සියල්ලන්ගේ සිත් යොමු වේවා! – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු
මහාචාර්ය රෝහාන් ගුණරත්න විසින් කළ දේශනයක් හෝ එයින් කොටසක් 2019 මැයි 21 අඟහරුවාදා මවුබිම පුවත්පතේ 10 වැනි පිටුවේ පළකර තිබුණා. දෙසුම පරිවරතනය කර තිබුණේ ගැමුණු රත්නායක මහතා විසින්. රෝහාන් ගුණරත්න යනු ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයෙක් මෙන්ම ප්‍රකට දේශපාලන විචාරකයෙක්. ඔහු මෙරට ජනතාව අතර වඩාත් ප්‍රකට වූයේ 1988/89 ජනතා විමුක්ති පෙරමුණ විසින් නායකත්වය දුන් කැරැල්ල පිළිබඳ රචනා කළ ලොස්ට් රිවලුසණ් හෙවත් අහිමි විප්ලවය නමැති කෘතිය නිසයි.
මහාචාර්ය රෝහාන් ගුණරත්න පිළිබඳ විශ්වාසය හා ඇල්ම නිසාම ඉහත පුවත්පත් ලිපිය කියැවූ මට සිතුණේ සංස්කරණය විසින් දෙසුමේ හරය විනාශ කෙරී ඇති බවයි. නිදසුනක් වශයෙන් අදාළ ලිපියේ ශීර්ෂය යොදා තිබුණේ, ‘අපේ දේශපාලකයන් රටේ ආරක්ෂාව සමග සෙල්ලම් කළා, යනුවෙන්. ඇත්තෙන්ම කියනවා නම් අපේ දේශපාලඥයන් රටේ ආරක්ෂාව සමග සෙල්ලම් කළ බව රහසක් හෝ අමුතුවෙන් කිවයුත්තක් නොවෙයි. රෝහාන් ගුණරත්න මහතාට ඇති විශේෂ ඇල්ම නොතිබුණා නම් මම ඒ ශිර්ෂ පාඨය නිසාම ලිපිය නොකියවා ඉන්නටත් තිබුණා. ලිපියේ උප ශිර්ෂය වශයෙන් යොදා තිබුණේ, ‘බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ක්‍රියාත්මක නොවීම අපරාධයක්, ‘මේ ආණ්ඩුව බලයට ආපසු මාර්ග බාධක සහ පරීක්ෂා කිරීමේ ස්ථාන ඉවත් කළා, ආරක්ෂක හමුදාවක් බැරැක්ක වලට සීමා කිරීම බරපතළ අත් වැරැද්දක්! ‘සහරාන්ගේ කණ්ඩායම ගැන විශේෂඥ දැනුමක් තිබූ මුස්ලිම් ජාතික ජේෂ්ඨ හමුදා නිලධායකු විදේශ ගත කළා, ‘බුද්ධි අංශ නිලධාරීන් 500ක් පමණ අත්අඩංගුවට ගැනීම හෝ ඡායාරූප ගතකිරීම සිදු වුණා, පන් දහසකගෙන් සමන්විත වූ බුද්ධි අංශයේ ක්‍රියාකාරීම හස්තය අඩපණ කෙරුණා, යන වැකි අනුව සිතෙන්නේ රෝහන් ගුණරත්න මහාචාර්යවරයාගේ අතිශය වැදගත් දේසුමේ මූලික හරය ජනගත කිරීම වෙනුවට ඒ තුළින් ආණ්ඩු විරෝධයක් ඉස්මතු කරන්නට උත්සාහ කර තිබේද යන්නයි.
උදාහරණයක් විදිහට එම ලිපියේ එක් තැනක රොහාන් ගුණරත්න මහතා මෙසේ පවසනවා; ‘අප විසින් සිදු කළ බරපතළ වරදක් වන්නේ හමුදාව පාරවල් හැදීම, නිවාස ඉදිකිරීම මෙන්ම විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ දමිල වැඩිහිටියන්ට කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, පරිගණක කටයුතු ආදිය සඳහා යොමු කරවීම තුළින් වැදගත් කාර්යයන් කෙරෙහි ඔවුන් යොමු කරවීම අහිමි කිරීමයි. එය බොහෝවිට බටහිර රටවල් වලට අවශ්‍ය වූ දෙයක් විය හැකියි. නමුත් මෙය අප අතින් සිදු වූ බරපගළ වරදක්, සහරාන් ගැන දැන සිටි මුස්ලිම් ජාතික හමුදා නිලධාරියා ගැනත් හමුදා අත්අඩංගුවට ගැනීම් ආදිය ගැනත් මහාචාර්වරයා කියන්නේ ඉන් පසුවයි.
මාර්ග ඉදිකිරීම ආදී කටයුතුවලට හමුදාව යොදවනු ලැබුණේ පසුගිය ආණ්ඩුව සමයදීයි. පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ දී මෛත්‍රි ප්රමුඛ කණ්ඩායම විසිනුත් එය සටන්පාඨයක් වශයෙන් යොදා ගත්තා. මේ ආණ්ඩුව කළ වැරදි ගැන කී කතා ඉස්මතු වී ගිය ආණ්ඩුව කළ වැරදි ගැන කී කතා යට යන්නට යම් දේශපාලන හේතුවක් බලපෑවාද? කෙසේ වෙතත් රොහාන් ගුණරත්න මහාචාර්යවරයා තම දෙසුමේ දී දේශපාලකයන්ගේත්, ආණ්ඩුවේත්, විපක්ෂයේත්, සිවිල් සංවිධානවලත් පොදු මහජනතාවගේත් අවධානයට ලක්විය යුතු වැදගත් කරුණු කිහිපයක් දක්වනවා. ඒවා හරිහැටි අවධාරණය වී නොතිබුණු නිසා ඒ ගැන පෙන්වා දෙන්නටයි මේ ලිපිය ලියන්නට හිතුවේ.
ත්රස්තවාදයට එරෙහිව සටන්වැදීම සඳහා අපකළ යුතු දේ ඒ මහතා පෙන්වා දී තිබුණු ආකාර මෙසේයි.
උපුටාගැනීම; දැනට විශ්වාස කරන ආකාරයට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන්ට ලැබී ඇති තොරතුරුවලට අනුව නැවත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීම පාලනය කොට ඇති අතර රටේ දරුවන්ට පාසල් යාමට තරම් ආරක්ෂිත වාතාවරණයක් උද්ගත වී තිබේ. හෝටල් මෙන්ම ගුවන්තොටුපල මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට වාතාවරණයක් උදා වී තිබෙනවා. නමුත් අපට ඉන් එහා දැක්මක් තිබීම වැදගත්. රටක නායකත්වය යනු ජනාධිපති සහ අගමැති, අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පමණක් නොවේ. අපට සෑම තලයකම නායකත්වයක් අවශ්‍ය වී තිබේ. සහරාන් කල්ලියේ ත්‍රස්තවාදය පිළිබඳ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම දුරු වූ බවට තවමත් චකිතයක් පවතින අතර ඒ සඳහා ඒ සඳහා පියවර ගැනීමේ වගකීම පවතින්නේ රජයට පමණක් නොවේ. ප්‍රජා නායකයන්, ආගමික නායකයන්, දේශපාලඥයන් මෙන්ම අද මෙන්ම හෙට දිනත් ශ්‍රී ලාංකිකයන් ගේ මනසට කතා කළ හැකි සියලු දෙනාටම ඒ වගකීම පැවරී තිබෙනවා.
මේ සඳහා වෙනස් කිරීම් 5ක් යේජනා කිරීමට කැමැත්තෙමි. ප්‍රථමයෙන් අප වෛරී ප්‍රකාශ කිරීම අපරාධයක් ලෙස නම් කළ යුතුයි. මෙය ජාතීන් අතර සමගිය වර්ධනය කිරීමට හේතු වන තර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව මෙය විද්‍යාමාන වුණා. මෙහිදී අප ආරක්ෂක අංශ වලට විශේෂයෙන් පොලීසියට දොස් නොපවරන අතර පොලීසියට හා කැරලි මර්ධන කණ්ඩායම් වලට හැර පොලීසියට කැරලි මර්දනය කිරීමේ හැකියාවක් නැහැ. හමුදා අංශවට ද ඒ සඳහා නිරත වීමට හැකියාවක් නොතිබූ අතර ඔවුන්ට ද දොස් තැබීම කළ නොහැකිය. ඔවුන් මේ රට බේරාගැනීම සඳහා දිවි හිමියෙන් කළ කැපවීම අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ගැටුම් අවුළුවන ප්‍රකාශ අපරාධයක් ලෙස ප්‍රකාශ කිරීම මුස්ලිම් ප්‍රජාවට මෙන්ම බෞද්ධ ප්‍රජාවට ද අදාළ විය යුතු අතර මීට එරෙහි වන ඕනෑම පුද්ගලයෙක් පිළිබඳ විමර්ශනයන් සිදු කොට නීතිමය කටයුතු වලින් අනතුරුව දඬුවම් පමුණුවා දේපළ ද රාජසන්තක කළ යුතුයි. අප මෙය සිදු නොකළහොත් අප කිසිවිටෙකත් අපේක්ෂා නොකරන මැදපෙරදිග හෝ දකුණු ආසියාතික රටක් බවට මේ රට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත. ඉරිදා ප්‍රහාරයෙන් අප නිසි පාඩම් ඉගෙන ගත හොත් දැනට පවතිනවාටත් වඩා ශක්තිමත් රටක් බවට පත්වීමට අපට ඉතා පහසුවෙන් හැකි වෙයි.
දෙවැනිව අප කළ යුත්තේ අන්තර් ජාලයේ අන්තවාදී අර්තර්ගතයන් පළ කිරීමෙන් වැළකී සිටීමයි. මෙය ද විශාල ගැටළුවක් වීමට ඉඩ තිබෙනවා. තාක්ෂණික සමාගම් හා හිතවත් මුස්ලිම් මිතුරන් සමඟ එක්ව අප එබඳු අහිතකර ප්‍රකාශ වාර්තා කෙරන ජාලයක් නිර්මාණය කොට ඇති අතර මේ ආධාරයෙන් ජනතාවට නීති අංශවලට වාර්තා කීරීමේ හැකියාව තිබෙනවා.
තෙවැනුව අප ආගමික තත්ත්වයන් නියාමනය කළ යුතුයි. ආගමික අන්තවාදීන් මේ ශ්‍රී ලංකාව පුරාම සිටිය හැකිය. ක්‍රිස්තියානි වේවා, බෞද්ධ වේවා, මුස්ලිම් වේවා දිසිදු දේශකයෙකුට අවසරලත් අධිකාරියකින් ලද අවසරයකින් තොරව දේශනා පැවැත්වීමට ඉඩ නොදිය යුතුයි. විභායකින් සමත්විය යුතු දේශකයන් අනෙකුත් ආගම් පිළිබඳවද හැදෑරිය යුතු අතර දෙවසරකට වතාවක් දේශන පැවැත්වීම සඳහා තම බලපත්‍ර අලුත් කරගත යුතුයි. එසේම මෙරටට පැමිණෙන විදේස් දේශකයන් පිළිබඳවද හොඳින් සොයා බැලීම වැදගත්. යම් හෙයකින් අනුදැනුමකින් තොරව රටට ඇතුළුවන එවැනි දේශකයන් අත්අඩංගුවට ගෙන ඔහුගේ වත්කම් ද රාජසන්තක කොට ඊට ප්‍රසිද්ධියක් ලබාදිය යුතුයි. එවිට අනෙක් අයද ඉන් පාඩමක් ඉගෙන ගනු ඇත.
ශ්‍රී ලංකාව විසින් ආගමික ඇදහීම් සඳහා තමන්ගේම ආයතන බිහි කළ යුතු අතර විදෙස් රටවල ආගමික අධ්‍යාපනය හැදෑරීමට යන අය රටේ ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් ඒ සඳහා අවසර ලබා ගත යුතුයි. එහිදී අමාත්‍යාංශය විසින් අදාළ රටේ බලධාරීන්ගෙන් ඔවුන් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂිත ආයතනය අන්තවාදය පතුරුවන ආයතනයක් ද යන්න විමසා බැලීම වැදගත් වේ.
පාසල්වලට එකමුතු සමාජ එකමුතු මධ්‍යස්ථාන බිහිකිරීමට උපදෙස් ලබාදීම මෙහි දී ඉතා වැදගත් පියවරක් වේ. එම සමාජ සඳහා සියලු ආගමික අංශ ඇතුළත් විය යතුයි. එහිදී සියලු දෙනාම එකාවන්ව ක්‍රියාකාරකම් වල යෙදීම තුළින් එක්සත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට අඩිතාලම වැටෙනු ඇත. මේ ආගමික අසමගිය දුරලීම සඳහා ශක්තිමත් නායකයන් ද බිහිකිරීම වැදගත්. එසේම බොදුබල සේනා, සිංහල රාවය, මහසෝන් බලකාය වැනි කණ්ඩායම් පිටුදැකිය යුතුයි. ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ ඉඩක් නැති අතර එල්.ටී.ටී.ඊ. වැනි ත්‍රස්ත කණ්ඩායම් සමඟ සටන් වැදුණු අප ඔවුන්ට බිය වන්නේ ඇයි. බුද්ධාගමේ සිංහල ජාතියේ නියම අගයන් නියෝජනය නොකර මොවුන් පිළිබඳ වහා විමර්ශනය කළ යුතුයි.
මේ අර්භුදකාරී අවස්ථාවේ මංගල සමරවීර අමාත්‍යවරයා කළ ප්‍රකාශය සුදුසු නොවනක් වන අතර ඉන් බෞද්ධාගමිකයන් කෝපයට පත් වුණා. අපේ ව්‍යවස්ථාවේ ඕනෑම දෙයක් සඳහන් විය හැකි වුණත් මෙය සැබැවින්ම බෞද්ධ දේශයක් වන අතර අනෙක් සියලු ආගම් අප සාදරයෙන් පිලිගනු ලබනවා.
ඉන්දියාවේ ජනගහනයෙන් 14%ක් මුස්ලිම්වරුන් වන අතර එරට කැබිනට් අමාත්‍ය වරුන් අතරින් මුස්ලිම් අමාත්‍යවරුන් සිටින්නේ දෙදෙනෙකු පමණයි. ඒත් 9.7%ක මුස්ලිම් ජනගහනයක් සිටින අප රටේ කලින් 60ක් වූ කැබිනට් අමාත්‍යවරුන් අතරින් 6 දෙනෙකුත් වර්තමානයේ 32ක් වන කැබිනට් අමාත්‍යවරු අතරින් 4 දෙනෙකුත් මුස්ලිම් ජාතිකයන්. මේ තොරතුරු වලින් මුස්ලිම්වරුන්ට ශ්‍රී ලංකාවේ හිමි තැන පේනවා. එබැවින් තම ආගමික අවකාශය සහ ප්‍රජාව නියාමනය කර ගන්නා මෙන් මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටින අතර එසේ නොවුන හොත් මෙය අයි.එස්. ත්රස්තයන්ගේ ඇස යොමුවන තැනක් විය හැකියි. මෙහි දී මුස්ලිම් දේශපාලනික නායකයන්ටත් පැවසිය යුතු දෙයක් තිබෙනවා. ප්‍රහාරයෙන් දින කීපයක් ගත වන තුරුත් රටේ කිසිදු කලබලයක් තිබුනේ නැහැ. නමුත් මුස්ලිම් දේශපාලකයන්ගේ ඇතැම් කතා ජනතාවගේ කෝපයට හේතු වුණා. නැනවත් ලෙස කතා කරන්නට නොදන්නේ නම් ඔවුන් කළ යුත්තේ නිහඬව සිටීමයි. කඩු ඇත්තේ තණකොළ කැපීමට සහ කාන්තාවන් ආරක්ෂා කිරීමට වැනි කතා සැබැවින්ම පදනම් විරහිත ඒවායි. ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් සුදු කළේ බරපතළ වරදක් බව අපි ඕනෑම ත්‍රස්ත සංවිධානයකට මේ අවස්ථාවේ දී පණිවිඩයක් යැවිය යුතුයි. අපි එකිනෙකාට ඇඟිල්ල දිගු නොකොට එකාවන්ව කටයුතු කිරීමෙන් සියල්ල දුරු කළ හැකියි. සහරාන් සේම ඔහුට ප්‍රහාර සඳහා උපදෙස් දුන් අය ද අපි ආගමෙන් ඔබ්බට සිත යොමු කරන ශ්‍රී ලාංකිකයන් බව දැනගත යුතුයි.
එසේම ආගමට වඩා වැඩි යමක් ඇති බවට අනාගත පරපුර දැනුවත් කිරීම සඳහා අධ්‍යාපනඥයන්ගේ වගකීම ද මේ මොහොතේ ඉතා වැදගත්ය. වෙනසක් කිරීමට නායකයන් ක්‍රියාකරන තුරු නොසිට මේ රටේ සෑම දෙයකටම වෙනසක් ඇති කළ හැකි බව ද මතක තබා ගන්න. උපුටා ගැනීම අවසන්.
මෙහිදී අපගේ අවධානය යොමු විය යුත්තේ රොහාන් ගුණරත්න මහතා පවසන මාර්ගය අනුගමනය කරමින් ඉන්නවාද යන්නයි. නිදසුනක් වශයෙන් පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධ බව කියැවෙන අන්තවාදි සංවිධාන දෙකක් මේ වන විට තහනමට ලක් වී ඇති නමුත් සිංහල බෞද්ධ ආගම්වාදී සංවිධාන වන බොදුබල සේනා, සිංහල රාවය, මහසොහොන් බලකාය වැනි කණ්ඩායම් තවමත් තමන්ගේ කටයුතු නිදැල්ලේ කරගෙන යමින් සිටිනවා. ඒ අතර සමහරු උත්සාහ කරමින් ඉන්නේ බොදුබලසේනා නායකයාට පොදු සමාවක් අත්කර දෙන්නටයි. එසේම මහසොනේ බලකාය සහ කුලියාපිටිය ආදි ප්‍රදේශ වල මෑත ප්රචණ්ඩ ක්‍රියා අතර සම්බන්ධයක් ගැන කියැවෙද්දීත් එහි නායකයා අත්අඩංගුවට ගැනීම හැර අන් යමක් සිදු වී නැහැ.
එසේම ප්‍රජා නායකයන් ආගමික නායකයන් ආධ්යාපනඥයන් ගේ වගකීම සම්බන්ධයෙන් රොහාන් ගුණරත්න මහතා පවසන කරුණු පිළිබඳවත් කාගෙත් විශේෂයෙන්ම ආණ්ඩුවේත් ආරක්ෂක අංශවලත් අවධානය යොමුවිය යුතුයි. මෙරට ජනවාර්ගික සහ ආගමික සහජීවනය වෙනුවෙන් අධ්‍යාපනයටත් කළහැකි මෙහෙවර විශාලයි. එහෙත් ඊට ගැලපෙන ආකාරයට අපේ අධ්‍යාපන ක්‍රමය සකස් වී නැහැ. විවිධ ජාතීන් හා ආගම් පිළිබඳ සියල්ලන්ටම මනා අධ්‍යාපනයක් ලබාදීම ජාතීන් සහ ආගම් අතර ගැටුම් වලක්වාලන්නට හොඳ මාර්ගයක්.
ගුණරත්න මහතා ගේ යෝජනා අතර වඩාත්ම වැදගත් එකක් වන්නේ ආගමට වඩා වැඩි යමක් ඇති බවට අනාගත පරපුර දැනුවත් කිරීම සඳහා අධ්‍යාපනඥයන් ගේ වගකීම පිළිබඳ කරන මතක් කිරීමයි. අද ලොව පවතින ගැටුම් අතරින් බොහොමය ආගම් පදනම් කරගත් ඒවා බව සලකන කල එය ලෝක මට්ටමෙනුත් වැදගත් අදහසක්. ඒ පිළිබඳ අදාළ අයගේ අවධානය නිසි පරිදි යොමු වේවා!
දේශනයේ කොටස උපුටාගැනීම මවුබිම පුවත් පතෙනි.
අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු
