දේශපාලන කුණු කඳු – සී. ජේ. අමරතුංග
මීතොටමුල්ලේ කුණු කන්දේ කොටසක් නාය යාමෙන් මහා ඛේදවාචකයක් සිදු වීය. එය ස්වභාවික විපතකට වඩා මිනිසුන් විසින් නිර්මාණය කරගත් විනාශයක් බව පැහැදිලිය. එම ඛේදවාචකයත් සමඟ එළියට එන්නේ එයට හේතු වූ මහා දේශපාලන කුණු කඳු හා ව්‍යාපාරික මෙන්ම ජාවාරම්කාර කුණු කඳු පිළිබඳ කතාන්දරයකි. දේශපාලන වුවමනාවන් සඳහා මහජනයා මෙහෙයවීම, මෙන්ම ජාවාරම්කාර වුවමනාවන් නිසා ප්‍රශ්න විසඳීමට හරස්වීම, ආදිය ද මෙහි පසුබිමෙහි ඇති බව පෙනෙන්නට තිබේ.
කොළඹ කුණු බරපතළ ප්‍රශ්නයක් බවට පත්වන්නේ අද ඊයේ සිට නොවේ. මෙය වසර තිහ හතළිහක සිට වැඩෙන ප්රශ්නයකි. එය දැන් මහා කුණු කන්දක ප්‍රශ්නයක් බවටත් නාය යාමෙන් ජීවිත බිලිගන්නා තත්ත්වයටත් පත්ව ඇත. එහෙත් තවමත් එයට විසඳුමක් සොයන්නට හැකිවී නැත. මේ වන විටත් සිදුවෙමින් තිබෙන්නේ දේශපාලන කඹ ඇදිලි මෙන්ම දේශපාලන පැවැත්ම සඳහා ජනයා මෙහෙයැවීමේ උත්සාහයන් ආදියයි. ප්රශ්නය විසඳනවා වෙනුවට එය පවත්වාගෙන යමින් දේශපාලනය කිරීමටද පිරිසක් කටයුතු කරන බව පෙනෙන්නට තිබේ.
කුණු ප්‍රශ්නයක් බවට පත්වූයේ කොළඹට පමණක් නොවේ. සියලු නාගරික ප්‍රදේශවලට එය ප්‍රශ්නයක් වී ඇත. කෙසේ වෙතත් ඇතැම් ප්‍රාදේශීය සභා හා නගර සභා මෙම ප්‍රශ්නයට පිළිතුරු සොයාගෙන ඇති බව කියති. එහෙත් එම ප්‍රදේශවල එකතුවන කුණු ප්‍රමාණය සාපේක්ෂ වශයෙන් අඩු ය. එනිසාම ප්‍රශ්නයට විසඳුම් සෙවීමද පහසුය.
කොළඹ කුණු
කොළඹ කුණු ප්රශ්නය බරපතළ වන්නේ එකතුවන කුණු ප්‍රමාණය වැඩි නිසා ය. දිනකට කුණු ටොන් අටසියයක් මේ වනවිට කොළඹින් බැහැර කරන බව කියති. කුණු කන්ද නාය යනතුරුම එම කුණු ගොඩගැසුවේ මීතොටමුල්ලේය. එහි මේ වනවිට ගොඩ ගැසී ඇති කුණු ප්‍රමාණය ටොන් ලක්ෂ නවයක් බව කියති. විශාල කන්දක් නිර්මාණය වූයේ ඒ ආකාරයෙනි.
මෙම ප්රශ්නය විසඳීමට උත්සාහ දැරීමද දැන් දශක ගණනාවක් තිස්සේ සිදුවී ඇති බව පැහැදිලිය. එම බොහෝ උත්සාහයන්ට හරස් වූයේ කුණු දේශපාලනය බවද හෙළිදරව් වෙමින් පවතියි. ඇතැම් විට පැවසෙන්නේ අතයට ගනුදෙනු සාර්ථක නොවීමෙන් ද ව්‍යාපෘති අතහැර දැමුණු බවයි. එලෙස මෙය පිටුපසින් තිබෙන්නේ වෙනත් ජරාජීර්ණ තත්ත්වයකි. එයද කුණු කන්දකි. නැතහොත් කඳු ගණනාවකි.
මීතොටමුල්ලේ ජනයාට කුණු විපතක් වූවාට එයම තවත් පිරිසකට සම්පතක් වී තිබූ බවද කියති. කුණු ඉවත් කිරීමත් ගොඩගැසීමත් විශාල ව්‍යාපාරයකි. එයින් හම්බකරන හා යැපෙන පිරිසද විශාලය. එමෙන්ම කුණු සමඟ එන යකඩ ලෝහ හා වෙනත් දේ එකතු කොට විකුණන ජාවාරමද මහා පරිමාණ බවට පත්ව තිබී ඇත. ඒ සමඟම කුණු පාතාලයක්ද බිහිවී ක්‍රියාත්මක වී තිබේ. ඇතැම් විට චෝදනා නැඟෙන්නේ කුණු කන්ද ජාවාරමක් කරගත් පිරිසක් මෙම ප්රශ්නය විසඳීමට හරස් වූ බවකි. ඇතැම් විට ඔවුන් ක්‍රියාත්මක වී ඇත්තේ ජනතාවාදී වෙනත් සටන් පාඨවලට මුවාවෙමින්. කුණු කන්දෙන් විදුලිය නිපදවීමට පැමිණි සමාගම එළවාගත් මහජන උද්ඝෝෂණය එවැන්නක් විය හැකිය. දේශපාලන කුණු කඳු කියන්නේ ඒවාටය.
කුණු කන්දේ ප්රශ්නය විසඳන්නට මීට කලකට පෙර සිට උත්සාහයන් දරා ඇත. වත්මන් කථානායක කරු ජය සූරිය මහතා කොළඹ නගරාධිපතිව සිටියදී හා සුසිල් ප්‍රේමජයන්ත මහතා මහඇමැතිව සිටියදී අවිස්සාවේල්ල මීපේ ප්‍රදේශයේ කුණු රඳවනයක් ඉදිකිරීමට සැලසුම් කොට ඇත්තේ ලෝක බැංකුවේ මූල්‍ය ආධාර යටතේය. එසේ වුවද එයට එරෙහිව ජනතාව උසිගන්වන ලද්දේ ප්‍රාදේශීය දේශපාලනඥයන් විසිනි. ඔවුන් ජනතාවට දුන් සටන්පාඨය කොළඹ කුණු අපට එපා! යන්නයි. එය පසුව අනෙක් සියලු තැන්වලද හඬ නැඟූ පාඨය වී තිබිණි.
කොළඹ යනු රටේ අග නගරයයි. එහි ජී වත්වන ජන සංඛ්‍යාව ලක්ෂ හයකට මදක් වැඩිය. දිනපතා කොළඹට එන ජන සංඛ්‍යාව ලක්ෂ දහයකට අධිකය. ඔවුහුද කොළඹට කුණු බැහැර කරති. දිනපතා කොළඹට පැමිණෙන රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයෝ බත් පාර්සල් ලක්ෂ ගණනක් රැගෙන එන බව අප දන්නා කාරණයකි. එහි ඉතිරියද බැහැර කරන්නේ කොළඹය. කොළඹ කුණු අපට එපා” කියමින් පසුගිය දිනවල උද්ඝෝෂණය කළ උදවිය අතරින් වැඩි දෙනෙක් මෙලෙස කොළඹට යන එන කොළඹට කුණු බැහැර කරන උදවිය වෙති. එලෙස කොළඹට කුණු බැහැර කර ගොස් ගමේදී කෑ ගහන්නේ කොළඹ කුණු අපට එපා කියාය. ඒ උද්ඝෝෂණ සංවිධානය කරන්නෝ ප්‍රාදේශීය දේශපාලනඥයෝය. ඔවුහු මෙමඟින් දේශපාලනය කරති. කොළඹ කුණු ප්රශ්නයේ පැවැත්මම ඔවුන්ගේ දේශපාලන පැවැත්මද කරගෙනය.දේශපාලන කුණු කන්ද ක්‍රියාත්මක වන්නේ එහෙමය.
ගමේ ජනයා මෙලෙස පාරට ගන්නේ ප්‍රාදේශීය දේශපාලනඥයන් බව ප්‍රකට කාරණයකි. ඇතැම්විට එසේ කරන්නේ ආණ්ඩුව අමාරුවේ දමන්නටය. ආණ්ඩු විරෝධයක් ඇති කරන්නටය. එසේත් නැත්නම් ප්‍රදේශයේ දේශපාලන ප්රතිවාදීකම් නිසාය. තම තමන්ගේ ඡන්ද පදනම රැක ගැනීමටය. නැතහොත් වැඩිකර ගැනීමටය. මේ දේශපාලනඥයන්ට පෙන්වන්නට ඕනෑවී තිබෙන්නේ ගමේ ජනයාගේ ආරක්ෂකයා තමන් පමණක් බවය. අන් සියලු දෙනා සිටින්නේ ගමේ මිනිහාට වළ කපන්නට බවත්, එම ජනයාගේ ගැලවුම්කරුවා තමන් බවත් පෙන්වන්නටය. රටේ පොදු ප්‍රශ්න විසඳීමට දායකවීමේ වගකීමත් ඔවුනට දැනෙන්නේ නැත. කවුරු කොතරම් කීවත් ඒ බව ගණන්ගන්නේද නැත. රජය, නිලධාරීන්, විශේෂඥයන් සියලු දෙනා එක්ව ජනතාවට වින කරන්න යන බව කියන ඔවුහු ජනතාව පොලඹවා දේශපාලන වාසි සොයති. කතාව දිග්ගැහෙන්නේ එහෙමය.
විපක්ෂයේ ප්‍රශ්න
විපක්ෂයේ දේශපාලනඥයන් සිතන්නේ ආණ්ඩුව කර න්න හදන දේ කෙසේ හෝ වළක්වන්නටය. ප්‍රශ් නයක් විසඳන්නට ඉඩ නොදෙන්නටය. ඒ සඳහා කියන්නේ ආණ්ඩුව කරන්නට යන දේ වැරදි බවයි. ඊට වඩා හොඳ විකල්ප ඇති බවයි. ඒ විකල්ප ඇතැම්විට ජනතාවට වඩා ආකර්ෂණී විය හැකිය. එසේ වුවද ඒවා මහපොළොවේ ක්‍රියාත්මක කරන්නට බැරිය. ක්‍රියාත්මක කළද වියදම් අධිකය. දිගට නඩත්තු කරන්න බැරිය. විපක්ෂයට ඒවා ප්‍රශ්න නොවේ. එකම උත්සාහය මහජනයා විවිධ දේට යොමු කරමින් ප්රශ්නය අවුල් කිරීමටය. විපක්ෂයේ කරල පැහෙන්නේ එවිටය. ප්රශ්නය නොවිසඳීම ගැන ආණ්ඩුව විවේචනය කළ හැකි වන්නේද එවිටය. මෙබඳු දේශපාලන කුණු කඳු නිසා අනෙක් කුණු කඳුවලට විසඳුම් සෙවීම කල් යයි. විපත් සිදුවන්නේ එවිටය .
ඇතැම්විට එක ම පක්ෂයේ උදවියද හැසිරෙන්නේ විප ක්ෂයේ දේශපාලනඥයන් වගේය. තම පක්ෂයේම තරගකාරී දේශපාලනඥයා ප්‍රශ්නයක් විසඳන්නට වැඩ පිළිවෙළකට එකඟ වුවහොත් හෝ සහයෝගය දුනහොත් හෝ අනෙක් දේශපාලනඥයා බලන්නේ එයට එරෙහි වන්නටය. ප්රශ්නය විසඳීමේ කීර්තිය තම තරගකරුවාට අත්වෙන එක වළක්වන්නය . ඒ සඳහා වෙනත් මොකක් හෝ විකල්පයක් පටලවන්නටය. එයද දේශ පාලන කුණු කන්දේ තවත් පැත්තකි.
තවත් බරපතළම ප්‍රශ්නයක් වන්නේ ජනතා ප්‍රශ්නයකට විසඳුම් සෙවීම තුළම විවිධ ජාවාරම් කිරීමට යෑමයි. කුණු කන්දක් වුව සල්ලි කරන්නට දන්නා ව්‍යාපාරිකයෝ සිටිති. ඔවුනට ඉඩ දුනහොත් ඔවුන් ඒ දේ කරන්නට ඉඩ ඇත. එහෙත් බොහෝ දේශපාලනඥයන්ට අවශ්‍ය වන්නේ එය තමන්ගේ මඩිතරවන ව්‍යාපාරයක් කර ගන්නටය. නැතහොත් තමන්ගේ කෙනෙකුට එම ව්‍යාපාරය ලබාදෙන්නටය. එසේත් නැතහොත් ව්‍යාපාරිකයාගෙන් කොමිස් නැතහොත් අල්ලස් ලබා ගන්නටය.
පසුගිය කාලයේ බොහෝ දේශපාලනඥයන්ට තමන්ගේ ‘පදනම් ‘තිබිණි. එය අහවලාගේ අහවල් පදනම යයි නම්කොට ඇත්තේ සමාජ සේවා කටයුතු කරන ආයතන බව පෙන්වන්නටය. ව්‍යාපාරිකයන්ට දේශපාලනඥයන් කීවේ මගේ අහවල් පදනමට ආධාරයක් කරන්න කියාය. අල්ලස් නොඉල්ලා මුදල් ගත්තේ එහෙමය.
යහපාලනයට අලුතින් ආ දේශපාලනඥයන් නම් මෙහෙම ‘පදනම්’ දමාගත් බවක් තවම දැනගන්නට නැත. කලින් පදනම් දමාගත් අයගේ එම ආයතනද එතරම් ක්‍රියාශීලි බවක් පෙනෙන්නට නැත. එසේ වුවද වෙනත් විධිවලින් මෙම ක්‍රියාවලිය ක්‍රියාවට නංවනවා විය හැකිය. කොයිදේ කරන්න ගියත් ව්‍යාපාරිකයන්ට මොවුන්ගෙන් ගැලවීමක් නැත.
දොළ පිදේනි
මෙහිදී ව්‍යාපාරිකයන්ට ඇති තවත් ප්‍රශ්නයක් නම් එක් දේශපාලනඥයකුට පමණක් දොළ පිදේනි දී බේරෙන්න බැරි වීමයි. තවත් අය එන්නේ “අපට නොදුන්නොත් අපි ලෙඩ අදිනවා” කියාගෙනය. එහෙම හැමෝටම දොළ දෙන්න ගියාම ව්‍යාපාරිකයාට ව්‍යාපෘතියෙන් වාසියක් නැත. ඉතින් ව්‍යාපාරිකයන් කරන්නේ ව්‍යාපෘතිය අතහැර යෑම යි.
කුණු කඳු ප්රතිචක්රීයකරණය කරන්නට නැතහොත් විදුලිය නිපදවන්නට පසුගිය දශක ගණනාවක් තිස්සේ නොයෙක් ව්‍යාපාරිකයන් සමාගම් ඉදිරිපත්වූ බවට වාර්තා ලැබිණි. එහෙත් ඒවා මිහිමත ක්‍රියාවට නැඟුණේ නැත. එසේ වූයේ ඉහත කී දේශපාලන කුණු කඳු එයට හරස්වීම නිසා වන්නට හොඳටම ඉඩ ඇත.
පරිසරවේදීන් කියාගත් අන්තවාදී සුළු පිරිසක්ද දැන් මේ ගොඩටම සෙට්වී සිටිති. ඔවුන්ගේ ජීවනෝපාය වී ඇත්තේ ඊනියා පරිසරවාදයයි. ඒ සඳහා සෑම සංවර්ධන ක්‍රියාවකටම විරුද්ධවීම මොවුන්ගේ ක්රමවේදයයි. මෙරටෙහි පරිසරවේදී සංවිධාන රාශියක් ක්‍රියාත්මක වුවද මේ අන්තවාදය වපුරන්නේ සංවිධාන කිහිපයක් පමණක් බවද කිව යුතුය. එහෙත් ඔවුන්ගේ හඬ ද බරපතළය. ඇතැම්විට ජනතාව පොලඹවන්නට දේශපාලනඥයන්ට සටන්පාඨ සපයන්නේ මෙම පිරිසයි.
පරිසරයට කිසිදු බලපෑමක් නොකොට මිනිසාට ජීවත්වන්නට බැරිය . මිනිස් ශරීරයෙන් පිටවන සියලු දේ පරිසරයට එකතුවන්නේ අපද්‍රව්‍ය හෝ ඇතැම්විට විශබීජ වශයෙනි. සියලු මිනිස් ක්‍රියාකාරකම්වලින් පරිසරයේ වෙනස්කම් සිදුවෙයි. එහිදී කළ හැකි එකම දෙය එම වෙනස්කම් පරිසරයට දරාගත හැකි මට්ටමින් පවත්වාගැනීමයි.
මේ අන්තවාදීන් පෙන්වන්න හදන්නේ මිහිමත සිදුවන සියලු ව්‍යසන සිදුවන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා බවය. එය බරපතළ මිත්‍යාවකි. ජල ගැලීම්, නියඟ, නායයාම්, සුනාමි වැනි විපත් මිනිසා ලොව බිහිවන්නටත් පෙර සිට පැවති ඇති බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ. මිනිසාට පෙර බිහිවූ ලක්ෂ ගණන් ජීවින් වර්ග වඳවී ගොස් ඇත. ඒ කිසිවක් සිදුවූයේ මිනිස් ක්‍රියාකාරකම් නිසා නොවේ. මෙබඳු ස්වභාවික ව්‍යසන පෙන්වා මිනිසාගේ පැවැත්මට අවශ්‍ය සංවර්ධන ක්‍රියාවලට විරද්ධ වීම බරපතළ අපරාධයකි. මෙයද තවත් කුණු කන්දකි.
මෙලෙස මීතොටමුල්ල කුණු කන්දේ විපත තුළින් අපට පෙනෙන්නේ එම විපතට හේතු වූ තවත් බරපතළ ව්‍යාධි මේ සමාජය තුළ ක්‍රියාත්මක වන බවයි. කුණු කන්දේ ප්රශ්නය නොවිසඳී පැවතී ඇත්තේ වෙනත් බොහෝ ප්‍රශ්න නොවිසඳී දිග් ගැසෙන්නේත් මෙබඳු වෙනත් විනාශකාරී බලවේග මෙම සමාජයේ ක්‍රියාත්මක වීම නිසාය. මේවා දේශපාලන කුණු කඳුය. නැතහොත් ජාවාරම්කාර කුණු කඳුය . ඒවා මෙම සමාජයෙන් ඉවත්කරන්නේ නැතිව මේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකිය.මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමත්, කුණු ප්‍රශ්නයට දිගුකාලින විසඳුමක් දීමත් රජයේ වගකීමකි. ජාතික ප්‍රශ්න වන මෙබඳු ක්‍රියාවලදී එයට හරස් නොවී සිටීම හා සහය දීම අන් සියලු දෙනාගේ වගකීමකි. එය සිදු නොවන්නේ ඉහතකී දේශපාලන කුණු කඳු නිසාය. ඒ කුණු කඳු මෙම සමාජයෙන් තුරන් කිරීමට සටන් වැදීම අප සැමගේ වගකීමකි.
සී. ජේ. අමරතුංග

