දිළිඳුකම පිටුදැකීමේ දාර්ශනික දුප්පත්කම – අනුර සූරියබණ්ඩාර
පවුල් ලක්ෂ 6 කට අලුතින් සමෘද්ධි හිමිකම් සහතික පත්‍ර බෙදාදීමේ ජාතික උත්සවයක් පසුගිය මැයි 30 දින අම්පාර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ අරමුණ වශයෙන් සඳහන් වන්නේ පුද්ගලයා, පවුල, කණ්ඩායම සහ ප්‍රජාව කේන්ද්‍ර කරගත් ජීවනෝපාය ආර්ථික සංවර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම තුළින් දිළිඳු බව තුරන් කිරීම සහ සමාජ සාධාරණත්වය සහතික කරනු ලබන සමාජයක් බිහිකිරීම බව කියැවේ.
සමෘද්ධි ව්‍යාපාරයේ මුදුන් මුල වන්නේ අද බොහෝ දෙනකුට අමතක ජනසවිය ව්‍යාපාරයයි. එම ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවේ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව ය. ජනසවිය ව්‍යාපාරය සඳහා උත්තේජනය ලැබුනේ බංගලිදේශයේ මහාචාර්ය මොහොමඩ් යූසුෆ් ගේ ග්‍රාමීන් බැංකු සංකල්පයෙනි. ලොව කීර්තිමත් දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපාරයක් වශයෙන් අදටත් සැලකෙන ග්‍රාමීන් බැංකු ක්‍රමය දිළිඳු කාන්තාවන් මුල් කරගනිමින් ක්‍රියාත්මක වූවකි. ග්‍රාමීන් බැංකුව මගින් අවසානයේ යාචකයන්ටත් ණය ලබාදුන් බවද කියැවේ. එම ව්‍යාපාරයේ සාර්ථකත්වය හේතුවෙන් මහාචාර්ය මොහොමඩ් යුසුෆ් නොබෙල් ත්‍යාගයෙන් පවා පුදනු ලැබුණි. මොහොමඩ් යුසුෆ් මහතාට අමතරව ජනසවිය සංකල්පය කෙරෙහි ෂුමාකර් මහතාගේ සංකල්පවලින් ද යම් උත්තේජනයක් ලැබුණු බව පෙනෙන්නට තිබේ.
ජනසවිය සංකල්පය යනු හුදු ආධාර හෝ සහනාධාර දීම ඉක්මවා ගිය දිළිඳු බව තුරන් කිරීමේ සංකල්පයක් වශයෙන් ක්‍රියාත්මක වූවකි. එහිදී යොදා ගැනුණු මූලික සංකල්පය සහභාගීත්ව සංවර්ධනයයි. ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ මරණයෙන් සහ පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පරාජයෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් ජනසවිය වැඩසටහන සමෘද්ධි ව්‍යාපාරය වශයෙන් නාමකරණයට ලක් කරනු ලැබිණ එතෙක් වෙනම අමාත්‍යාංශයක් හෝ කාර්ය මණ්ඩලයක් හෝ කාර්යාල ආදිය හෝ නොමැතිව නිවාස අමාත්‍යාංශය මගින් පවත්වාගෙන ගිය ජනසවිය වැඩසටහන සමෘද්ධි ව්‍යාපාරය බවට පත්වන විට සමෘද්ධි නිලධාරීන් වශයෙන් සේවක මණ්ඩලයක් ද අලුතින් පත් කරන්නට යෙදුනි. සමෘද්ධි නියාමකයන් බඳවා ගැනීම සිදුවූයේ කෙලින්ම දේශපාලන මැදිහත්වීම මතය. එක් අතකින් ජනසවිය සමෘද්ධිය නමින් දේශපාලනීකරණය වීම ආරම්භ වූයේ ද චන්ද්‍රිකා පාලන සමයේ ය.
චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ සමෘද්ධි ව්‍යාපාරය මගින් සමෘද්ධිලාභීන්ගේ ද ශ්‍රම දායකත්වය සමග ගම්වල පාරවල් කොන්ක්‍රීට් කිරීම බෝක්කු බැඳීම් ආදී කටයුතු සිදු කෙරිණ. එහිදී උපයන ලාභයෙන් කොටසක් සමෘද්ධි අරමුදලෙහි තැන්පත් කරනු ලැබිණ. වැදගත් ම කරුණ වූයේ ජන සහභාගිත්වය සමෘද්ධි ව්‍යාපාරය මගින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති ගසාකෑම් වලින් තොරව සහ නිසි ප්‍රමිතියකින් යුතුව නිමාකිරීමය.
මහින්ද රාජපක්ෂ පාලන සමය යනු සමෘද්ධි ව්‍යාපාරය ඉහළ මට්ටමකින් යුතුව දේශපාලනීකරණය කරනු ලැබූ කාල පරිච්ඡේදයයි. සමෘද්ධි ලාභියා යනු ඔවුන්ගේ රැස්වීම් වල ඔලුගෙඩි ගණන වැඩි කරන පෝස්ටර් අලවන පෙළපාලි යන පිරිසක් බවට රාජපක්ෂ රෙජිමය විසින් පත්කරනු ලැබිණ. සමෘද්ධි නිලධාරීන් යනු රාජපක්ෂ රෙජීමයේ දේශපාලන අතකොලුවක් විය. එකී තත්ත්වය කොතරම් උච්චස්ථානයකට නැඟුණේද යත් සමෘද්ධි වෘත්තිය සමිතිය හැසිරවූ සමෘද්ධි නිලධාරීන් රාජපක්ෂ රෙජිමය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන, පළාත් සභාවද නියෝජනය කරනු ලැබිණ.
රාජපක්ෂට රෙජීමය සමෘද්ධි ව්‍යාපාරය අරභයා ගත් තීරණාත්මක පියවරක් වූයේ දිවිනැගුම පනත ගෙන ඒම ය. ඔවුන් දිවි නැඟුම කරලියටය ගන්නේ සමෘද්ධි ව්‍යාපාරයේ හෝ එහි සේවකයන්ගේ හෝ සමෘද්ධිලාභීන්ගේ හෝ යහපත උදෙසා නොවේ. එහිදී ඔවුන්ගේ ඒකායන අරමුණ වූයේ සමෘද්ධි බැංකුවල එක්රැස් වී තිබුණු විශාල මුදල් සම්භාරය තමන්ගේ දේශපාලන සහ අනෙකුත් ව්‍යාපෘති සඳහා යොදවා ගැනීමය. රටේ අගවිනිසුරු පවා බලයෙන් පහකරමින් තමා අරමුණු කරා යාමට ඔවුන් උත්සාහි වූයේ එහෙයිනි. මැතිවරණය ඉලක්ක කරමින් ලිත් මුද්‍රණය කිරීම ආදිය විසින්ම රාජපක්ෂ රෙජිමයේ දිවිනැගුමේ අරමුණ පැහැදිලි විය. අවසානයේ රාජපක්ෂ පාලනය කෙළවර වූයේ 2013, 2014, 2015 වසර තුනෙහි පුද්ගල මරණ සඳහා ගෙවිය යුතු රුපියල් 10,000 ක මුදල 4000කට ආසන්න පිරිසකට ලබා නොදෙමිනි.
2019 ජනවාරි මස වන විට මෙරට සමෘද්ධිලාභීන් සංඛ්‍යාව 1,385, 500 බව කියැවේ. යහපාලන ආණ්ඩුව පසුගිය මැයි 30 වන දින ආරම්භ කළ වැඩසටහන අනුව තවත් පවුල් ලක්ෂ හයක් ඉදිරියේදී එම සංඛ්‍යාවට එකතුවනු ඇත.
සමෘද්ධි දීමනා ලබාදෙන ආකාරය අනුව එක් එක් පුද්ගලයෙකුගෙන් යුතු පවුලක රු.1550 ක සහනාධාරයක් ද තුන් දෙනෙකු දක්වා සිටින පවුලකට ලැබෙන සහනාධාර මුදල රුපියල් 2500කි. පවුලේ සංඛ්‍යාව තුන් දෙනෙකුට වැඩි නම් ලැබෙන මුදල රුපියල් 3500 කි. එම මුදල මුළුමනින්ම සමෘද්ධිලාභීයා අතට නොලැබෙන අතර සමාජ ආරක්ෂණය, අනිවාර්ය ඉතිරි කිරීම් ආදීය සඳහා එම ආධාර මුදලින් කොටසක් අඩු කරනු ලැබේ.
කවර ආකාරයකින් බැලුවද සමෘද්ධි සහනාධාරය වන රුපියල් 1550 , රුපියල් 2500 රුපියල් 3500 යනු පවුලකට ජීවත් වීමට සෑහෙන මුදලක් නොවේ. එම මුදල ලබාගැනීම වෙනුවෙන් සමෘද්ධි සමිති රැස්වීම්, කණ්ඩායම් රැස්වීම්, ශ්‍රමදාන ආදිය සඳහා සහභාගිවීමට සමෘද්ධිලාභීන්ට සිදුවේ. සමෘද්ධිලාභී යනු දරිද්‍රතා මට්ටමෙන් පහළ ජීවත් වන පිරිසක් වශයෙන් ගත්කල ඔවුන් එදිනෙදා කුලී වැඩ ආදියෙන් ජීවිතය ගැටගසා ගන්නා පිරිසක් වශයෙන් ද අර්ථ නිරූපණය කළ හැකිය. එවැනි පිරිසකට රු.1550 ත් 2500 අතර මාසික සහනාධාර මුදලකට තම ජීවන වියදම උපයා ගන්නට ඇති දිනවලින් එක දෙකක් කැප කිරීමට සිදු වීම යනු ද ගැටලුවකි. තුන්දෙනෙකුට වැඩි පවුලකට හිමිවන රුපියල් 3500 යනු වර්තමානයේ සාමාන්‍ය කම්කරුවෙකුගේ දෛනික කුලියට තරමක් වැඩි මුදලකි. සමෘද්ධි රැස්වීම් ආදියට අමතරව දේශපාලන රැස්වීම් ආදියට සහභාගි වීමට ද සිදුවූවිට සමෘද්ධි සහනාධාරයෙන් දුප්පතාට ලැබෙන සහනයක්ඇත්තේ නැති තරම්ය.
අපේ මූලික කරුණට නැවත ගියහොත් , දැන් යහපාලන ආණ්ඩුව ද අලුතෙන් පවුල් ලක්ෂයකට සමෘද්ධි සහනාධාර ලබා දීමට සැරසේ. මෙතෙක් පැවැති සියළු ආණ්ඩු විසින් සිදුකරනු ලැබ ඇත්තේ සමෘද්ධි සහනාධාරයේ ප්‍රමාණය වැඩි කිරීම සහ සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමය. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ අරමුණ පුද්ගලයා, පවුල, කණ්ඩායම සහ ප්‍රජාව කේන්ද්‍ර කරගත් ජීවනෝපාය ආර්ථික සංවර්ධන ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය තුළින් දිළිඳු බව තුරන් කිරීම සහ සමාජ සාධාරණත්වය සහතික කිරීමට නම් එම අරමුණ ඉටු වී නැති බව කීමට හොඳම සාක්ෂිය අලුතින් සමෘද්ධිලාභීන් එකතු කිරීමට ආණ්ඩුවලට සිදු වීමයි. එසේම සමෘද්ධි සහනාධාර මුදල් වැඩි කරන බවට සෑම මැතිවරණයකදීම පාහේ අසන්නට ලැබීමයි.
මෙවර අලූතින් එකතු කෙරෙන සමෘද්ධිලාභීන් තෝරා ගනු ලැබ ඇත්තේ සංගණනයෙන් තෝරාගත් ලේඛනය නොතකා දේශපාලන වුවමනාව සහ දේශපාලන හිතවත්කම් අනුව බවටද චෝදනා නැගේ. ඇත්ත වශයෙන් කියන්නේ නම් ඉතිහාසය පුරාම සහනාධාරය ලබාදීම කෙරෙහි බලපෑ මිනුම් දණ්ඩ වූයේ දිළිඳු කමටත් වඩා පවතින ආණ්ඩුවට ඇති දේශපාලන හිතවත්කමයි.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ එජාප පාක්ෂිකයන්ට පසුගිය කාලයේ සමෘද්ධි සහනාධාර නොලැබුණු බැවින් මෙවර එක්සත් ජාතික පාක්ෂිකයන්ට සමෘද්ධි සහනාධාරය ලබාදෙන බවය. දේශපාලන වශයෙන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ ප්‍රකාශය සාධාරණ විය හැකි වුවද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ අරමුණ හෝ දිළිඳුකම පිටුදැකීමේ සංකල්පය සමඟ හෝ යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ අරමුණ සමඟ හෝ එම ප්‍රකාශය ගැළපෙන්නේ නැත.
ඊළඟ කාරණය අලුතෙන් සමෘද්ධි සහනාධාරය ලබා දීමේ වැඩසටහන් වෙනුවෙන් වැය කෙරෙන බව පැවසෙන ධනස්කන්ධය යි. පවුල් ලක්ෂ හයකට සමෘද්ධි සහනාධාරය ලබා දීමේ උත්සවය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 300 ක් බව කියැවේ. ආණ්ඩුව එතරම් විශාල මුදලක් උත්සවයක් වෙනුවෙන් වැය කරන්නේ සමෘද්ධි සහනාධාර ලබන පවුල් 68100 කගේ නිවෙස්වලට වැසිකිලි නොමැති බව 2017 දී කල සංගණනයකින් හෙළිවී තිබියදීය.
පවුල් 68100 ක් වැසිකිලි නොමැතිව සිටියදී සමෘද්ධි පවුල් වල සහනාධාර මුදලින් මාසිකව රුපියල් 100 බැගින් බැර කර ගොඩනැඟුණු සමාජ ආරක්ෂණ අරමුදලෙන් මිලියන 300 ක් වැයකර උත්සව පැවැත්වීම ගැලපෙන්නේ දිළිඳුකම පිටුදැකීමේ කවර මූලධර්මයට ද කවර යහපාලන මූලධර්මයට ද යහපාලන ආණ්ඩුව බලයට ඒමට පෙර කතා කළ දූෂණය නාස්තිය පිටු දැකීමේ කවර සංකල්පයට ද යන්න ආණ්ඩුව වහාම තේරුම් කළ යුතුය.
මෙවැනි වැඩසටහන් හේතුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් මඳකට සතුටු කළ හැකි වුවත් පසුගිය මැතිවරණයේදී යහපාලන අපේක්ෂා පෙරදැරිව ආණ්ඩුවට සහය දුන් මධ්‍යස්ථ මතධාරීන් සතුටු කළ නොහැකි බව ද ආණ්ඩුව තේරුම් ගතයුතුය.
