කාලෝ සර් – නරලොව සිට නරසිංහ වාර්තා කරයි

සිතුලෙස කිසිත් නොලැබෙන ලොවක දුක පිරි
පැතුමක සතුටු බිඳකුදු අහිමි දුක පිරි
උතුරන සඳකි මිහිමත කුළුණු හිස ගිරි
සිතුමිණ කුමට ඔබ ගුණ කඳ මැ නොවිතරි

නැණසර සතර ඔබ ළඟ නොලද හදකිනි
යහමග සොයන විය සියපතට දිනමිණි
පත නල වෙතොත් නොසිඳී තවම සියතිනි
පින පමණකිනි දෙවිදුන් දකින ඔබ වැනි

කඩේ ළමයා තාලයට ඇද පැද සීපද දෙකක් කි කල ඉස්කෝලේ මහත්තයා කිවේ, කඩේ ළමයාත් දැන් හොඳ හිටිවන කවිකාරයෙක් වෙලා කියාය.

අනේ මහත්තයෝ මට මොන හිටවන කවිද කියා එවිට කඩේ ළමයා කිවේය.

ගොයම් හිටවනවා වගේ පොල් කෙසෙල් හිටවනවා වගේ කවි හිටවන්න බැ ළමයෝ, ඕකේ හරි වචනය ‘හිටිවන කවි’ කියා එවිට ඉස්කෝලේ මහත්තයා කිවේය.

හිටිවන කවි කියන එකේ තේරුම් මොකක්ද? කියා ඇසුවේ මුදලාලිය.

හිටිවන කවි කියන්නේ මුදලාලි හරි පෙර සූදානමක් නැතිව උන් හිටි ගමන් ගොතලා කියන කවි වලට යැයි ඉස්කෝලේ මහත්තයා පැහැදිලි කලේය.

ඒ උනාට අපේ කවි තිලකේ නම් හිටිවන කවි කියන්නේ පාඩම් කරගෙන. එකම හිටිවන කවිය දෙතුන් ලේත් කියනවා කි කඩේ ළමයා හිනා වෙන්න පටන් ගත්තේය.

දැන් ඒ අඩුවත් හරි යන්න ළමයා හිටවන කවි කියන්න පටන් ගත්තද? බොහොම අපූරුවට තාලෙට කීවා කියා ඉස්කෝලේ මහත්තයා කිවේය.

මොන හිටිවන කවිද? ඉස්කෝලෙ මහත්තයා මේක පත්තරෙන් බලාන කීව කවියක් කියා කිවේය. කියමුකෝ බලන්න මටත් ඇහෙන්න කවිය කියා මුදලාලි කි විට ළමයා නැවතත් කවිය කීවේය.

අපූරු කවියක් නේ මොකක් ගැනද ඕකෙ ලියල තියෙන්නෙ? කියා මුදලාලි ඇසුවේය.

මාතෘකාව “සදාදරණීය කාලෝ සර්” කියා ළමයා කිවේය.

අනේ වාසනාවන්! අපේ කාලෝ මහත්තයා ගැන ලියපු කවියක් කියා මුදලාලි කිවේය.

කවුද කාලෝ මොන්ටිකාලෝ ද? කියා ළමයා ඇසුවේ හන්දියේ අරක්කු බාර් එකේ නම මතක් වූ නිසාය.

ඕක තමයි ළමයො දැන් පරම්පරාවේ වැරැද්ද. උඹලා කාලෝ මහත්තයා ගැන දන්නවනම් දුරකතනයෙන් කතා කරලා බුදුසරණයි කියලා කියන්නේ කියා මුදලාලි කීවේය.

ළමයා ඉස්කෝලේ මහත්තයා දෙසට හැරුනේ මුදලාලිගේ දොස් කීමට හේතුව කුමක්දැයි අසන බල්මෙනි.

කාලෝ සර් කියන්නේ ළමයා මොන්ටි කාලෝ නෙවෙයි.කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා එතුමා වෛද්‍ය විද්‍යාලේ මහාචාර්ය වරයෙක් වෛද්‍ය සභාවේ හිටපු සභාපති ඉස්කෝලේ මහත්තයා කිවේය.

අප්පටසිරි අර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ එක්ක සෙට්වෙලා හිටිය බුවාද?වෛද්‍ය සභාවේත් හිටියේ කියා ළමයා එවිට කිවේය.

ඒ තමයි කාලෝ ෆොන්සේකා මහත්තයා ගැන අලුත් ළමයි දන්නා දේ කියා ඉස්කෝලේ මහත්තයා කිවේය.

අපේ තරුණ කාලේ කාලෝ මහත්තයා කියන්නේ වීරයෙක් කියා මුදලාලි කිවේය.

කාලෝ මහත්තයා කියන්නේ ළමයා මිත්‍යා විශ්වාස වලට විරුද්ධව සටන් කරපු කෙනෙක් කියා ඉස්කෝලේ මහත්තයා කිවේය.

කතරගම ගිහින් ගිනි පාගලත් පෙන්නුවා කියනවනේ.කටු වලින් එල්ලිලා පෙන්නුවා මතකයි කියා මුදලාලි කිවේය.

ගිනි පෑගුවේ මොකටද? බාරයක් ඔප්පු කරන්නද?කියා ළමයා ඇසුවේය.

බාරයක් ඔප්පු කරන්න නෙවෙයි ගිනි පාගන්නේ දෙවියන්ගේ බලයකින් නෙමේ කියලා පෙන්වන්න යයි ඉස්කෝලේ මහත්තයා කිවේය.

දෙවියෝ සහ භූතයෝ කියලා ඒ කලේ කොවුර් මහත්තයා පොතකුත් ලියලා තිබුනා කියා මුදලාලි කිවේය.

කොවුර් මහත්තයා කවුද? කියා ළමයා ඇසුවේය.

කොවුර් මහත්තයා තමයි හේතුවාදීන්ගේ සංගමයේ ප්‍රධානියා.කාලෝ මහත්තයා තරුණ කාලේ එයත් එක්ක වැඩ කළා ගිනි පැගිල්ල එහෙම කරපු වැඩක් තමයි.

දෙවියෝ භූතයෝ පොතේ තියෙන්නේ දේව කතා භූත කතා ගැනද කියා ළමයා ඇසුවේ ඔහු ඒ වනවිටත් ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා කීපයක් කියවා තිබු නිසාය.

දේව කතා භූත කතා නෙවෙයි ළමයෝ ඒ පොතේ තියෙන්නේ දෙවියෝ භූතයෝ දේව බල හොල්මන් නැ කියලා ඔප්පු කරන්න කොවුර් මහත්තයලා කරපු ගවේෂණ වල විස්තර කියා ඉස්කෝලේ මහත්තයා කිවේය.

හුටා එහෙනම් මේ කවි පන්ති දෙකේ අවසාන් පදවලින් කරලා තියෙන්නේ ත්‍රිකුණාමලේ හාමුදුරුවෝ ගැනියෙක් නොවුනානම් කරනවා කියපු ජාතියේ වැඩක් කියා ළමයා කිවේය.

ළමයා මොකද එහෙම කියන්නේ යයි ඉස්කෝලේ මහත්තයා ඇසුවේය.

” පින පමනිකිනි දෙවිදුන් දකින ඔබ වැනි” ළමයා අවසන් පදය නැවතත් කිවේය.

ඉතින් මොකද්ද වැරැද්ද? කියා මුදලාලි ඇසුවේය.

ළමයා කියන කතාව ඇත්ත, කාලෝ මහත්තයා මම දන්නා තරමින් “පින්” දෙවිදුන් වගේ සංකල්ප පිළිගන්න කෙනෙක් නෙවෙයි.කියා ඉස්කෝලේ මහත්තයා කිවේය.

කාලෝ මහත්තයා හොඳ මාක්ස්වාදියා සමසමාජ කාරයා කියා මුදලාලි කිවේය.

දෙවියන් පිලිනොගත්තු කෙනෙක් දෙවියන්ට සම කරලා කවි ලියන කෙනා කාලෝ මහත්තයාගේ විෂයන් දෙකෙන් එකක්වත් ඉගෙනගෙන නැහැ කියා ඉස්කෝලේ මහත්තයා කිවේය.

විෂයන් දෙකක් මොකද්ද? වෛද්‍ය විද්‍යා මහාචාර්යවරු තවත් මොනවද උගන්වනේ? කියා කඩේ ලමයා ඇසුවේය.

කාලෝ මහත්තයා හොඳ කලාකාමිය,කලාකාරයා ගීත එහෙමත් රචනා කරලා තියෙනවා.රුදුරු තුරුවදුලේ කියලා. සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන්නේ එතුමා ලියපු ගීතයක් තමයි කියා මුදලාලි කිවේය.

අන්න ඒකයි මම කිව්වේ එතුමාගේ විද්‍යාව කලාව දෙක ඉගෙන ගත්තනම් එතුමා දෙවියන්ට සම කරන්නේ නැ කියා ඉස්කෝලේ මහත්තයා කිවේය.

කාර් එක ඉස්සරහ දෙහි ගෙඩි එල්ලන දොස්තරවරු ඉන්න රටේ ඕකත් කජ්ජක්ද කියා මුදලාලි කිවේය.

‘ශක්තිය පමණි මිනිසුන් ඔබ දකින වැනි’ ළමයා අන්තිම පදය වෙනස් කර කිවේය.

ඒකනේ මම කිව්වේ ළමයා කවි කාරයෙක් කියා ඉස්කෝලේ මහත්තයා කිවේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *