පෙරැළියකට ලෑස්තිද ? – සී ජේ අමරතුංග

ලබන මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනයට අදාළ වියදම් ඇස්තමේන්තු පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. එමගින් පැහැදිලිව පෙන්නුම්කොට තිබුණේ රජයේ ආදායම් හා වියදම් අතර විශාල පරතරයක් පවතින බවය. රජයේ ආදායම එදිනෙදා වියදම් පියවාගැනීමට පවා ප‍්‍රමාණවත් නැති බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. දේශීය හා විදේශීය ණයගැනීම මෙය පියවා ගැනීමට ඇති කෙටිකාලීන විසඳුමයි. එසේ වුවද දිගුකාලීනව එය කිරීම යනු රට තව තවත් අගාධයට ගමන් කිරීමකි. එබැවින් රජයේ හා රටේ ආදායම් ඉහළ නංවාගැනීමේ ක‍්‍රමවේද අවශ්‍යය. අයවැය ඇස්තමේන්තු මගින් අපට පැහැදිලිව පෙනීයන යථාර්ථය එයයි. ඒ ගැන කිසිදු විවාදයක් ද තිබිය නොහැකිය.

මේ අතර රජය මගින් පත්කරන ආයතනයක් වුවද ස්වාධීන බුද්ධි මණ්ඩලයක් ලෙස ක‍්‍රියාත්මක වීම අපේක්ෂා කරන ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය තමන්ගේ වාර්තාවෙන් ඉදිරිපත් කොට තිබේ.

ප්‍රතිසංස්කරණ නැත්නම් විනාශය

දිගු වාර්තාවක් වන එහි සම්පූර්ණ තොරතුරු දැනගන්නට නැතත් එක් ප‍්‍රධාන ආර්ථික විද්‍යාඥයකු කියා තිබුණේ එහි තිබෙන්නේ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කරන, නැතහොත් විනාශවෙනු යන පණිවිඩය බවය.  එහි තේරුම නම් දැනට රට ගමන්කරන මාවතෙහි වෙනස් මඟක් ගෙන ආර්ථිකයේ ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක නොකළහොත් විනාශය නියත බවයි. මේ කතාව කියන ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ප‍්‍රධානියා වන්නේ ආචාර්ය සමන් කැලේගම මහතාය. ඉහළම පෙළේ විද්වත්හු ගණනාවක් එයට සම්බන්ධව සිටිති.

වාර්ෂිකව අයවැය ලේඛනයක දී සාමාන්‍ය ජනයා අපේක්ෂා කරන්නේ තම ජීවන තත්ත්වය යහපත් කරන යම් ආකාර සහන ලබාදීමයි. පසුගිය අයවැය ලේඛනයෙන් එබඳු සහන ගණනාවක් ලබාදීමට කටයුතු කෙරිණි. රජයේ සේවක වැටුප් වැඩිකිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකිරීම, ඉන්ධන ගාස්තු ප‍්‍රවාහන ගාස්තු අඩුකිරීම, සමෘද්ධි සහන වැඩිකිරීම, පෝෂණ මලූ බෙදාදීම ආදී මෙකී නොකී සහන එමගින් ලබාදී තිබිණි. ඒවා කළේ ධනපතියන් යැයි කියන ව්‍යාපාරික ප‍්‍රජාවට බදු පනවමිනි. මන්දිර බද්ද, සුපිරි ආදායම් බද්ද ආදිය ඒ සඳහා ක‍්‍රියාත්මක කෙරිණ. එසේ වුවද ආර්ථිකය ශක්තිමත් කරමින් කල්පවතින ලෙස ආදායම් වැඩි කර ගැනීමේ ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක වූයේ නැත.

ලංකාව ගැන ලී ක්වාන් යු කී දේ

මෙය ඇත්ත වශයෙන්ම අතීතයේ සිටම අප රටේ දකින්නට ලැබුණු තත්ත්වයකි. සිංගප්පූරුව ගොඩනැගූ සුප‍්‍රකට නායක ලී ක්වාන් යූ මෙම තත්ත්වය ගැන කීවේ ‘‘ශ්‍රී ලංකාවේ ප‍්‍රාජාතන්ත‍්‍රවාදය යනු නැති සම්පත් වෙන්දේසි කිරීමක් බවයි. ඒ කියන්නේ අප බොහෝ දේ පරිභෝජනය කරන්නට හදන්නේ ඒ සඳහා අවශ්‍ය සම්පත් අපසතුව නොමැතිව තිබියදීය. එමෙන්ම සම්පත් රැුස්කරගැනීමේ සැබෑ උත්සාහයක් ද නැත. එබඳු රටක් සෞභාග්‍යය උදාකරගත්තේ නැත. එම ගමනින් හැමදාම සිදුවන්නේ ගාට ගාටා ඉදිරියට යාමකි. මේ රටේ සිදුවෙමින් තිබෙන්නේ එබඳු ක‍්‍රියාවලියක් බව බොහෝ ආර්ථික විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියන්නේ අපගේ අයවැය ලේඛනය ප‍්‍රීති උත්සවයක් බඳු බවය. ඉන්පසුව ඇතිවන අයවැය හිඟය හා ගෙවුම් ශේෂ අර්බුදය යනු ප‍්‍රීති උත්සවයේ මත්පැන් බී ඇතිකරගන්නා වින්නැහියක් බව ඒ මහතා කියයි. මෙබඳු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් පවත්වාගෙන යාම ගැන ජනතාව ද වගකිවයුතු බව ඒ මහතා කියන කතාවයි.

මෙය රටේ ආර්ථිකය පිළිබඳවත්, අයවැය ලේඛනය පිළිබඳවත් පවතින ආකල්ප පිළිබඳ ප‍්‍රශ්නයකි. ඇතැමුන් සිතන්නේ රජය යනු අසීමිත සම්පත් ඇති ආයතනයක් බව හා එමගින් රටේ සියලූ අංශවලට සහන දෙමින් නඩත්තු කළයුතු බවත් යැයි පෙනෙන්නට තිබේ. ඇතැම් රාජ්‍ය ආයතන දිගින් දිගට නඩත්තු කිරීම සඳහා ධනය යෙදිය යුතුය යන ආකල්පය පැනනඟින්නේ ඉහත කී සිතුවිලි නිසා බව පෙනෙන්නට තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයට දරාගත නොහැකි තරමට සේවකයන් සිටින බව හෙළිදරවු කළේ වත්මන ප‍්‍රවාහන අමාත්‍යවරයාමය. දැන් කතා කරන්නේ අමතර සේවකයන් ඉවත්කොට මෙම ආයතනය පාඩු ලැබීම වළක්වාගැනීම පිළිබඳවය.

ඒ අතර ලංකා වෘත්තිය සමිති නායකයකු පසුගියදා ප‍්‍රකාශ කොට තිබුණේ මෙය සේවා ආයතනයක් බවත් අධ්‍යාපනයට, සෞඛ්‍යයට මෙන්ම ලංගමයටත් ජාතික අයxවැයෙන් මුදල් වෙන්කොට පවත්වාගෙන යා යුතු බවත්ය.

මහජන මුදලින් සුදුඅලි නඩත්තුව

ලංගමය කරන සේවයම නැතත් පෞද්ගලික බස් රථ කරන්නේ ද එයට සමාන කර්තව්‍යයකි. ඔවුන් අය කරන්නේ ද ලංගමය අයකරන ගාස්තුවයි. එමෙන්ම බස් රථ ගත් මුදල, බැංකුවල කල්බදු, මාර්ග බලපත‍්‍ර ගාස්තු ආදී සියල්ල ගෙවා ආදායම් ලබා රජයට බදු ගෙවීමට ද පෞද්ගලික බස් රථ හිමියාට හැකියාව ඇත. ලංගමයට බස් රථ ආණ්ඩුවෙනි. වෙනත් බදු බලපත‍්‍ර ගාස්තු ආදිය නැත. පාසල් සේවා ආදිය  සැපයුව ද එම බස්රථ හිස්ව දුවන්නේ නැත. එයින්ද යම් ආදායමක් ලැබේ. ඒ සියල්ල තිබියදී පාඩු ලබා රජයෙන් නඩත්තු කළ යුතු යැයි කියන්නේ රජයට අසීමිත සම්පත් ඇතැයි සිතා විය යුතුය. එම මුදල් මහජන මුදල් බවත්, තවත් තැනකින් අය කරගත යුතු බවත් සිතන්නේ නම් මෙසේ කීමට ඉඩක් නැත.

රජයේ ආයතන බොහොමයක් සම්බන්ධයෙන් තත්ත්වය මෙයට සමානය. විශාල ඵලදායිතාවක් නැතත් මහජන මුදලින් නඩත්තු කිරීම විශාල ප‍්‍රගතිශීලී කාර්යයක් බව තවමත් සමහරු සිතති. අපි රජයේ ආයතන පෞද්ගලිකකරණය කරන්නේ නෑයි පසුගිය රජයේ නායකයන් උජාරුවෙන් කීවේ මහජනයාගේ මෙම ආකල්පය නිසා විය යුතුය.

ලංකා සළුසල වැනි ආයතන සම්බන්ධයෙන් හෙළිදරවු වන තොරතුරු මෙම ප‍්‍රශ්න බරපතළ ලෙස මතුකරයි. එම ආයතනයේ මේ වනවිට මාසික ආදායම ලක්‍ෂ දොළහක් පමණකි. මසක වියදම ලක්‍ෂ අනූවකි. පාඩුව මසකට ලක්‍ෂ හැත්තෑ අටකි. ආයතනයේ වැඩ නැති නිසා ඇතැම් සේවකයන් සිටින්නේ නිවෙස්වලය. ඔවුනට වැටුප නිවෙසටම ලබාදීම සිදුවෙයි. එහි එතරම් වරදක් නැත. ආයතනයට තුමක් වුවත් සේවකයන් අනාථවීමට ඉඩ නොදිය යුතුය. එමෙන්ම සේවක පිරිසක් සිටින නිසා පමණක් ආයතනයක් පවත්වාගෙන යා යුතු ද නැත. මෙවැනි ආයතනවල සේවකයන්ට ජීවිත කාලයට සරිලන වන්දියක් ගෙවා ආයතනය වසා දැමුව ද එය රටට යහපතකි.

ලංකා සිමෙන්ති සමාගම තවත් එවැනි ආයතනයකි. එයට අයිතිව තිබූ කන්කසන්තුරේ කර්මාන්ත ශාලාව අද නැත. එය දැන් අධි ආරක්‍ෂිත කලාපයකි. එසේ වුවද ආයතනය පවත්වාගෙන යන්නේ රජය වියදම් දරමිනි.

මෙබඳු ආයතන රාශියක් ඇති බව කියති. ඇතැම් ආයතන තිබෙන බවත්වත් මහජනයා දන්නේ නැත. ඒ සියල්ලේ නඩත්තුවට වැයවන්නේ මහජන ධනයයි.

ශ්‍රී ලංකන් එයාර් සමාගම එමිරේස්ට් මගින් පවත්වාගෙන යද්දී රජයට ආදායමක් ද ලැබිණි. ඒත් ඒමිරේට්ස් සමාගම ලබන ලාභය ගැනත්, රාජ්‍ය නායකයන්ට හිතෙන හිතෙන දේ නොකිරීම ගැනත් කාටදෝ රුදාවක් තිබිණි. එය රජයට ගෙන මිහින් ලංකාවක් ද එල්ලා දෙකෙන්ම ලබන්නේ සුපිරි අලාභයකි. වසරක අලාභය බිලියන පහළොවක්, විස්සක් තරම්ය. දැන් මේවා පවත්වාගෙන යන්නේ සුදු අලි වශයෙනි.
වත්මන් රජය ද මේවා පෞද්ගලිකකරණය ගැන නම් කතා කරන්නටවත් සූදානම් නැත. එයට හේතුව එසේ කිරීම හෝ සිතීම ද ප‍්‍රතිගාමී ලෙස අර්ථ දැක්වීමට ඇති බියවිය හැකිය. එසේ වුවද දැන් රටට අවශ්‍යව තිබෙන්නේ මේවා ගැන කෙළින් කතාකරමින් ක‍්‍රියාකරන කොඳු ඇට ඇති නායකත්වයකි. එසේ නැත්නම් අප රටට ගොඩයෑමක් නැති බව මෙම ප‍්‍රශ්න ගැන කතාකරන බොහෝ විද්වතුන්ගේ මතයයි. එසේ වුවද එම ඇත්ත රටේ සාමාන්‍ය ජනයාට කියාදෙන්නට කිසිවකු සූදානම් බවත් පෙනෙන්නට නැත.

මුල් බැසගත් මිත්‍යා

මෙබඳු මුල් බැසගත් මිත්‍යා  රාශියක් අප සමාජයේ පවතියි. දේශපාලනඥයන් බොහෝවිට කරන්නේ ඒවාට අභියෝග නොකරමින් හැකිතාක් දුරට ඒ අදහස් නඩත්තු කරමින් ඒ අනුව තමන්ගේ දේශපාලන ව්‍යාපෘති කි‍්‍රයාවට නැඟීමයි. එවිට එම දේශපාලනඥයන් තාවකාලිකව ජනප‍්‍රිය විය හැකි නමුත් අවසානයේ රටේ ආර්ථිකය යන්නේ් වළපල්ලටය.

එබඳු තවත් මිථ්‍යා මතයක් ගැන පසුගියදා එක් ආර්ථික විද්‍යාඥයකු පෙන්වාදුන් බව වාර්තා විය. එය නම් අපනයන හොඳයි ආනයන නරකයි යන ආකල්පයයි. මෙය තරමක් විවාදාත්මක විය හැකි කතාවකි. බොහෝ ආර්ථික විද්‍යාඥයන් පවා නිතර කතා කරන්නේ අපනයන ඉහළ නැංවීම හා ආනයනය සීමා කරගැනීම පිළිබඳවය. රටක ගෙවුම් ශේෂය තුලනය වන්නේ එවිටය. එසේ වුවද ආනයනවලට එරෙහිව තිබෙන මතය ඇතැම් ආර්ථික විද්‍යාඥයන්ගේ විවේචනයට ලක්වූවකි.

ආනයන සීමාකිරීම හා තහනම් කිරීම කලෙකට ඉහත පිළිගත් ආර්ථික ක‍්‍රියාමාර්ගයකි. එකල කීවේ සියරට දේ සිරිසැපදේ යනුවෙනි. එය ජාතික නිදහස් සටනේ ද සටන් පාඨයක් විය. ඉන්දියාවේ මහත්මා ගාන්ධි එම අදහස වෙනුවෙන් පෙනීසිටියෙකි. එකල එහි අරමුණ වූයේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමයි. එම අදහස් සමාජයේ මුල්බැස ගැනීමට ජාතිකවාදී ආකල්ප දැඩිව බලපෑවේය.

ආනයන නරකයි යන්න මිථ්‍යාවකි

බොහෝදෙනා තවමත් කියන්නේ රටේ නිෂ්පාදනය කළ හැකි කිසියම් භාණ්ඩයක් පිටරටින් ආනයනය කිරීම අතිශයින් බරපතළ වරදක් බවය. එය ප‍්‍රතිගාමී ක‍්‍රියාවක් බවය. එසේ වුවද ආර්ථික විද්‍යාඥයන් කියන්නේ ආනයන සීමාකිරීම රටේ කාර්යක්‍ෂමතාව වර්ධනයට බාධාවක් බවයි. එමගින් ආකාර්යක්ෂම නිෂ්පාදන අංශ නඩත්තු කිරීමෙන් රටට යහපතක් වන බවය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිව්ටන් ගුරුසිංහයන් නවසිය අසූ හතේ මුල දී කළ අධ්‍යයනයකින් ද මෙම අදහස් තහවුරු විය. එකල වාමාංශිකයන් එවකට පැවැති එජාප ආණ්ඩුවට දෙහි කැපුවේ ආර්ථිකය විවෘත කිරීම ගැනය. එවිට ගිනිපෙට්ටියේ සිට සියලූ දේ ආනයනය කිරීම සිදුවිය. ගිනිපෙට්ටි ආනයනය කළේ ‘‘සමාජවාදී’’ චීනයෙනි. එය එකල පැවැති මෙරට ගිනිපෙට්ටි කර්මාන්තයට බලවත් පහරක් විය.
නිව්ටන් ගුරුසිංහ මහතා අධ්‍යයනයට තෝරාගත්තේ ද මෙම ගිනිපෙට්ටි කර්මාන්තයයි. එවකට ශ්‍රී ලංකාවේ නිපදවූ ගිනිපෙට්ටි තත්ත්වයෙන් ඉතාම බාලවිය. ලාම්පුවක් පත්තුකර ගැනීමට ගිනිකූරු හත අටක් අපතේ යැවීමට සිදුවිය. එම ගිනිපෙට්ටි කර්මාන්තය කාර්යක්‍ෂම හා ඵලදායී කර්මාන්තයක් බවට පත්වූයේ චීන ගිනිපෙට්ටි හා තරග කිරීමෙනි. ඉන්පසුව අපට චීන ගිනිපෙට්ටි අවශ්‍ය වූයේ නැත.

ටයර් කර්මාන්තය සම්බන්ධයෙන් ද තත්ත්වය ඊට සමානය. අපට ටයර් හැදුවේ ටයර් සංස්ථාවෙනි. විදේශීය ටයර් වෙළෙඳපොළට එනවිට අපගේ ටයර් කර්මාන්තය රැුකගත්තේ විදේශීය ටයර් සඳහා සියයට හය සියයක පමණ බද්දක් ක‍්‍රියාත්මක කරමිනි. පසුව ටයර් සංස්ථාව ද පෞද්ගලිකකරණය කෙරිණි. දැන් ටයර් සංස්ථාව වෙනුවට ඇත්තේ පෞද්ගලික සමාගම් ගණනාවකි. තරගකාරී ලෙස ටයර් නිෂ්පාදනයට එම සමාගම්වලට හැකියාව ලැබී ඇත. එපමණක් නොවේ. ලොව ඉහළම ප‍්‍රමිතියෙන් යුතු ගුවන් යානා ටයර් නිපදවන්නේ ද ශ්‍රී ලංකාවේය. මෙය ද ආනයනවල තරගකාරීත්වයට මුහුණදී ඇත්තේ දේශීය කර්මාන්ත ශක්තිමත් හා කාර්යක්‍ෂම ලෙස නැඟීසිටීමට උදාහරණයකි.

විදේශීය රෙදිපිළි මෙරට වෙළඳපොළට පැමිණීමත් සමඟ දේශීය රෙදිපිළි කර්මාන්තය බරපතළ ලෙස පසුබෑමට ලක්විය. විශේෂයෙන්ම විනාශයට ලක්වූයේ අත්කම් රෙදිපිළි කර්මාන්තයය. එසේ වුවද පසුකාලීනව අපට විදේශීය වෙළෙඳපොළට හොඳම නිමි ඇඳුම් සපයන රටක් බවට පත්වීමට හැකියාව ලැබිණි. අදටත් අපගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය එයයි. අප තේරුම් ගතයුතු ආර්ථික පාඩම ඇත්තේ මෙතැනය.

මාළු කෑමේ පාඩම

රට වටේම මුහුද තිබියදී රටින්වත් මාළු ගෙනඒම පිළිබඳව මැසිවිල්ලක් අපට අසන්නට ලැබේ. පිටරටින් එන ලාභ ටින් මාළු අපගේ ගමේ සාමාන්‍ය ජනයාගේ ප්‍රෝටීන් අවශ්‍යතාව ලබාදෙන අතර අපගේ මත්ස්‍ය නිෂ්පාදන ඉහළ මිලට යුරෝපීය වෙළෙඳපොළට යන බව බොහෝදෙනා නොදන්නා කතාවක් වියහැකිය. ටින් මාළු ආනයනයට යන වියදමට වඩා අතිවිශාල ආදායමක් මාළු අපනයනයෙන් අපට උපයාගත හැකිව තිබේ. ටින් මාළු ආනයනය නතර කළහොත් අපනයනයට යන මාළු යම් ප‍්‍රමාණයක් දේශීය වෙළෙඳපොළට පැමිණීමෙන් අපනයන ආදායම අඩුවන බව ඒ පිළිබඳව අධ්‍යයනයන්ගෙන් හෙළිවන කතාවයි. ආනයන හා අපනයන අතර සබඳතාව තිබෙන්නේ ඒ ආකාරයෙනි.

එසේ වුවද මෙම ඇතැම් මතවලින්වත් ආණ්ඩුව ද බැඳීසිටින බව පෙනෙන්නට තිබේ. පසුගිය කාලයේ කීවේ මෙරට වගාකළ හැකි දෑ පිටරටින් ගෙන්වීම වසර කීපයක් තුළ සීමාකිරීමට කටයුතු කරන බවයි. මෙවර අයxවැය ලේඛනය ගැන කළ කතාවක දී මුදල් ඇමැතිතුමා ද එබඳුම අදහසක් ප‍්‍රකාශකොට තිබිණි. යම් කිසි විධිමත් අධ්‍යාපනයක ප‍්‍රතිඵලයක් ලෙස කෘෂිකර්මාන්තයේ දිරිමත් කිරීමකට අවශ්‍ය පියවර ගත්තේනම් එහි වරදක් නැත. එසේ නොමැතිව ජනප‍්‍රිය මතවාදයට යටවී අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ නොකර හරින්නේ නම් එය රටට අත්කර දෙනු ඇත්තේ විනාශයකි.

ආණ්ඩුවට දැක්මක් නැත්ද?

මෙලෙස අද මෙරටට අවශ්‍ය වන්නේ දුරදිග බලා ක‍්‍රියාත්මක කරන යථාර්ථවාදී ආර්ථික වැඩපිළිවෙළකි. ජනප‍්‍රිය මිථ්‍යා සමඟ සමාදානවෙමින් ආර්ථික ප‍්‍රතිසංස්කරණ නොකර හරින්නේ නම් හෝ කල්දමන්නේ නම් එමගින් සැබෑ සංවර්ධනයක්් අත්පත් කරගත හැකිවනු ඇති බව සිතිය නොහැකිය.

ඉදිරි අයවැය ලේඛනය විප්ලවකාරී එකක් වන බව මුදල් ඇමැතිවරයා කියා ඇත. එයින් හරියටම අදහස් කළේ කුමක්ද යන්න පැහැදිලි නැතත් සිතාගත හැකිවන්නේ යම් වෙනසක් කිරීමට සූදානම් බවයි. එසේ වුවද අයxවැය ගැන මෙන්ම රටේ අනාගත සංවර්ධනය පිළිබඳව ද අදහස් හා විවේචන ඉදිරිපත්වෙමින් සාකච්ඡුාවට නැගෙන මේ මොහොතේදීත් මෙම ප‍්‍රශ්න පිළිබඳ ආණ්ඩුවේ දැක්මක් හෝ ස්ථාවරයක් ගැන කිසිවක් පැහැදිලි නැත. කොටස් වෙළෙඳපොළේ ක‍්‍රියාත්මක සමාගම් ද ප‍්‍රකාශකොට තිබුණේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය හරියටම පැහැදිලි නැති බවයි. එය කොටස් වෙළෙඳපොළේ වර්ධනයට ද බාධාවක් බවට චෝදනා නැගී තිබිණි. වත්මන් ආණ්ඩුවේ පළමුවන අයxවැය වන මෙමගින් රටේ අනාගත ගමන් මඟ පිළිබඳ තීරණාත්මක වෙනසක් කළ හැකිය. ඒ සඳහා ගැඹුරු ආර්ථික ප‍්‍රතිසංස්කරණ හඳුන්වාදිය යුතු බව ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි. ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය ද කියාඇත්තේ එයයි.

එසේ වුවද දැන් ප‍්‍රශ්නය තිබෙන්නේ ඒ සඳහා වන මුලපිරුම ගැනීමට අවශ්‍ය දැක්ම හා අධිෂ්ඨානය ආණ්ඩුව සතු ද යන්නය. ජනප‍්‍රිය මතවාද පිනවන්නට ගොස් රට තවදුරටත් විනාශයට ඇදගෙන යනවාද? නැතහොත් යථාර්ථයට මුහුණ දී ගැඹුරු ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වනවා ද යන්න ගැන ආණ්ඩුව පැහැදිලි තීරණයක් ගතයුතුව ඇත. ඵලදායී හා විප්ලවකාරී අයxවැයක් මගින් රට සෞභාග්‍යයේ මාවතට අවතීර්ණ කිරීම තීරණය වන්නේ ආණ්ඩුව මේ මොහොතේ ගන්නා ස්ථාවරයෙනි.

සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *