදිරිපත් වන්නේ නම් එය පක්ෂයෙහි ව්‍යවස්ථාවට අනුකූලව සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදය ද සහිතව සිදුවිය යුතු බව මාගේ හැඟීමයි.
අත්සන,
කරූ ජයසූරිය,
කථානායක.

