ඇක්සා , සෝෆා = 1990 – සිරිසේන රාජපක්ෂ

1990 සුවසැරිය යනු ඉන්දියානු රජයේ ආධාර මත මෙරට ක්‍රියාත්මක වන ගිලන් රථ සේවයයි. දකුණු පළාත, බස්නාහිර පළාත ආදි වශයෙන් තෝරාගත් ප්‍රදේශ කිහිපයකින් මුලින් ම ආරම්භ කෙරුණු එම ගිලන් රථ සේවය මේ වන විට රට පුරා ව්‍යාප්ත වී හමාරය. සුවසැරිය ගිලන් රථ සේවය යනු මෙරට සෞඛ්‍ය, වෛද්‍ය සහ සුව සේවා ක්ෂේත්‍රයේ පැවති අඩුපාඩුවක් සම්පූර්ණ කිරීමකි. එම සේවය ක්‍රියාත්මක කිරීමට පෙර මෙරට ගිලන් රථ සේවා ක්‍රියාත්මක වූයේ රෝහලකින් රෝහලකට ගිලනුන් හුවමාරු කිරීම සඳහා පමණි. හදිසි අනතුරු, යුද ගැටුම්, කැරලි කෝලාහල වැනි අවස්ථාවක හැර රෝගියකු රෝහලකට ඇතුළත් කිරීම සඳහා මෙරට රෝහල් ආශ්‍රිත  ගිලන් රථ සේවයක් තිබුණේ නැත. පෞද්ගලික ගිලන් රථ සේවා මෙරට පැවතියා වුවද දිළිඳු පොදු ජනතාවට එමගින් සේවාවක් ලබා ගැනීමට හැකි වු‍යේ නැත්තේ ඒවා සඳහා මුදල් ගෙවීමට රෝගියාට සිදු වූ නිසාය. රතු කුරුස සංවිධානය වැනි ආයතනවලට අනුගතව ද ගිලන් රථ සේවා ක්‍රියාත්මක කෙරුණු නමුත් ඒවා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වුයේ නැත. රතු කුරුස හමුදා ගිලන් රථ සේවය ද ගිලනුන් ප්‍රවාහනය නොමිලේ සිදු කළේ නැත. ඒ සඳහා යම්කිසි මුදලක් අයකරන ලදී.

දීප ව්‍යාප්ත මට්ටමින් පැවැතුණු එකම ගිලන් රථ සේවය වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් ආශ්‍රිත ගිලන් රථ සේවය පමණි. සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබුණේ සීමිත ගිලන් රථ සංඛ්‍යාවක් වීම හේතුවෙන් සහ එම ගිලන් රථ සේවයෙහි පැවති ආවේණික සීමාකම් හේතුවෙන් නිවෙසකින් රෝහලකට රෝගියකු ගෙන යාම වැනි සේවාවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ගිලන් රථ වලින් ඉටු වුයේ නැත.

එම තත්ත්වය අනුව නිවෙසින් රෝහලට හදිසි රෝගියකු ගෙනයාම සඳහා මෙරට දී බොහෝවිට යොදා ගනු ලැබුණේ ත්‍රිවිල් රථ වැනි හදිසි රෝගියකු ප්‍රවාහනයේ දී කිසිවිටෙක යොදා ගැනීමට නුසුදුසු ප්‍රවාහන මාධ්‍යයන්ය. එවැනි මාධ්‍ය යොදා ගනිමින් රෝගින් ප්‍රවාහනය කරන්නට යෑමේ දී රෝගීහු නොයෙකුත් අතුරු ආබාධවලට මුහුණ දුන්හ. හෘද රෝගීන් වැන්නන් ප්‍රවාහනයේ දී කඩිනමින් ලබා දිය යුතු ප්‍රථමාධාර ආදිය ලබා දීමට අවශ්‍ය දැනුම සහ අවබෝධය ප්‍රවාහකයන්ට නොතිබීම හේතුවෙන් රෝහලට යන අතර තුර රෝගින් මියගිය අවස්ථා කොතෙකුත් තිබුණි. හදිසි දරු ප්‍රසුති වල දී ද තත්ත්වය ඊට දෙවැනි වුයේ නැත.

සුවසැරිය හෙවත් 1990 යනු ඉහත අඩුපාඩු සියල්ල එකවර සම්පූර්ණ කෙරුණු ගිලනුන් පුවාහනය කරන සේවාවකි. රෝගියා පිළිබඳ තොරතුර 1990 අංකයට දැනුම් දුන් සැණින් සුවසැරිය ගලන් රථය නිවසටම හෝ අදාල ස්ථානයට පැමිණේ. හදිසි රෝගියකු රෝහලට ඇතුළත් කරන තුරු දිවි ගලවා ගැනීමට අවශ්‍ය දැනුමින් සහ ඒ සඳහා විශේෂ පුහුණුවකින් යුතු සෞඛ්‍ය සේවකයකු සුවසැරිය ගිලන් රථයේ සිටී. එපමණක් නොව කුඩා ප්‍රමාණයේ ශල්‍යාගාරයක් බඳුව සියලු මෙවලම් සහ උපකරණවලින් ද සුවසැරිය ගැලන් රථය සමන්විතය. ඒ නිසා රෝගියාට කිසිම ආකාරයක ජීවිත අවදානමක් සැවසැරිය තුළ දී නැත. වඩාත්ම වැදගත් කරුණ මෙම සේවා සියල්ල ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ වීමය.

සුව සැරිය ගිලන් රථ සේවාවම ආරම්භ කිරීමට පෙර ඒකාබද්ධ විපක්ෂය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආදීන් නැගු චෝදනා මෙහිදී සිහිපත් කර ගැනීම වැදගත්ය. ඔවුන් කීවේ ගිලන් රථ සේවය හරහා ඉන්දියානු රහස් ඔත්තු සේවා මෙරටට ගොඩබසින් බවය. මෙරට එක්ස් කිරණ පරීක්ෂණ මධ්‍යස්ථාන, ලේ පරීක්ෂණ මධ්‍යස්ථාන ආදිය එමගින් වැසී යනු ඇති බව නැතහොත් ඒවා ඉන්දියානුවන්ගේ ග්‍රහණයට නතුවනු ඇති බවය. රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමය ඒ අනුව සුවසැරිය ගිලන් රථ රෝහල්වල ගාල් කරන්නට පවා ඉඩ ලබා දුන්නේ නැත. අදටත් එම ගිලන් රථ ජනතාවට සේවය සපයන්නේ පොලිස් ස්ථානවල ගාල්කර තබමිනි.

ඉහත පෙරවදන සෝෆා සහ ඇක්සා ගිවිසුම සම්බන්ධව මේ දිනවල පවතින විරෝධතාව වටා ගැනීමේ දී යම් පමණකට වැදගත් වනු ඇත. විරුද්ධවාදින් කියන ආකාරයට වත්මන් ආණ්ඩුව ඇමරිකාව සමඟ ඇක්සා ගිවිසුම අත්සන් කර ඇත. එපමණක් නොව ඇක්සා ගිවිසුම අනුව මෙරටට පැමිණෙන ඇමරිකානු හමුදාවලට, නිලධාරින්ට කොන්ත්‍රාත්, කරුවන්ට අතුළු සියල්ලන්ට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලබාදීමට සෝෆා ගිවිසුම ද අත්සන් කර තිබේ.

නමුත් ඇත්ත වශයෙන්ම සෝෆා ගිවිසුම යනු යහපාලන ආණ්ඩුව විසින් අත්සන් කරන ලද්දක් නොවේ. එය 1995 වර්ෂයේ එනම් චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු සමයේ ඇති එකඟතාවකි. එම එකඟතාව ඇති කරගන්නා සමයේ අද ඊට විරුද්ධවන මහින්ද රාජපක්ෂවාදීන් බොහොමය නියෝජනය කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව බව මෙහි දී ජනතාව මත්කර ගත යුතුය. කන්නට අවශ්‍ය වූ විට කබරගොයාත් තලගොයා කර ගන්නා විපක්ෂයේ මහත්වරුන්ගේ දේශපාලනයේ සැබෑ නිරුවත මහජනතාවට අවබෝධ වනු ඇත්තේ එවිටය.

1995 ඇති කරගත් ගනු දෙනුව හේතුවෙන් එදා පටන් ඇමරිකන් ජාතිකයන් මෙරටෙහි යම් කටයුත්තක් කරන්නට පැමිණෙන විට ඔවුනට තානාපති සේවයේ නිලධාරින්ට ලබා දෙන මුක්තිය වරප්‍රසාද ලබා දීමට එකඟ වී ඇති නමුත් 1996 විදේශ තානාපති වරප්‍රසාද පනත අනුව එවැනි පරප්‍රසාද, මුකිතිය කිසිවකුට ලබා දෙන්නේ නම් ඒ සඳහා විදේශ ඇමතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර පාර්ලිමේන්තුවේ  අනුමැතිය ලබා ගත යුතුව තිබේ.  

විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදින් නිතර මතුරන ආකාරයට 2017 දි ඇමරිකානු රජය මෙරට රජයට සැලකිල්ල යොමු කිරීම සඳහා එවා ඇති සෝෆා ගිවිසුමේ අඩංගු මුක්ති ලියැවිලි හා වරප්‍රසාද ලිපි හුවමාරු කිරීමෙන් හෝ අත්සන් තැබීමෙන් පමණක් වලංගුතාවක් නොලැබෙන බව පසුගිය දා විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා පාර්ලිමේන්තුවේ දී පැහැදිලි පෙන්වා දී තිබුණි. ඒවා වලංගුවීමට නම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර පාර්ලිමේන්තුවේ ද අනුමැතිය ලබාගත යුතු බව විදේශ ආමාත්‍යවරයා පැහැදිලිවම ප්‍රකාශ කර තිබුණි.

විමල් වීරවංශ උදය ගම්මන්පිල වැන්නන් කතා කරන්නේ ඉහත ගිවිසුම් ක්‍රියාත්මක වන බව ජනතාවට ඇඟවෙන පරිදිය. එසේම එම ගිවිසුම් රටට අහිතකරය යන හැඟීමක් ජනතාව තුළ ඇති වන ආකාරයෙනි.

විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන ආදාරයට යම් ගිවිසුමක් හෝ ලියැවිල්ලක් නීතික භාවයට පත්වීම සඳහා අමාත්‍යමණ්ඩලයේ අනුමැතිය ලැබිය යුතුය යන්න අතිශය සරල මූලධර්මයකි. එක් ඇමැතිවරයකුට හෝ වෙනත් කිසිවකුට රහසිගතව ගිවිසුම් මගින් රටක් සමඟ එකඟතාවනට පැමිණීමට හැකියාව ඇත්නම් රටකට ආණ්ඩුවක් හෝ රජයක් අවශ්‍ය වන්නේ නැත.

විරුද්ධ පක්ෂය කියන ආකාරයට ඉහත ගිවිසුම් අත්සන් කර ඇත්නම් ඊට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිතුමාගේ අනුමැතිය ලැබිය යුතුය. නමුත් ජනාධිපතිතුමා නිරන්තරව කියන්නේ රටට අහිතකර ගිවිසුම්වලට තමාගේ අනුමැතිය නැති බවයි. එම ගිවිසුම් සක්‍රිය කරනු පිණිස ඊළඟට ගැසට් පත්‍රයක ප්‍රදාශයට පත් කළ යුතුය. ගැසට් පත්‍රයක පළකිරීම යනු රහසිගතව කළ හැකි දෙයක් නොවේ. ගිවිසුම් ක්‍රියාත්මක යැයි කිසිවකු තවදුරටත් කියයි නම් මාධ්‍යෙව්දින් කළ යුත්තේ කියන්නන් වාලේ ලියා වාර්තා කිරීම වෙනුවට අදාළ ගැසට් පත්‍රය ඔවුන්ගෙන් ඉල්ලා සිටීමය. තොරතුරු පනත ක්‍රියාත්මක බැවින් අවශ්‍ය අයකුට ඒ යටතේ ද අදාළ ගැසට් පත්‍රය සම්බන්ධව විමසන්නට පුළුවන.

අවසාන වශයෙන් ගිවිසුම ක්‍රියාත්මක නම් එය මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත වී තිබිය යුතුය. පාර්ලිමේන්තුවේ අනුමැතිය ද හොර රහසේ ලබාගත හැකි දෙයක් නොවේ.  ඒ අනුව විමල් වීරවංශ ගම්මන්පිල ආදින්ගේ ඇමරිකානු ගිවිසුම් ඝෝෂාව ද සුව සැරිය විරෝධයේ දෙවැනි කොටස බව ජනතාව වටහා ගත යුතුය. සුව සැරිය යක්ෂයෙක් බව කියා හඬ තලමින් සිටි පොහොට්ටුවාදීන්ට ගෝල් ෆේස් රැලියේ දී අසනීප වූ  තම සගයන්ව රෝහල් ගත කරන්නට පිහිටට ආවේ  1990 ගිලන් රථ බව ද මතක් කළ යුතුය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *