කුරුණෑගල වඳ සැත්කම් විත්තිකරුවන් නිදැල්ලේ – සිරිසේන රාජපක්ෂ

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂියාබ්දීන් ෂාෆි විසින් කරන ලදැයි කියන වඳ සැත්කම් පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව පිළිබඳ දිනපතා පවෘත්ති පළ වෙමින් තිබේ. එය මේ වන විට සිංහල බෞද්ධ වෘත්තීය වේදීන්ගේ ප්‍රශ්නයක් බවට හා බෞද්ධ භික්ෂූන් සහ බෞද්ධ අන්තවාදීන්ගේත් ආණ්ඩු විරෝධින් විශේෂයෙන් පොහොට්ටු පක්ෂයේත් ඡන්ද ගුණ්ඩුවක් බවට පත් වී තිබේ. පොහොට්ටු පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් හා ඔවුන්ට හිතවාදී භික්ෂූන් සහ පොහොට්ටු අනුගාමිකයන් ෂියාබ්දින් මහතාට විරුද්ධව පාරට බැසීම විසින් එම තර්කය සාධාරණීකරනය කරනු ලැබේ.

කරුණු පෙළගැසෙමින් තිබෙන ආකාරය අනුව පෙනෙන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් කරනු ලබන්නේ වෙනත් රෝහල්වල එම සැත්කම කරනු ලබන ආකාරයට වෙනස් ආකාරයකට බවය. හේතුව එම රෝහලේ සිසේරියන් සැත්කම් අතරතුර කරන ලදැයි කියන වඳ සැත්කම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ එක් වෛද්‍යවරයකුට පමණක් වීමය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් 1993 වසරේ නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව ශික්ෂණ හා ප්‍රාදේශීය, මූලික රෝහල්වල ශල්‍ය ප්‍රසව හා නාරී වෛද්‍ය ඒකකවලට පත්කරන පශ්චාත් උපාධි නොමැති ජ්‍යේෂ්ඨ නේවාසික වෛද්‍යවරුන්ගේ වගකීම් සහ කාර්යයන් දක්වා තිබේ. ඒ අනුව කාර්යක්ෂම හා වැදගත් සේවාවක් රෝගීන්ට ලබාදීම සඳහා අදාළ ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයාට ජ්‍යෂ්ඨ නේවාසික වෛද්‍යවරුන් සහය විය යුතුය. එහෙත් ජ්‍යෂ්ඨ නේවාසික වෛද්‍යවරුන් කරනු ලබන ශල්‍ය කර්ම කරන්නට අවසර දිය යුතු වන්නේ, විශේෂඥ වෛද්‍යවරයා විසින් අදාළ නේවාසික ජ්‍යෂ්ඨ වෛද්‍යවරුන්ගේ හැකියාව නිපුණතාව තක්සේරු කර තීන්දු කිරීමෙන් පසුවය.

ජ්‍යෂ්ඨ නේවාසික වෛද්‍යවරුන්ගේ හැකියාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා සෑහීමකට පත්වන්නේ නම් ඔවුන්ට ශල්‍යකර්ම කරන්නට අවසර දිය හැකි වුවද ඒ ඕනෑම අව්‍ය අවස්ථාවක් සඳහා විශේෂඥ වෛද්‍යවරයා ශල්‍යගාරයේ සිටිය යුතුය යන කොන්දේසියට යටත්වය.

එපමණක් නොවේ ඉහත චක්‍රෙල්ඛය අනුව පුහුණු කිරීමෙන් පසුව පවා ජ්‍යෂ්ඨ නේවාසික වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරයා විසින් බාරදිය යුතු වන්නේ සුළු සහ සාමාන්‍ය ශල්‍ය/ප්‍රසව, නාරි ශල්‍යකර්ම පමණි. එසේ බාරදිය හැකි වන්නේ ද විශේෂඥ වෛද්‍යවරයා රෝහලේ රැඳී සිටින්නේ නම් පමණි. රෝහල යනු මෙහිදී නිල නිවස නොවන බවද චක්‍රෙල්ඛයේ පැහැදිලිව දක්වා තිබේ.

ඉහත චක්‍ර ලේඛය අනුව චෝදනා ලැබ සිටින වෛද්‍යවරයාට තනිව සිසර් සැත්කමක් හෝ සිසර් සැත්කමක් අතරතුර වඳ සැත්කමක් කරන්නට හැකියාවක් නැත. ඔහු එසේ කර ඇත්නම් එම වරදෙයි පංගුවක් අදාළ විශේෂඥ වෛද්‍යවරයාට ද පැවරිය යුතුව තිබේ. ඒ අත්අඩංගුවට පත්ව සිටින්නේ විශේෂඥ වෛද්‍යවරයකු නොවන බැවිනි.

නමුත් මේ වන විට කටයුතු සිද්ධ වෙමින් පවතින ආකාරය අනුව පෙනෙන්නේ විශේෂඥ වෛද්‍යවරයා අමතක කර නාට්‍යය රඟ දැක්වෙමින් පවතින බවය. නීතිය සහ පොලීසිය විධිමත් ආකාරයෙන් කටයුතු කරන්නේ නම් අදාළ වඳ සැත්කම් සිදු කළාය කියන අවස්ථාවන්හි අධීක්ෂක වශයෙන් කටයුතු කළ විශේෂඥ වෛද්‍යවරයා හෝ වෛද්‍යවරුන්ගෙන් මේ වන විට අවම වශයෙන් කටඋත්තරයක් හෝ ලබාගෙන තිබිය යුතුය.

විශේෂයෙන්ම මේ වන විට අදාළ වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් කරන ලදැයි යන සැකය මත මවුවරුන් පන්සීයයකට ආසන්න සංඛ්‍යාවක් කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට පැමිණිලි කර ඇතැයි කියැවේ.

එම මවුවරුන් බාරව කටයුතු කළ විශේෂඥ වෛද්‍යවරයා කුවුරුන්ද යන්න සොයගැනීමට අපහසු නැත. ඒ නිසා අදාළ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හැකියාව තිබේ. එසේම පැමිණිලි කරන ලද මවුවරුන්ගේ ශල්‍යකර්ම වල දී සහායක සේවාවල නියැකි හෙදියන් නිර්වින්දන වෛද්‍යවරුන් ආදීන් ද හඳුනා ගැනීම අපහසු නැත. ඔවුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගත හැකිය. එහෙත් මේ වනතෙක් එකී කටයුතු කිසිවක් සිදු වී නැත. සමහර විටෙක දිවයින පුවත්පත කී සංඛ්‍යාව වන හාරදහසක් සිංහල බෞද්ධ මවුවරුන් පැමිණ පැමිණිලි ඉදිරිපත් කරන තුරු අදාළ අංශ බලා සිටිනවාද යන්න පැහැදිලි නැත.

ඊළඟ කරුණ වන්නේ කරුණු නොදන්නා තැනැත්තන්ට පාරේ පිස්සු නටන්නට ඉඩදී වගකිවයුතු අංශ මුනිවත රැකීමය. අප එසේ කියන්නේ මෙරට විශේෂඥ නාරි සහ ප්‍රසව වෛද්‍ය සංගමය මෙතෙක් ඉහත සිද්ධිය ගැන ප්‍රකාශයක් හෝ නිකුත්කර නොමැති නිසාය. වෛද්‍ය සභාවද මෙතෙක් අනුගමනය කරමින් තිබෙන්නේ නිහඬ පිළිවෙතකි.

කුරුණෑගල වෛද්‍යවරයා සම්බන්ධයෙන් ප්‍රශ්නය සාමාන්‍ය දෙයක් නොවේ. මේ වන විට තමන් වඳභාවයට පත්ව සිටින බවට සැකකරමින් පැමිණිලි කර ඇති මවුවරුන් ඇත්තෙන්ම තමන්ට අදාළ වෛද්‍යවරයා අතින් වරදක් සිදුව ඇති බව විශ්වාස කරනවා විය යුතුය. ඔවුන්ගේ සැකය තහවුරු කරීම හෝ නිවැරැදි කිරීම කඩිනම් කිරීම අදාළ අංශවල වගකීමකි.

ඊළඟ කරුණ වන්නේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් ආකාරයයි.  පුවත්පතේ වාර්තා පළ වන විට වෛද්‍යවරයාට විරුද්ධව වඳ සැත්කම් එකක්වත් ඉදිරිපත් වී තිබුණේ නැත. ඔහු අත්අඩංගුවට ගනු ලැබුණේ අයථා වත්කම් ඉපැයීමේ චෝදනාව යටතේය. එකී චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාවක් නැත. හැකියාව ඇත්තේ අල්ලස් කොමිසමටය. ඒ අනුව කුරුණෑගල පොලීසිය නීතිය කඩකරමින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත් වරද කළ පොලිස් නිලධාරියා හෝ නිලධාරින්ටද දඬුවම් නැත. සමහර විට පොලීසියට වරද පටවන්නට ආණ්ඩුව උත්සාහ ගන්නා බවට කෑකෝ ගසන පිරිසට පොලීසියේ උසස් නිලධාරින් බියට පත්ව ඇතුවා වන්නට පුළුවන. උද්ඝෝෂකයන් උත්සාහ කරන්නේ වරදට නීතිය ක්‍රියාත්මක කර වීමට නොවේ. තමන්ගේ අභිමතාර්ථ පොලීසිය ලවා ඉටුකරවා ගැනීමටය.

හදිසි නීතිය රටේ පවතින අවස්ථාවක ජන කොටසකට හිරිහැර වන ආකාරයට හැසිරෙන්නට තවත් ජන පිරිසකට අවසර ලැබෙන්නේ කෙසේද යන්නත් ගැටලුවකි. සියල්ල අනුව පෙනෙන්නේ රාජ්‍ය සේවය ද පොලීසිය ද සිංහල බෞද්ධ මතවාද ඔස්සේ රටේ නීතිය අයාලේ යවමින් සිටින බවයි. එසේ නැතිනම් පොලීසියත් උද්ඝෝෂකයනුත් මුලින්ම විමසිය යුතුව තිබුණේ අදාළ වෛද්‍යවරයාට අදාළ සැත්කම් පැවරූ විශේෂඥ වෛද්‍යවරයා කවුද ඒවාට සහය වූ නිර්වින්දන වෛද්‍යවරුන් කවුද? හෙදියන් කවුද? ආදී ප්‍රශ්නය ය. රෝහල් අධ්‍යක් හෝ සෞඛ්‍ය බලධාරින් පවා මෙතෙක් එම ප්‍රශ්න අසා නැත.

සිරිසේන රාජපක්ෂ  

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *