අනුර සහ සජිත් එයි. ගෝඨාට මහජන වේදිකා බිය !- නාවේ අපේක්ෂකත්වය ශුවර් නැති නිසා – ඩලස්

මාර්තු 12 ව්‍යාපාරය සහ ඒප්‍රියල් තරුණ සංවිධානය විසින් සංවිධානය කරන, 2019 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනා එකම වේදිකාවකට ගොනු කරන ‘මහජන වේදිකාව’ මේ වනවිට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

එහි පළමු සාකච්ඡා වාරය විකල්ප ‍අපේක්ෂකයන් වෙනුවෙන් වෙන් කළ අතර දෙවැනි සාකච්ඡා වාරය ප්‍රධාන අපේක්ෂකයන් වෙනුවෙන් වෙන්කර තිබේ. ඒ අනුව මේ වනවිට දෙවැනි සාකච්ඡා වාරය පැවැත්වේ.

දෙවැනි සාකච්ඡ වාරය සඳහා එජාපය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහභාගි වී සිටී.

මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ද ආරාධනා කර ඇති නමුත් ඔහු සහභාගි වී නොමැත. මීට මාසයකටත් වැඩි කාලයකට පෙර ‍ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ අතර ඉන් අනතුරුව ඔහු සිදුකළේ ආගමික ස්ථානවල සංචාරය කිරීමයි. ඉන්පසු ඔහුට සහාය දක්වන දේශපාලන පක්ෂවල සහ සංවිධානවල සම්මන්ත්‍රණ සඳහා සහභාගි වූ නමුත් ඔහු මෙතෙක් කිසිදු මහජන රැස්වීමක් අමතා නොමැත.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම අපේක්ෂකයන්ගේ අරමුණ නම් ඔවුන් සිදුකළ යුත්තේ වඩ වඩාත් මහජනතාව අමතා සිය ප්‍රතිපත්ති හා වැඩපිලිවෙල ජනගත කිරීමයි. දැන් පැවැත්වෙන මහජන වේදිකාව ඊට සුදුසුම අවස්ථාවයි. 

එවැනි අවස්ථාවක් ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂ‍කයෙකු ලෙස සැල‍කෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔහු සිය ජයග්‍රහණය වෙනුවෙන් විශ්වාසය තබා ඇත්තේ සිය ප්‍රතිපත්ති පිළිබඳ දැනුවත් කිරීම නොව වෙනත් උපක්‍රමය. මහජනයා ඉදිරියට නොපැමිණ වෙනත් උපක්‍රම පිළිබඳව විශ්වාසය තබන්නේ නම් එය අතිශය භයානකය.

සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයින් සහභාගී වන මහජන වේදිකාවට ගෝඨාභය රාජපක්ෂ මහතා නොපැමිණියේ තවමත් නාමයෝජනා සහ අපේක්ෂකයින් අවසන් වශයෙන් තීරණය වී නොමැති නිසා බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 

එසේ නාමයෝජනා භාරදීම සහ අපේක්ෂකයින් නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත්වීම අවසන්ව නොමැති මොහොතක විවාදයකට සහභාගී වීමේ තේරුමක් නොමැති හෙයින් ගෝඨාභය රාජපක්ෂ මහතා විවාදයට නොඑනා බව අද පෙරවරුවේදී මහජන වේදිකාවේ සංවිධායකයින් වෙත දැනුම් දුන් බවයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ. 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *