සටන නිවැරදි තැනට ගෙන යමු – සිරිසේන රාජපක්ෂ
පසුගිය ඉරිදා පුවත් පතකට අතුරුලියේ රතන කියා තිබුණේ මුස්ලිම් නායකයන් ජාතිවාදය බිස්නස් එකක් කරගෙන කියාය. ඊට හේතු වශයෙන් ප්‍රකාශ කර තිබුණේ, ” වංචා දූෂණ කර ඇතැයි කියන ත්රස්තවාදයට උදව් කළා යයි කියන දෙතුන් දෙනෙකුට කරන චෝදනා නිසා සමස්ත මුස්ලිම් දේශපාලනඥයන්ට තනතුරු අත්හරින්න හේතුවක් නොවේ කියාය. ”
අතුරුලියේ රතන අනුව යමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂද කියා තිබුණේ කබීර් ,හකීම්, ෆවුසි ද දැන් ඉන්නේ ත්‍රස්තවාදී ගොඩේ කියාය.
ඒ අතරතුර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් තවත් පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් මෙසේය. ”පාස්කු ඉරිදා බෝම්බය පිපිරුනේ මුස්ලිම් ජනතාවගේ වරදින් නොවෙයි. ආරක්ෂක අංශවලට වලට තොරතුරු ලැබුණා බෝම්බ ප්‍රහාරයක් ගැන ආගමික නායකයෝ මේ අන්තවාදීන් ගැන තොරතුරු ලබා දීලා තිබුනා. විදේශීය ඔත්තු සේවා තොරතුරු දීලා තිබුනා. ඒ තොරතුරු මේ රටේ ආරක්ෂාව ගැන තීන්දු තීරණ ගන්න තැන දී කතා කළේ නැහැ. දේශපාලන නායකත්වයෙන් මෙය මගහැරිලා තියෙනවා. ඒ හින්දා තමයි ඔය බෝම්බය පිපිරුණේ. මේ රටේ සිංහල – මුස්ලිම් ජනතාව අතර ගැටුම් හදන්න බලාගෙන හිටපු කණ්ඩායමක් හිටියා. ඒ හරහා තමයි අලුත්ගම ,දිගන වැනි ප්‍රදේශවල ඉතා සංවිධානාත්මකව මේ සිදුවීම් ඇති වුණේ. ඒ කණ්ඩායමට බෝම්බයක් සමග අවස්ථාව ලැබුණා සිංහල මුස්ලිම් ජනතාව අතර වෛරය වපුරලා ගැටුමක් නිර්මාණය කරන්න. ඒ අනුව තමයි කුරුණෑගල, මිනුවන්ගොඩ, නාත්තන්ඩිය වැනි ප්‍රදේශවල කලබල ඇති කරලා මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කළේ. විපක්ෂයේ දේශපාලන නායකයෝ දිගින් දිගටම මේ කාරණා වලදී මුස්ලිම් සමාජයට ඇඟිල්ල දිගු කෙරුවා. සමස්ත මුස්ලිම් ජනතාවටම ඒ වගකීම පැවරුවා. ඊළඟට රතන ස්වාමීන්වහන්සේ පටන් ගත්ත උපවාසය උඩ ඉඳගෙන මුළු රටපුරාම යළි කළු ජූලියක් ඇති කරන්න උත්සාහ කළා. ආණ්ඩුව මැදිහත් වෙන්නෙත් නැහැ මේක නවත්තන්න. ආරක්ෂක ඇමැති ලෙස ජනාධිපතිතුමා මැදිහත් වෙන්නෙත් නෑ මේක නවත්තන්න. මේ නිසා සමස්ත මුස්ලිම් ජනතාවම මේ තත්ත්වය උඩ අසරණ වෙලා හිටියෙ. ඒ නිසා පක්ෂ භේදයෙන් තොරව මුස්ලිම් මැති ඇමතිවරු තීරණයක් ගත්තා තනතුරුවලින් ඉල්ලා අස්වෙලා සාධාරණ පරීක්ෂණයක් කරන්න ඉඩ දෙන්න. ”
අතුරලියේ රතන, විජයදාස රාජපක්ෂ ආදීන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වුවද ඔවුන් සහ විමල් වීරවංශ, එස්. බී දිසානායක, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල වැන්නන් අතර මේ වන විට වෙනසක් ඇත්තේ නැත. චම්පික රණවක වැන්නන් ද රතන දර්ශනයට සහ ක්‍රියාමාර්ග වලට වක්‍රව අනුමැතිය සහ සහයෝගය දෙමින් සිටින බව පෙනේ. ඔහු ද දිගින් දිගටම කියමින් සිටියේ රිෂාඩ් බදීයුදීන් ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි.
ගැටලුව වන්නේ මෙසේ මුස්ලිම් ඇමතිවරයෙකුට සහ ආණ්ඩුකාරවරු දෙදෙනෙකුට එරෙහිව චෝදනා එල්ල කරන කිසිවෙකු ඔවුනට විරුද්ධව නීතිය හමුවේ මෙතෙක් කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නොතිබීමය.
ඊළඟ කාරණය වන්නේ පොහොට්ටු පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ආදී අනෙකුත් පක්ෂවල නම් සමගද පාස්කු ප්‍රහාරය සම්බන්ධව යම් යම් අවස්ථා වලනම් පටලැවී ඇති නමුත් එම පක්ෂවල නායකයන්ට ඉල්ලා අස් වන බලපෑමක් එල්ල නොවීමයි. ඒ අනුව පැහැදිලි වන්නේ පාස්කු ප්‍රහාරය උපයෝගී කරගෙන මුස්ලිම් විරෝධයක් ඇති කිරීම ඔස්සේ ආණ්ඩුව අපහසුතාවයටතාවටත් අස්ථාවර බවටත් පත් කිරීමේ වෑයමක් පවතින බවයි.
අතුරලියේ රතන, ගලගොඩඅත්තේ ආදී ජාති මාමක, දේශ මාමක වෙසින් පෙනී සිටින්නන්ට සිංහල බෞද්ධ අන්තවාදය නොපෙනීම ඊළඟ කාරණයයි. කුරුණෑගල, ගම්පහ ආදී ප්‍රදේශවල මුස්ලිම් ජනතාව එල්ලකර කෙරුණු ප්‍රහාර සම්බන්ධයෙන්යෙන් ඔවුන් කිසිවිටෙකත් වචනයක් වත් කියන්නට සූදානම් නැත. ආණ්ඩුකාරවරුන්ට ඇමති ඇමතිවරයාට ඉල්ලා අස්වන්නට බල කරන විට ඔවුන්ට එරෙහිව කිසිදු පැමිණිල්ලක් පොලිස් පොත්වල තිබුණේ නැත. ඇමති පිරිස ඉල්ලා අස් වීමෙන් පසුව ඔවුනට විරුද්ධව පැමිණිලි කරන්නැයි ඉල්ලන පොලිසිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් නිහැඬියාව ද තේරුම් ගත නොහැකිය. කුරුණෑගල වෛද්‍යවරයා සම්බන්ධයෙන්ද සිදුවූ ක්‍රියාදාමය එයයි. වෛද්‍යවරයා සම්බන්ධව කෙසේ වෙතත් තමන්ගේ දේශපාලන සගයන් වෙනුවෙන් වත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටීමට එක්සත් ජාතික පක්ෂයට ආත්මශක්තියක් නොමැති වීම ජාතියේ අවාසනාවකි.
ඊළඟ කාරණය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව කලින් තොරතුරු හෙළි වී තිබූ බව හෙළිදරව් වෙමින් පැවතිමය. ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරයා වන රිෂාඩ් බදියුදීන් සහ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ සිටි ආණ්ඩුකාර වරුන් දෙදෙනාට පාස්කු ප්‍රහාරය සමඟ යම් සම්බන්ධතාවක් තිබුණා යැයි මොහොතකට පිළිගත්තා වුවද ප්‍රහාරය පිළිබඳව දැන දැනත් ඒ වළක්වා ගන්නට කටයුතු නොකළ තැනැත්තන්ට විරුද්ධව රතන හෝ ගලගොඩඅත්තේ හෝ විමල්, එස් .බි වැන්නවුන් හෝ වචනයක්වත් කතා කරන්නේ නැත. ප්‍රහාරයට උපකාර කිරීම වරදක් වන තරමට තොරතුරු ලැබී තිබියදී ප්‍රහාරය වලක්වා නොගැනීම ද වරදකි. ප්‍රහාරය වළක්වා නොගැනීමට සම්බන්ධ සාක්ෂි මේ වන විට හෙළිදරව් වී අවසන්ය. ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකකරන රිෂාඩ්ට, හිස්බුල්ලා ට, අසාද් සාලිට පෙර ප්‍රහාරය වළක්වා නොගත් තැනැත්තන්ට ඉල්ලා අස්වන්නට බල කළ යුතුව තිබුණ ද අතුරලියේත්, ගලගොඩඅත්තෙත් එය අමතක කරන්නේ කළගුණ සළකන්නට වන්නට පුළුවන.
මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස් වෙමින් කීවේ, ජාතිවාදී කෝලාහල ඇති වීම වැළැක්වීමට අදාළ චෝදනා විමර්ශනය කිරීමට පහසුකම් සැලසීමටත් තමන් ඉල්ලා අස්වන බව ය. මාසයක් තුළ පරීක්ෂණ අවසන් කරන ලෙසද ඔවූහු ඉල්ලීමක් කළහ. දැන් රතන, විජේදාස, විමල්, ගම්මන්පිල ආදීන් කළ යුත්තේ තමන් සතුව ඇති තොරතුරු හැකි ඉක්මනින් අදාළ අංශ වලට ඉදිරිපත් කිරීම මිස ඉල්ලා අස්වූ ඇමතිවරුන්ගේ ජාන වල ඇති ජාතිවාදය ගැන තැන තැන නන් දෙඩවිම නොවේ. රිෂාඩ් බදියුදින්ට විරුද්ධව චෝදනා මිටියක් තමා සතු බව රතන කියා තිබුණි. ඒවා තවමත් ඉදිරිපත් නොකරන්න හේතු මොනවාදැයි පැහැදිලි නැත. එම චෝදනා මිටිය ලැබුණේ මේ ප්‍රහාරයට පෙරද පසුවද යන්නත් පැහැදිලි නැත. චෝදනා මිටිය ලැබුණේ පාස්කු ප්‍රහාරයට පෙර නම් ඒවා මෙතෙක් සඟවාගෙන සිටීම සම්බන්ධව රතනගෙන් කට උත්තරයක් ගැනීමට පොලිසිය කටයුතු කළ යුතුය. අවම වශයෙන් ඔහු ඒවා තමා උපදේශක තනතුර දැරූ ජනාධිපතිවරයාටවත් නොදීම වරදකි.
ඇමතිවරුන් ඉල්ලා අස්වීමෙන් පසු ව ත්‍රෛනිකායික මහා නායකවරුන් පවසා තිබුණේ නැවත ඇමැති තනතුරු භාර ගන්නා ලෙසිනි. මුස්ලිම් ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවී ඇති අර්බුදයේ තරම වැටහී ඇති බව ඒ අනුව සිත්න්නට පුළුවන. සිදුවන දේ අනුව පෙනෙන්නේ මුස්ලිම් ඇමතිවරුනට උපදෙස් දෙන්නට ඉදිරිපත් වන තරමට ත්‍රෛනිකායික ප්‍රධානීන් බෞද්ධ අන්තවාදීන්ට හෝ අතිධාවනකාරී බෞද්ධ භික්ෂූන්ට උපදෙස් දීමට ඉදිරිපත් නොවන තත්ත්වයකි.
නිදසුනක් වශයෙන් කුරුණෑගල, ගම්පහ මුස්ලිම් ජනතාවට එල්ල වූ ප්‍රහාර වලට සම්බන්ධ වූවන් පිළිබඳ ත්‍රෛනිකායික ප්‍රධානීන්ගෙන් කිසිවක් මෙතෙක් ප්‍රකාශ වී නැත. අන්තවාදීන් කිහිපදෙනකුගේ ක්‍රියාවකට අහිංසක මුස්ලිම් ජනතාව ගෙන් පළි ගැනීම හෝ ඔවුනට පහර දීම, ඔවුන්ගේ දේපළ විනාශ කිරීම, බුද්ධාගම හෝ බෞද්ධ දර්ශනය සමග ගැලපෙන්නේ කෙසේදැයි සාමාන්‍ය බෞද්ධ ජනයාට වැටහෙන්නේ නැත. ත්‍රෛනිකායික ප්‍රධානීන් එම හැසිරීම බෞද්ධ ධර්මයට එකඟ වනවා යැයි පිළිගන්නවාද නැද්ද යන වග පැහැදිලි කළ යුතුයි.
ඊළඟ කාරණය ඉහතින් කී බෞද්ධ විරෝධී ක්‍රියා විවේචනය කළ මංගල,රාජිත වැන්නන්ට පන්සල් තහනම් කරන්නට ඇතැම් භික්ෂූන් දරන උත්සාහයයි. එම තහනමට මුල් වූ ගම්පහ පැත්තේ භික්ෂුවක් ළමා අපචාර කාරයෙක් බව ද කියනු ලැබේ. ළමා අපචාර කාරයන්ට සිවුරේ ඉන්නට ඉඩ දී ඉස්ලාම් ආගමිකයන් ට උපදෙස් දෙන්නට යනවාට වඩා බෞද්ධ විරෝධී බෞද්ධ ප්රතිරූපකයන් ගෙන් බුදු සසුන බේරා ගන්නට කටයුතු කිරීම වැදගත් බව මතක්කර දිය යුතුව තිබේ.
මංගල, රාජිත විරෝධයේ මූලිකත්වය ගෙන සිටින්නේ පොහොට්ටු නිකායට අයත් බව පැහැදිලි කරුණකි. මේ වන විට භික්ෂුව පක්ෂ පාට වශයෙන් බෙදන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. නිතර දෙවේලේ තමන්ගෙන් අනුශාසනා ගන්න පෝලිමේ එන දේශපාලකයන්ගෙන් පක්ෂ පාට අනුව භික්ෂුව භේද කරන්නට එපා යන ඉල්ලීමක් කරන්නට මහා නායකවරුන්ට නොහැක්කේ ඔවුන් ද පක්ෂ අනුව බෙදී සිටින නිසා විය යුතුය.
මෙතෙක් කලක් මෙරට කිතුනු සසුන පැවතියේ බුදු සසුනට වඩා ඉදිරිගාමී සහ ප්රගතිශීලී තැනක වුවද පාස්කු ප්‍රහාරයත් සමග කිතුනු සසුනේ එතෙක් පැවැති මානුෂික බව නැති වී ගිය බව පෙනේ. ඒ සඳහා එක් නිදර්ශනයක් වන්නේ කටුවාපිටිය ටත් , කොච්චිකඩේටත් යොමු වුනු කාදිනල්ගේ අවධානය මඩකලපුවේ දේවස්ථානයට හෝ එතන මියගිය පිරිස සඳහා යොමු නොවීමයි. හේතුව එම පිරිස වෙනත් නිකායක වීම බව කියන්නේ බෞද්ධයන් නොවන මැදහත් කිතුනුවන් ම ය.
ඊළඟ කාරණය කාදිනල් මහනුවරට ගොස් රතන ට අනුබල දීමය. පාස්කු ප්‍රහාරය සම්බන්ධව මුස්ලිම් ඇමතිවරයා හෝ ආණ්ඩුකාරවරුන් දෙදෙනා ගැන කිසිදු පැමිණිල්ලක් කාදිනල් වරයාගේ පැත්තෙන්ද මෙතෙක් පොලීසියට ඉදිරිපත් වී ඇති බවක් දැනගන්නට නැත. ඒ අනුව පෙනෙන්නේ කාදිනල් ද මේ වනවිට භික්ෂූන්ගේ මාර්ගයටම අවතීර්ණ වී ඇති බවය.
මේ තත්ත්වය වැඩි දියුණු වුවහොත් අනාගතයේ දී එජාප, ශ්‍රීලනිප, පොහොට්ටු වශයෙන් පන්සල් ද පල්ලිද බෙදී යනු ඇත. අපට ඒ ගැන එතරම් කණගාටුවක් නැතත් ඔවුන් ගෙනයන මේ වැඩසටහන නිසා රටේ ජාතික සමගිය නැතිවී රට විනාශය කරා යෑම ඉවසිය නොහැකිය.
මේ අතර ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගිය 7 වැනිදා අතිශය වැදගත් ඉල්ලීමක් පාර්ලිමේන්තුවේදී කර තිබුණි. එනම්, පාස්කු දින ප්‍රහාරය විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ය.
පසුගිය මැයි 01 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියේ දී ජනාධිපති වරයා ඉහත කමිටුවේ අන්තර්කාලීන වාර්තාවක් තමාට ලැබුණ බව ප්‍රකාශ කළ බවද , මැයි මස මුලදී ජනාධිපති මාධ්‍ය ඒකකය එම විශේෂ විමර්ශන කමිටුව හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු පොලිස්පතිවරයා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ගණනාවකගේ ප්‍රකාශ සටහන් කරගෙන අවසන් කර ඇති බවද පැවසූ බවද ජවිපෙ නායකයා පෙන්වා දී තිබුණි. ප්‍රහාරය පිලිබඳ විමර්ශනයට පත් කර ඇති පාර්ලිමේන්තු කමිටුවටද විවේචන එල්ල වන බැවින් අදාල ජනාධිපති කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මගින් ගැටලුව බොහෝ දුරට සමනය කරගත හැකිවනු ඇත. එහෙයින් මුස්ලිම් ඇමැතිවරුන් විරෝධය පාන සියල්ලන්ම දැන් කටයුතු කළ යුත්තේ ජනාධිපති කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවා ගැනීමටය.
