පළාත් ඡන්දය ඉක්මන් කිරීම ජනාධිපතිගේ තව ගැටයක් ලු

ජනාධිපතිවරණට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ උත්සාහය ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වුවමනාව අනුව සිදුවන්නක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කතා බහට ලක්ව ඇත. මාහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ මෙය ජනාධිපතිවරණය ප්‍රමාද කිරීමේ වුවමනාවෙන් සිදු කරන්නක් විය හැකි බවයි. කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ අභ්‍යන්තරයේ කතා බහට ලක්ව ඇත්තේ මෙය ශ්‍රී ලනිපය හා පොදුජන පෙරමු‍ණේ සන්ධානය ඉක්මන් කිරීම සඳහා ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන සැලසුමක් බවයි.

පළාත් සභා මැතිවරණය ඉක්මනින් තියන්නට යන්නේ සමානුපාතික ක්‍රමයටය. එලෙස මැතිවරණය තබන විට පළාත් ජයග්‍රහණය සඳහා පොදු පෙරමුණට අනිවාර්යෙන්ම ශ්‍රිලනිපයේ සහය අවශ්‍ය වන බවත් ඒ සඳහා සන්ධානගත වීමේ දී ජනාධිපති අපේක්ෂකත්වය තමන්ට ලබාදීමේ කොන්දේසිය ජනාධිපතිවරයා විසින් ඉදිරියට දමනු ඇති බවටත් පොදුජන පෙරමුණේ නායකයන් අතර කතාබහට ලක්ව ඇත. මෙතෙක් මෙම සන්ධානය ගොඩ නැගීමට ප්‍රමාද වී ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබාදීමට පොදුජන පෙරමුණ එකඟ නොවීම නිසාය.

මේ නිසා පොදුජන පෙරමුණේ අදහස වී ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉටු කරන්නේ ජනාධිපතිගේ වුවමනාව බවයි. මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය දා ප්‍රකාශ කර තිබුණේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පුංචි බොරුකාරයා වී ඇති බවයි. මහ බොරුකාරයා කවුදැයි රටම දන්නා බවද ඒ මහතා ප්‍රකාශ කොට තිබිණි.

මේ මොහොතේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි ලෙස විරුද්ධ වන්නේ  ජනාධිපතිගේ ඉහත කී සැලසුම ඉව වැටීමෙන් බව ද කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *