ආණ්ඩුව කරන වැඩ ජනමාධ්‍ය තුළින් ජනතාව අතරට යන්නෙ නැහැ – එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි
මේ වසර මැතිවරණ වසරක්. මැතිවරණයක් ඉදිරියේ තබාගෙන දේශපාලන පක්ෂ හැසිරෙන විදිහ ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? විශේෂයෙන් ඔබ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය තුළ අර්බූද තියෙන බවකුයි පෙනෙන්න තියෙන්නේ. එ.ජා.ප. ය ජනතාවගෙන් ඈත්වෙමින් යනවද?
එක්සත් ජාතික පක්ෂය එකදිගටම පරදින පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ විසින් හඳුන්වනු ලැබූ කාලයක් තිබුණ. රටේ යහපත වෙනුවෙන් ජනතාව පෙළ ගැසෙද්දී රටේ යළි ප්‍රජාතන්ත්‍රවායද ඇති කරන්න, භීෂණය දූෂණය තුරන් කරන්න මාදුලාවේ සෝභිත හිමියන් ඇතුළු ප්රගතිශීලි කඳවුර පොදු අපේක්ෂකයෙක් සොයද්දි එ.ජා.ප. යට විරුද්ධ කඳවුරකින් ඉදිරිපත් වූ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දෙන්න එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එ.ජා.ප. තීරණය කරමින් රට වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක් කළා. එදා එ.ජා.ප. අපේක්ෂකයෙක් ඉදිරිපත් කෙරුවනම් ජයග්‍රහණය කරන්න තිබුණ.
ජනාධිපතිවරණ ජයග්‍රහණයත් ඉන් පසුව පැවති මැතිවරණයත් සමග එ.ජා.ප. ය යළිත් ජනතාව අතරට ආවා. නමුත් පළාත් පාලන ඡන්දය පවත්වන අවස්ථාව වන විට යම් කළකිරීමකට පත්වෙලා තිබුණ. ඒ තත්ත්වය තුළ පොහොට්ටුවට බලයක් ලැබුණ. ඒත් එක එ.ජා.ප.යට පාඩමක් පිණිස ඡන්දදායකයන් කියා දුන්න පාඩමක් මිස පොහොට්ටුවෙ ජයග්‍රහණයක් නෙමේ.
දින 52 බලහත්කාර ආණ්ඩුව පළවා හැරීමට එ.ජා.ප. නායකයා ඇතුළු පක්ෂ කළ කැපවීම වෙනුවෙන් ජනතාව යළි එ.ජා.ප.ය සමග එකතු වුණා. ඒ ලබාගත්ත ශක්තිය හා බලය, ජනතා විශ්වාසය පසුගිය මාස කීපය තුළ පලුදු වෙලා කියන එකේ ඇත්තක් තියනවා. එහෙම වෙලා තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ දුර්වලකමක් මත නොවෙයි. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ඇතැම් මන්ත්‍රීවරු සහ නායකයින් තම තමන්ගේ න්යායපත්ර වලට අනුව කටයුතු කරමින් යනව. ඇතැම් අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ හා කථිකා තුළින් පක්ෂයට ජනතාව අතර තිබුණ තැන නැතිවෙලා තියෙනව.
ඒකට උදාහරණයක් දක්වනව නම්?
ඒකට උදාහරණයක් නම්, පසුගිය දිනවල පාලිත තෙවරප්පෙරුමයි ජනරාල් සරත්ෆොන්සේකයි එළිපිට රණ්ඩුවෙච්ච හැටි බලන්න. මේ දෙන්නට දෙන්න මඩ ගහගත්තා. ඒ මඩ කාටද වැදුනෙ? එක්සත් ජාතික පෙරමුණ රජයට. ආමාත්‍යංශ අරගෙන එයා කරපු හැටියි මෙයා කරපු හැටියි විවේචනය කළා. ඒ විවේචන පිළිකුල්සහගතව ජනතාව බලාගෙන සිටියා. ඒකෙන් කින 52 කාලයේ එක්සත් ජාතික පක්ෂය හා අග්‍රාමාත්‍යතුමා ඇතිකරගෙන සිටිය ප්‍රසාදය නැති වුණා. ඒ අතර තවත් කීපදෙනෙක් ඉන්නව. මුදල් අමාත්‍යවරයට රවී කරුණානායක අමාත්‍යතුමා දොස් නගනව. රන්ජන් රාමනායක මැතිතුමා අනවශ්‍ය හෙරෝයින් ප්‍රශ්නයක් ගෙනල්ලා පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කෙරුව. එයා මුලින්ම කිව්වෙ එක්සත් ජාතික පක්ෂයේ අය ඉන්නව කියලයි. දැන් එයා වටේටම කරකවනව. මෙකේ සත්‍ය අසත්‍යතාවය අපි දන්නෙ නෑ. නමුත් රටතුළ සමාජගත නොකළයුතු සමාජ ප්‍රශ්නයක් සමාජගත කරල අද පක්ෂය අපහසුතාවයට ලක්කරල තියෙනව.
මේ තත්ත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයට ඉදිරි මැතිවරණයන්ට මුහුණ දීමේ ශක්තිය දුර්වල වෙලා තියෙනවද?
යම් පමණකට දුර්වල වේගෙන යන බව අපට කියන්න පුළුවන්. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා හොඳ දැක්මක් ඇතිව වැඩකරනව. අද එතුමා කරන වැඩ පිළිවෙල පමණයි කැපී පෙනෙන්නේ. අද ජනතාව එක්සත් ජාතික පෙරමුණු රජය ගැන හිතනව නම් එතුමා කෙරේ විශ්වාසය තියලයි ඉදිරි මැතිවරණය තීරණය කරන්න වෙන්නෙ.
අගමැතිතුමා මෙයටත් වඩා ජනතාව ගැන හිතල, රටේ ප්‍රශ්න ගැන හිතල ඉදිරි අනාගතය ගැන හිතල හොඳ දැවැන්ත වැඩ පිලිවෙලක් දියත් කළොත් මම හිතනවා දැනට පසුබා සිටින ජනතාවත් ඉස්සරහට ගන්න පුළුවන් වෙයි කියල. හැබැයි දිනනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක තුළින්. අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ වුණොත් ජයග්‍රහණයක් ස්ථීරයි.
පළමුවෙන්ම මුහුණදෙන මැතිවරණය මොකක් වෙයි ද?
දැනට මේ රටේ මැතිවරණයක් පවත්වන්න පුළුවන් නීතිමය තත්ත්වයක් තියෙන්නෙ ජනාධිපතිවරණය පමණයි. සීමා නීර්ණ යටතේ මැතිවරණය තියන්න කුඩා පක්ෂවල එකඟ තාවයක් නැහැ. කුඩා පක්ෂවල වගේම විරුද්ධ පක්ෂවලත් පලාත් සභා ඡන්දයට මුහුණ දීමේ පසුබෑමක් තමයි දක්නට තියෙන්නෙ.
නමුත් විරුද්ධ පක්ෂ අතරින් මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන පොහොට්ටුව පක්ෂයට පලාත් සභා මැතිවරණයට මුහුණ දීමේ වුවමනාවක් තියෙනව. ජනාධිපතිවරයට පුළුවන් එතුමා කරන වැඩපිළිවෙල ජනප්‍රියනම්, එතුමාට පුළුවන් ජනාධිපතිවරණයක් තියල යළිත් ජනාධිපතිවරයා වශෆයන් පත්වෙන්න.
රනිල් වික්‍රමසිංහ මැතිවරණ දිනන්න බැරි නායකයෙක් කියල සමහරු කියනවා ?
රනිල් වික්‍රමසිංහ මහත්තයා කවදාවත් මැතිවරණයකින් පරාජයට පත්වුණේ නැහැ. එතුමගෙ පක්ෂයෙන් ඉදිරිපත් කරන ලද යම් යම් අපේක්ෂකයන් තමයි පරාජයට පත්වුණේ. අද මේ රටේ දේශපාලඥයෙක් ඡන්ද අතිවිශාල ප්‍රමාණයක් අරන් තියෙනව නම් ඒ අරත් තියෙන එකම නායකයා රනිල් වික්රමසිංහයි. මෙතුමා එක ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුණා. එතුමා පරාජය වුණේ ඡන්ද 21000ක් වැනි ප්‍රමාණයකින්. ඒ පරාජ කළේ ටිරාන් අලස් මහතා සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මංගල සමරවීර මහතා එකතුවෙලා එල් ටී ටී යත් එක්ක සාකච්ඡා කරල ඉල්ලීමක් කෙරුවා දෙමළ ජනතාවගෙන්, ‘ඔබලාට අවශ්‍ය මොනවද? ඒවා දෙන්න අපි සූදානම්, යාපනයෙන් රනිල් වික්‍රමසිංහට ඡන්දය දෙන දෙමළ ජනතාවගේ ඡන්දය කොහොමහරි වළක්වන්න කියල’ ඒ පොරොන්දුව මත යාපනය සහ වැල්ලවත්ත වැනි පළාත්වල රනිල්ට වැටෙන තිබුණ ද්‍රවිඩ ඡන්ද ටික වැළැක්කුවා. නැත්නම් එදා රනිල් පරාජය වෙන්නෙ නැහැ. මොකද රනිල් ජනාධිපති වුණානම් මේ පක්ෂ සියල්ලටම සටන්පාඨ නැති වෙනව. උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට විසදුමක් එනව. ඒ වගේම රට කෑලි කෑලි එක එක රටවලට විකිණෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති වීම බලෙන් උදුරගත්ත කියල කියන්න පුළුවන්. මහින්ද රනිල්ගෙ ජයග්‍රහණය බලෙන් උදුරගෙන තමයි මහින්ද එදා ජනාධිපති වුණේ. මේ අවස්ථාවේ රනිල් මහත්තයට අවස්ථාව දුන්නොත්, එතුමාට හොඳ දර්ශනයක් තියෙනව. එතුමගේ එකම සිහිනය තමයි මේ රට ආර්ථික වශයෙන් දියුණු කිරීම.
කවුරු මොනව කිව්වත් අර්ජූන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙ දෑවැන්ත සංවර්ධනයේ පුරෝගාමියෙක්. එයා මේ රටට ගෙනාවේ බැංකු මංකොල්ල කන්න නෙමෙයි. රටට හොඳ ආර්ථික පිළිවෙතක් ගෙනල්ලා රට දියුණු කරන්නයි. පසුසෙ මොන මොන දේ සිද්ධ වුණා කියල කිව්වත් යහපත් දැක්මකින් තමයි ඒ කටයුත්ත කෙරුවෙ. අද එයාගෙ පිට විතරක් දාලා තියෙනව බැංකු සංචිත මංකොල්ල කෑවා කියල. එතකොට එයා ලංකාවට ගෙන්වන්න හැම දේකට ජනාධිපතිතුමා අත්සන් කෙරුව.
ජනාධිපතිතුමා කිව්ව කියනව නේද මේ තනතුරට විදේශිකයෙක් පත්කරන්න එපා කියල.
ඒ පස්සෙ. දෙවෙනි වතාවේ පත්කරන කොට කැමැත්තක් දැක්වුවේ නෑ. පළවෙනි වතාවේ පත්කරනකොට එයා නිහඬව හිටිය. දැන් අමාත්‍යාංශවලට ඇතැම් පත්වීම් දෙන්න ඉඩ දෙන්නෙ නෑ, ඒ වගේ කරන්න තිබුණ. ජනාධිපතිතුමා හැරෙන හැරෙන පැත්තට වැඩ කරනව. එයාට වාසියක් තියෙනව නම් එයා එතැන තමයි ඉන්නේ. අවංකව එයාගෙ හදවත දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔය බැඳුම්කර වංචාවට සම්බන්ධ නෑ කියල.
ඔබ කියන විදිහට රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිඅපේක්ෂකයා බව ස්ථිරයි. එතකොට කවුද ප්‍රතිවාදියා?
අපිට පෙනෙන්නෙ මෙහෙමයි. පොහොට්ටු පක්ෂයෙන් අපේක්ෂකයෝ තුන්දෙනෙක් බලාපොරොත්තුවෙලා ඉන්නව.
කවුද ඒ අය?
ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, බැසිල් රාජපක්ෂ මහත්මයා, චමල් රාජපක්ෂ මහත්තයා. ඔය තුන්දෙනාම කියල තියෙනව තමන් ඉදිරිපත් වෙනව කියල. වෙල්ගම මහත්තයා කිව්ව මහින්ද රාජපක්ෂමහත්තයට තව සැරයක් ඉලන්න පුළුවන් කියල. එතුමාට එන්න බැරිනම්, වෙල්ගම මහතාගේ ඇතුළු පිරිසකගෙ හිතේ තියෙන්නෙ ශිරන්ති රාජපක්ෂ මැතිණිය මේකට ඉදිරිපත් කරන්න. හැබැයි රාජපක්ෂ පවුලම ඒකට විරැද්ධයි. ගෝඨාභය එනවට බැසිල් විරුද්ධයි, බැසිල් එනවට ගෝඨාභය විරුද්ධයි, ඒ වගේ රාජපක්ෂලා එක ඟතාවයක් නැහැ.
වර්ථමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිතනවා එයා හරි ජනප්‍රියයි කියලා. ඇත්තම තත්ත්වය නම් එයා ජනප්‍රිය නෑ. එයා එක තේරුම් අරගෙන නෑ. එයා ඒක තේරුම්ගන්න දවසක් නුදුරු අනාගතයේදීම එනව. එදාට එයාට තේරෙයි එයා කොතනද හිටියෙ කියල.
තාත්තලෑ අම්මලෑ දේශපාලනය ඉදිරියට ගෙනියන පරපුරක් හදන දේශපාලනයක් මේ රටේ ක්‍රියාත්මක වෙනව. ඒ දේශපාලනය ක්‍රියාත්මක වෙද්දි එහි ඉදිරියෙන්ම ඉන්නෙ මහින්ද රාජපක්ෂ පවුල. ඒ පවුලෙ ඉන්න තරුණ දේශපාලඥයා නාමල්ට කාලය ලබාදීම සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතාව අකමැත්තෙන් හරි ඒගොල්ල යෝජනා කරල මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනව.
තව අතකින් මතයක් තියනව, විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙ එහෙම මෛත්‍රි ආවොත් අපි වැඩ කරන්නෙ නැහැ කියල. ඒ පිරිස කියන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් එනව නම් සහයෝගය දෙනව කියල. හැබැයි මම කියනව ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ආවත්, මෛත්‍රිපාල සිරිසේන අපේක්ෂකයා වශයෙන් ආවත් මේ දෙදෙනාගේ ම තත්ත්වය හොඳටම දන්නව මේ රටේ ජනතාව. ගෝඨාභයගෙ තියෙන්නෙ මිනීමරු හා රැඩිකල් දේශපාලනයක්. මෛත්‍රිපාලගෙ තියෙන්නෙ බොරැකාර වංචනික මිනිස්සු මුලාකරන දේශපාලනයක්. ඔය අතරින් රනිල් වික්‍රමසිංහ කියන දැක්මක් අති නායකයා එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් වුණොත්, අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් කරනව.
අපි නිතරම ප්‍රධාන පක්ෂ දෙක ගැන කතාකරනව. අලුත් ඡන්ද දහඅට ලක්ෂයක් වරම් ලබලා තියෙනව. ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ තවත් සංධානයක් බිහිවෙමින් තියෙනව. ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ සංධානයකින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කෙරුවොත් ජනාධිපතිවරණ ප්‍රතිඵලයට සැලකියයුතු බලපෑමක් කරන්න පුළුවන්ද?
ඒක වැදගත්ම ප්‍රශ්නයක්. මේ රටේ දහ අට ලක්ෂයක් අලුත් ඡන්ද තියෙනව. මේ දහඅට ලක්ෂය තුළ එක්සත් ජාතික පක්ෂයේ, පොහොට්ටුවේ අනිකුත් දේශපාලන පක්ෂවල, ඡන්දත් තියෙනව. නමුත් අද ඇතැමෙකුගේ මතයක් තයෙනව මේ දේශපාලනය අමු බොරුවක්, අමු විහිළුවක් අපි මේකට අවතීරණ වෙන්නෙ නැහැ කියල. අපේ දරුවන්ගේ මතය ඔතැන තියෙනව. නමුත් මේ ඡන්ද වලින් හරියට අඩක් ගන්න පුළුවන් නායකයා තමයි රනිල් වික්‍රමසිංහ කියන්නෙ. මොකද එතුමාට රකින්න පරපුරක් නෑ. ඒ එතුමාට බූදල් තරකරන්න උවමනා නෑ. උපතින්ම සෑහෙන ධනයක් හිමි පුද්ගලයෙක්. ඒ වගේම නිහතමානි උගත් හොඳ චරිතයක් තියෙන පුද්ගලයෙක්. මේක අද තරුණයො අතර කතාබහ වෙනව. හේතුව මොකද එයාට කවුරු බැන්නත් එයා දේශපාල වේදිකාවේ කාටවත් පුද්ගලික අපහාස කරන්නෙ නෑ. එයාගෙන් කාටත් ඉගෙන ගන්න පාඩම් තියෙනව. බැන්නට බනින්නෙ නෑ. කලබල වෙන්නෙ නෑ. බොහොම හීන්සීරුවෙ ඉඳලා හරි තීරණයකට යනව. කවද හරි මේ රටේ නායකත්වය රනිල් වික්‍රමසිංහට දුන්නොත් එදාට පුළුවන් මේ රට දියුණු කරන්න.
දැන් මාධ්‍ය නිදහස තියෙනව. ආණ්ඩුව විවේචනය කරනව. නායකයො විවේචනය කරනව කොයි මාධ්යෙව්දියටද පහර දුන්නා කියල කියන්නෙ.? කොයි මනුස්සයද ඝාතනය කළේ? කාටද හිරිහැර කෙරුවෙ? ඒ වගේම කොයිම වෙලාවකවත් නීතියට බලපෑම් කරන්නෙ නෑ. එයාට විවේචනය කරනකෙනාට පහරදුන්න ද? නෑ. ළඟදි මහින්ද රාජපක්ෂ මහත්තයගෙ බාල පුතාගෙ විවාහ මංගල්‍යට ගිහිල්ලා වැදගත් කෙනෙක් වගේ සහභාගිවෙලා ආවා. රාජපක්ෂ පවුල වගේ පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කරන්නෙ නෑ. එතුමව මේ අවස්ථාවේ ජනාධිපති කෙරුවොත් මේ රට හොඳ තැනකට ලොකේ අද්විතීය රටක් බවට පත්කරනව. එතුමට ඒතරම් හොඳ දර්ශනයක් තියෙනව.
මොනව කිව්වත් අලුත් ඡන්ද දහඅට ලක්ෂයත්, පාවෙන ඡන්දත්, සිංහල බෞද්ධ නොවන ඡන්දත් තමයි මේ රටේ මී ළග ජනාධිපති තීරණය කරන්නෙ. මේ සියල්ලම ඔබ කියන ස්ථාවරයේ ඉන්නවද ?
මම කියන්නෙ රැඩිකල් බලවේගවල ඡන්ද වලිනුත් 50%ක් දිනාගන්න පුළුවන් කම රනිල් වික්‍රමසිංහට තියෙනව.
මැතිවරණ කොමිසට යෝජනාවක් කරන්න අවශ්‍යයි දැනට ඡන්දය පාවිච්චි කිරීමට නොහැකියාවෙන් ඉන්න විදේශගත පිරිසගේ, සිරගෙවල්වල ඉන්න පිරිසගේ ඡන්දය ලබා ගැනීමට වැඩපිළිවෙලක් සකසන්න අවශ්‍යයි. එන්න එන්න මෙම ප්‍රතිශතය වැඩිවෙමින් තියෙනව. ලොකු කුඩා සියලුම දේශපාලන පක්ෂ මේ පිළිබඳව ඒකාබද්ධ ක්‍රියාදාමයකට යායුතුයි.
තව ඉදිරියට මාස දහයක පමණ කාලයක් මේ ආණ්ඩුව පවත්වාගෙන යා හැකියි. ඔබ කියන විදිහට රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනැගීමේ සුවිශේෂි දර්ශනයක් තියෙනව නම් මේ මාස දහය තුළදිත් එය කරන්න පුළුවන් නේද?
එතුමා වැඩ නොකරනව නෙමෙයි. එතුමා දැවැන්ත වැඩ කොටසක් කරගෙන යනව. ඒ වැඩ කොටස කරගෙන ගියාට, සමාජගත වෙනව බොහොම අඩුයි. රාජ්‍ය මාධ්‍ය ආයතනවල සියලු බලතල ජනාධිපතිතුමා යටතට අරගෙන තියෙන්නෙ. රුවන් විජේවර්ධන ඇමතිතුමා යටතට ජනමාධ්‍ය රාජ්‍ය ඇමතිකම පැවරීමත් ජනාධිපතිතුමාගේ අවශ්‍යතාව මත සිදු වූවක් විය හැකියි. මේ රටේ ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට සුදුසුම කෙනා තමයි මංගල සමරවීර ඇමතිතුමා. රුවන් විජේවර්ධන ජනාධිපතිතුමාට අවශ්‍යපරිදි හසුරුවන්න හැකි නිසා එතුමව ගන්න ඇති. කොහොම නමුත් ආණ්ඩුව කරන වැඩ ජනමාධ්‍ය තුළින් ජනතාව අතරට යන්නෙ නැහැ.
සජිත් මහත්තයා එයාගෙ අමාත්‍යාංශයේ හරියට වැඩ කරගෙන යනව. ප්‍රවාහනය ගත්තත් එහෙමයි. රට පුරා දෑවැන්ත සංවර්ධනයක් වෙනව.
අපි බලාපොරොත්තුවෙන අපේක්ෂකයා වන රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයා නොවුනොත් එතෙන්දි අපි එතුමා වෙනුවෙන් පෙනී සිටිනවා. මොකද ඒ පෞද්ගලික වාසිතකා නෙමෙයි. එතුමා මේ රටට අවශ්‍ය නායකයා නිසයි.
මනෝජ් රූපසිංහ
