2020 ආණ්ඩුව හදන්නේ අපියි – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

ජනතාවාදී පුළුල් පෙරමුණක් ගොඩනගා 2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බව පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 68 වන සමුළුව 03 දා පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වූ අවස්ථාවේ දීය.
පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, දිනේෂ් ගුණවර්ධන, පාඨලී චම්පික රණවක, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, රිෂාද් බද්යුදීන්, එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා, මනෝගනේෂන් හා අර්ජූන රණතුංග යන පක්ෂනායකයින්, දේශපාලඥයන් රැසක් මෙම සමුළුවට සහභාගි වී සිටියහ.
පක්ෂයේ 68 වන සංවත්සරය සමරනදා, පක්ෂ සභාපති වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 68වන ජන්ම දිනය යෙදී තිබීමත් විශේෂත්වයක් විය. පක්ෂ සමුළුව අමතා කතා කළ පක්ෂයේ සභාපති වත්මන් ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.
රට වෙනුවෙන් කීදෙනෙක් දේශපාලනය කරනවද? ජනතාව වෙනුවෙන් කීදෙනෙක් දේශපාලනය කරවද? ඒ ඉතාමත් සුළු පිරිසක්. ගෙම්බන් පනිනවා වාගෙ එහාට මෙහාට පනින්නේ රටවෙනුවෙන් හිතන අය නම් නොවෙයි. අපි අවංකවම අද පවතින දේශපාලනය ගැන තක්සේරුවකට ගියොත්, ඔබට කියන්න පුළුවන්ද නිවැරදි දේ තියෙන්නෙ කොතනද කියලා.
2015 ජනවාරි 8 වැනිදා මැතිවරණයට මම උඩුගං බලා පීනපු කෙනෙක්. ඒ අභියෝගය මත මා ජයග්‍රහණය කරලා ආණ්ඩුව හදලා, ඒ ආණ්ඩුව ජනතාවට දුන්න පොරොන්දු යම් ආකාරයකට, යම් ප්‍රමාණයකට වැඩකොටසක් කළා වගේම, මගේ පාර්ශ්වය නොව අනෙක් පාර්ශ්වය මට කිසිසේත් අනුමත කළ නොහැකි රටට නොගැලපෙන බොහෝ දේවල් රාශියක් කළා. ඒ නව ලිබරල්වාදය, අන්ත ලිබරල්වාදය අපට ගැලපෙන්නේ නැහැ. නමුත් මෙහිදී අප විසින් දෙයක් තේරුම්ගත යුතු වෙනව. නිරප්‍රභූ ජනාධිපතිවරයකු වීම නිසා එවන්වූ සාධනීය මැදිහත් වීම් සඳහා නිසි අගැයීම් මෙරටට ශාපයක් වී ප්‍රභූ දේශපාලන පන්තිය විසින් වළදමනු ලැබුවා. එම දේශපාලනය හඳුන්වාදිය හැකි අපගේ ජන වහර වන්නේ, හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් නමැති පිරුළ යි. එසේ නොමැතිනම්, නමින් කපුරුහාමි නමුත් කට ගඳයි යන්නයි. රටේ සංවර්ධනය ද දේශපාලනය ද, නායකත්වයේ ද මාලිමාව විය යුත්තේ අප ගොඩනගන මේ දේශපාලන බලවේගයයි. ඒ මාලිමාවේ කාන්දම විය යුත්තේ, නිර්ප්‍රභූ දේශපාලනයයි.
කොළඹ මහනගර සභාවෙ ඉඳලා පළාත්පාලන ආයතන 90ක් ගමේ ප්‍රාදේශීය සභාව දක්වා අන්ත දූෂිතයි. ආණ්ඩුවටයි, විපක්ෂයටයි පළාත් පාලන ආයතන අයිතියි. එහෙනම් කවුද වගකීම ගන්නේ? මගේ අවුරුදු හතර හමාරට වැඩි කාලය තුළ මේ ආණ්ඩුවට කරන්න තිබූ ලොකුම නින්දාව හා අපහාසය, ලොකුම හූනියම, ව්‍යවසනය සිද්ධ කරපු මහබැංකු කොල්ලයේ වගඋත්තර කරුවන් මේ රටේ දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. වහ වහා ඉවත්විය යුතුයි.
සුද්දවන්ත මහත්වරු වගේ ඉදිරි ජනාධිපතිවරණ ගැන කතා කරනවා. ඉදිරියේ දී බොහෝ දේ හෙළිවේවී. අර්ජූන් මහේන්ද්‍ර ලංකාවට ගේන්න කඩදාසි සියල්ලම හදලා අවසන්. අර්ජුන මහේන්දුට වැඩිය ලොකු මහත්වරුන්ට උසාවියේ කූඩුවට නගින්න අවශ්‍ය ලිපිගොනුත් හදලා ඉවරයි කියලා මම තමුන්නාන්සේලාට කියනව. රටේ ජනතාවගේ ඡන්ද බලයට කුමක්ද කෙරුවෙ? පළාත් සභා ඉවරයි. ආයේ පළාත්සභා ඡන්දයක් නෑ මේ රටේ. එයට ප්‍රධාන වගඋත්තර කාරයා බොහෝම පැහැදිලිව කියන්න ඕනැ, ශ්‍රේෂ්ඨාධිකරණය මට දන්වා ඇති පරිදි පාර්ලිමේන්තුවෙන් ආදාළ වාර්තාව අගමැතිවරයා විසින් සැපයයීම සිදු නොකළ නිසා පළාත් සභා හා පළාත් පාලන ඡන්ද ඉවරයි. ආයේ එහෙම එකක් කවදා එයිද කියලා කියන්න බෑ. පළවෙනි වගඋත්තර කාරයා අගමැතිවරයා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවා කෝටි ගණනක් වියදම් කරලා වෙච්ච දෙයක් නෑ. සමහරු අහනව, ඇයි හිටපු ජනාධිපතිවරු වගේ තමුසෙට වැඩ කරන්න බැරි ඇයි කියල? මම 6වැනි ජනාධිපති කියලා ඔයාල දන්නව. 19 වැනි සංශෝධනයෙන් හිටපු ජනාධිපතිවරු විදිහට වැඩකිරීම සියල්ලම අවසන් කළා. ලබන ජනාධිපතිවරණයෙන් පත්වෙන ජනාධිපතිවරයා, රුපියල් කෝටි 450කට වැඩිය වැඩකරනව ජනාධිපති ඡන්දෙට. හැබැයි, කවුරු පත්වුනත් ඒ ජනාධිපතිවරයා 19 වන සංශෝධනය අනුව කිසිවක්ම කළ නොහැකි පුද්ගලයෙක්. ඔහුට ආරක්ෂක අමාත්‍යංශයවත් නෑ. සියලු බලතල අගමැතිවරයාට. ඒ නිසා තමුන්නාන්සේලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරු පත්කරන්න තියෙන උනන්දුවට වැඩිය මී ළඟ අගමැතිවරයා පත්කර ගැනීම ගැන උනන්දු වෙන්න ඕනැ කියලයි මම තමුන්නාන්සේලාට කියන්නෙ.
මේ අවස්ථාව අමතා පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් නිදහස් සංවිධානයේ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන්ද කත කළහ.
මනෝජ් රූපසිංහ
