ගෝඨාගේ ගමන්බලපත් ප්‍රශ්නය – ව්‍යාජ ලේඛනවලට හැඳුනුම්පත්, ගමන් බලපත් නිකුත්වීම වළකන්න අලුත් නීති ගෙනෙනවා – ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ශ්‍රී ලංකාවේ වලංගු පුරවැසි හැඳුනුම්පත් හා ගමන් බලපත් ලබාගැනීම කලක් තිස්සේ සිදුවන බවත් එය නැවැත්වීමට පවතින නීති හා ක්‍රමවේද ප්‍රමාණවත් නැති බවත් ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. එලෙස පුරවැසි හැඳුනුම්පත් හා ගමන් බලපත් වසරකට දහස් ගණනක් නිකුත්වන බවත් එම තත්ත්වය නැවැත්වීමට නව නීති හා ක්‍රමවේද සකස් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ද්විත්ව පුරවැසිබව ඉවත් කරගෙන නොමැති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැඳුනුම්පතක් හා විදේශ ගමන් පලපත්‍රයක් නිකුත්වීම ගැන අප කළ විමසුමකට පිළිතුරු ලෙස ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙලෙස වලංගු හැඳුනුම්පත් හා ගමන් බලපත් ලබාගැනීම ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙන්ම මාකඳුරේ මධුෂ්ට ද කළ හැකිව තිබෙන බවද අමාත්‍යවරයා කීය. ගෝඨාභය රාජපක්ෂ මහතා ද වලංගු ලිපි ලේඛන ඉදිරිපත් කොට ශ්‍රී ලාංකික හැඳුනුම්පත් හා ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවත් එහි නීතිමය තත්ත්වය ගැන ප්‍රශ්නයක් ඇතත් ඔහුට ලැබී ඇත්තේ වලංගු ගමන් බලපත්‍රයක් බවත්  අමැතිවරයා ප්‍රකාශ කරයි. නව පුරවැසි හැඳුනුම්පතක් ගන්නා ඕනෑම අයකුට ලැබෙන්නේ අංක 12 කින් යුතු නව හැඳුනුම්පත් අංකයක් බව කී ඇමතිවරයා වයස හැට ඉක්ම වූ ජේෂ්ඨ පුරවැසියන්ට ගමන් බලපත්‍ර ලබාගැනීමේ දී ඇගිලි සලකුණු ලබාදීම අවශ්‍ය නොවන බවද වැඩිදුරටත් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව අප කළ විමසීම්වලට පිළිතුරු වශයෙනි.

පසුගිය කාලයේ රුපියල් බිලියන ගණනක් වැට් වංචාවලටද මෙලෙස ලබාගත් හොර හැඳුනුම්පත් භාවිත කොට ඇති බවත්, පවතින නීතියේ ඇති දුර්වලතා  නිසා ඒ කිසිවක් ගැන අවශ්‍ය පියවර ගැනීමට නොහැකි වූ බවත් අපරාධකරුවන් නිදැල්ලේ සිටින බවත් කී ඇමතිවරයා මෙම තත්ත්වය ගැන කෙලින් කතා කරන විට ඇතැම් නිලධාරින් ලජ්ජාවට පත්වන බවද කීය. ඇමතිවරයා වැඩිදුටත් කීවේ කළ යුතුව ඇත්තේ ප්‍රශ්නය යට ගැසීම හෝ ලජ්ජාවීම නොව මෙබදු නීති විරෝධී ක්‍රියා සිදුවීමට ඉඩ නොතබන පරිදි නව නීති රීති හා ක්‍රමවේදයන් හදුන්වාදීම බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *