පුත්තලම් බූරුවො – සම්පත් අමරසිංහ

පුත්තලම බූරුවන්ට  ප්‍රසිද්ධ නගරයකි. බූරුවා යනු මෝඩ සතෙක් ඇයි ප්‍රසිද්ධය. පුත්තලම සහ බූරුවො එකවර සිහි වූයේ ද  2019 5.16 දින පුවත්පතක  පළව තිබූ ප්‍රවෘත්තියක් හේතුවෙනි. ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨය “පර්දාවට සහ අබායට  විරෝධය පා කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෝ සම්ප්‍රදායික ඇඳුමින් සේවයට එති” යනුවෙනි. ඒ අනුව ඉහත දිනයේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිරිසක් (වාර්තාකරු කියන්නේ බහුතර පිරිසක් බවයි. එහෙත් වාර්තාව සැපයීමට පෙර ඔහු එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ථ සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව, අදාළ දිනයේ සේවයට වාර්තා කර සිටි සංඛ්‍යාව,පැමිණ  සිටි සේවක සේවිකාවන්ගේ සම්ප්‍රදායික ඇඳුමින් සැරසී සිටි සංඛ්‍යාව විමසා බැලුවේ ද යන ගැටලුවක්  තිබේ.) රෙද්ද, හැට්ටය, සරමක කමිසයෙන්  සැරසී සේවයට පැමිණ තිබේ. හේතුව වශයෙන් සඳහන් වන්නේ එම කාර්යාලයේ සේවය කරන මුස්ලිම් කාන්තාවගේවන් සහ තරුණියන් පර්දාවෙන්ස සහ අබායෙන් සැරසී සේවයට පැමිණීමට විරෝධය දැක්වීමයි.

මුස්ලිම් කාන්තාවන් හිස වසා අඳින ඇඳුම් හතරකි. බුර්කාව  නිකාබය චදෝරය  සහ හිජාබය යි. බුර්කාවේදී   හිස සහ සිරුර ආවරණයය වන අතර ඇස් කොටස ද රෙදි තීරු රේන්ද වැනි ආකාරයකින් ආවරණය වේ. නිකාබයේදී  දී සිරුර මුළුමනින්ම වැසෙන නමුත්  ඇස් කොටස සඳහා කුඩා විවරයක් තිබේ. චදෝරයෙදී සිරුර ආවරණය වන නමුත්  මුහුණ ආවරණය වන්නේ නැත. හිජාබයේ දී ආවරණය කෙරෙන්නේද හිස කඳ ගෙල කොටස  පමණි. මුහුණ ආවරණය වන්නේ නැත.එසේ හෙයින් බුර්කවේදී හෝ නිකාබයේදී  පළඳින්නා  හඳුනාගැනීම  පිළිබඳ ගැටලුවක් චදොරයෙදී හෝ හිජාබයේ දී පැනනගින්නේ නැත.

මේ කරුනේ දී  පැහැදිලි කරගත යුතු තවත් කරුණක් වන්නේ මෑතදී සහ තහනම් කරන්නට යෙදුණු ඇඳුම් මොනවා ද යන්න ය. මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයා විසින් පනවනු ලැබ ඇති නියෝගයෙන් කියෑවෙන්නේ මෙසේය.

“කිසිම තැනැත්තෙකු විසින් ප්‍රසිද්ධ ස්ථානයකදී ඒ තැනැත්තාගේ හඳුනා ගැනීමට කිසියම් ආකාරයකින් බාධාවක් විය හැකි, ඒ තැනැත්තාගේ සම්පූර්ණ මුහුණ සඟවන ලබන යම් ඇඟලුමක් , ඇඳුමක් හෝ වෙනත් ද්‍රව්‍යයන් නොඇඳිය යුතුය නොපැළැඳිය යුතුය”

සම්පූර්ණ මුහුණද  යන්න අංක 212314 දරන  2019 මැයි 13 අති විශේෂ ගැසට් පත්‍රය මගින් විස්තර කර තිබේ. ඒ “සම්පූර්ණ මුහුණ යන්නන් නළලේ මුදුනේ සිට නිකටේ අග දක්වාද, දෙකන්  අතරද එහෙත් දෙකන්  නොඇතුළත්වන  යම් තැනැත්තෙකුගේ මුහුණ අදහස් වේ” යනුවෙනි.

ඒ අනුව ගත් කල මුස්ලිම් කතුන් අඳිනු ලබන බුර්කාව සහ නිකාබය තහනම් වුවද පර්දාව,චදෝරය සහ හිජාබය තහනම් නැත. කරුවලගස්වැව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක පිරිස ඒ අනුව කර ඇත්තේ නීති විරෝධී කටයුත්තකි. එහෙනම් ආණ්ඩුවේ ගැසට් නිවේදනයෙන් තහනම් කර නැති ඇඳුමකින් සැරසී රාජකාරියට වාර්තා ගනු ලබන මුස්ලිම් කාන්තාවන් අපහසුතාවයට ලක්කරන ආකාරයෙන් හැසිරී එම කතුන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ය. එකී කටයුත්ත මගින් ‍ප්‍රකාශ වන්නේ ප්‍ අදාළල පිරිසගේ සිංහල ජාති ජාතිවාදය බවට  ගැටලුවක් නැත.

පුත්තලම් බූරුවන් සිහියට නැගෙන තවත්  කටයුත්තක් ද අදාළ පිරිස් විසින් කර ඇති බව ඉහත ප්‍රවෘත්තියේ සඳහන්. එය නම් කාර්යාලයේ  සේවය කරන සියලු ජාතීන් නියෝජනය කරන කාන්තාවන්ට සාරියකින් හෝ ඔසරියකින් සැරසී සේවයට පැමිණීමට චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු සලසා දෙන මෙන් ඉල්ලමින් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපියක් මගින් ඉල්ලීමක් කිරීමය.

මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ සරල දැනීමක් හෝ ඇති  පිරිසක් නම් මූලික මිනිස් අයිතිවාසිකම් වලට ඉතා සුළුවෙන් හෝ ගරු කරන පුද්ගලයන් පිරිසක් නම් එවන් චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් නොකරනු  ඇතිවා පමණක් නොවේ.  එවැන්නක් කරන්නට  හිතන්නෙවත් නැති වනු ඇත.

ඒ පිළිබඳ කරුවලගස්වැව ප්‍රාදේශීය  ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ,”ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  නිලධාරීන් විසින් මට ලිපියක් යොමු කර තිබෙනවා. එයට බාධා කරන්න මට බැහැ. නමුත් ඉදිරි කටයුතු වෙනුවෙන් මම ඉහළ අංශ වලට යොමු කරන්න කටයුතු කරනවා ඒ හැර මට කිසිවක් කරන්න බැහැ” යනුුවෙනි.

ලිපියක්  යොමු කිරීමට බාධා කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයාට නොහැකි නමුත්, ඉහත ලිපියෙන් ඉල්ලන ඉල්ලීම නීත්‍යානුකූල නොවන බව තමා යටතේ සේවය කරන නිලධාරීන්ට පහදා දීමට අදාල ප්‍රාදේශීය ලේකම්වරයාට අයිතියක් මෙන්ම යුතුකමක් ද තිබේ. තම කාර්යාලයේ නීත්‍යානුකූල ඇඳුමකින් සැරසී සේවය කරන පිරිසට හිරිහැර වන ආකාරයෙන් තවත් පිරිසක් කටයුතු කරන්නේ නම් එම කටයුත්ත වළක්වා අනෙක් පිරිසට සිදුවන අපහසුතාව අවමානය  මගහරවා දීමට කාර්යාලය ප්‍රධානියා වශයෙන් ඔහු කළ යුතුය

ඒ වෙනුවට අදාල ප්‍රාදේශීය  ලේකම්වරයා කර ඇත්තේ ලිපිය ඉහලට යොමු කරන බව පවසා අත පිසදා ගැනීම ය. ඉතින් පුත්තලම් බූරුවන් මතක් නොකර ඉන්නේ කෙසේද?

දිස්ත්‍රික් ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බව ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ, “ගැටළුවක් නැහැ ඒකත් ඇඳුමක් නේ” යනුවෙනි. පිරිසක් රෙදි හැට්ට සරම් කමිස ඇඳීම කාර්යාල විනය සම්බන්ධයෙන් ගැටළුවක් නොවුවද ඔවුන් එසේ කරන්නේ තවත් කණ්ඩායමක් අපහසුතාවයට පත් කිරීමට ඔවුන්ට විරෝධය පෑමට වූ විට එතන ගැටළුවක් තිබේ. “එයත් ඇඳුමක්” යන සරල පිළිතුරකින් අදාළ කරුණ මගහැරයෑමට දිස්ත්‍රික් ලේකම්වරයාට එහිදී අයිතියක් නැත. ඔහු කළ යුතුව තිබුණේ තම සේවක මණ්ඩලයේ පිරිසකට හිරිහැර වන ආකාරයට හැසිරෙන පිරිසට අවවාද කිරීම් ය. ගැටලුව එයින්ද නිරාකරණය නොවේ නම් අදාළ පිරිසට අදාළ අයට සුදුසු  විනය ක්‍රියාමාර්ග ගැනීමය. එසේ නොවූ පුත්තලම් බූරුවන් මතක්  වීම වළක්වන්නට හැකියාවක් නැත.

මෙයට පෙර වතාවක  අවිස්සාවේල්ල ප්‍රදේශ්යේ පාසලකදී පුත්තලම් බූරුවන් සිහියට නැඟෙන ආකාරයේ  හැසිරීමක් ප්‍රදර්ශනය කර තිබුනි. බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා  මැදිහත් වී අදාළ   ප්‍රශ්නයට මුහුණ දුන් ගුරුවරියන්ට වෙනත් පාසල් ලබා දෙන්නට සිදුවිය. ඉහත පන්නයේ තවත් පුත්තලම් බුරු  ක්‍රියාවක් 2019 මැයි 18 සෙනසුරාදා පුවත්පතක වාර්තා වී තිබුනි. ඉන් කියවුණේ කටුගස්තොට ප්‍රදේශයේ කතෝලික  නමක් ඇති බාලිකා පාසලක දෙමළ අංශයේ සේවය කරන ගුරු මහත්මීන් පිරිසකගේ ඇඳුමට විරුද්ධව ආදී ශිෂ්‍යයන් ඇතුළු පිරිසක් විරෝධය දක්වා ඇති බවය.

අනුමාන කළ හැකි වන්නේ ඔවුන් අදාල පාසල් ගුරුවරියන්ගේ චදෝරයට  හෝ හිජාබයට  විරුද්ධ වන්නට ඇති බව ය. හේතුව බුර්කාව හෝ  නිකාබ් ඇඳ පාසලට ඒම  පවතින තත්ත්වය තුළ නීති විරෝධී බැවින් එසේ කරන්නට ගුරුවරියන් ඉදිරිපත් වනු ඇතැයි සිතිය නො හැකි බැවිනි

එම විරෝධයට  එම පාසලේ ආදි ශිෂ්‍යාවන් ද සහභාගි වූ බව කියති. අහෝ! එම ආදි ශිෂ්‍යාවන් පාසලටද කර ඇත්තේ නිගරුවකි. එම පාසලෙන් බිහි වූ සියලු ආදි ශිෂ්‍යාවන් එසේ නැතැයි හිත හදා ගන්නට අපට සිදුවේ. ඒ ප්‍රවෘත්තිය සමග ඡායාරූප පල වී තිබුණේ පොලිස් නිලධාරීන් එක් අයෙකු  ඒ අසල සිටි බවයි.  එවැනි විරෝධතාවකදී පොලිසිය කළ යුතු වන්නේ නීත්‍යානුකූල ඇඳුමකට විරුද්ධවීම නීත්‍යානුකූල නොවන බව පහදා දී පිරිස විසුරුවා හැරීමය. පැහැදිලි කිරීම් නොපිළිගන්නේ නම් අවම බලය උපරිම බලය යොදවා  නීත්‍යානුකූල ඇඳුම්කට විරෝධය දක්වා එදිනෙදා ජන ජීවිතයේත් අදාල ගුරුවරියන්ගේ  තමා කැමති ඇඳුමක්  ඇඳීමේ  නිදහසටත්  බාධා කරන්නන් විසුරවා හැරීමට පොලීසිය කටයුතු කළ යුතුය. නමුත් එය එසේ සිදු  වූ බවක් නොපෙනෙන බැවින් පොලිසියේ  හැසිරීමෙන් ද සිදුවන්නේ පුත්තලම් බූරුවා නැවත නැවතත් මතක් වීම ය.

කටුගස්තොට විරෝධය එම පාසලේ දෙමළ අංශයේ ගුරුවරියන් පිරිසකටය. අදාල ගුරුවරියන් බුර්කා හෝ නිකාබ් ඇඳ  පාසලට ආවේ නම් විරෝධතාකරුවන් කළ යුතුව තිබුණේ විදුහල්පතිට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර ඇඳුම් තහනම් කර වීමය. සිදුව ඇත්තේ එය නොවේ

ඉහත තත්ත්වය මත අදාළ  ගුරුවරියන්ගේ මානසික තත්වය කුමක් විය යුතු ද? අදාළ ගුරු ගුරුවරියන්ගෙන්  ඉගෙනුම ලබන සිසුවියන් ගේ මානසික තත්ත්වය කුමක් ද ?එම සිසුවියන් අතර මුස්ලිම් ජාතික සිසුවියන් සිටී නම් ඔවුනට අනාගතයේ අයි.එස්  හිතවාදීන් වන්නට පවා බලපෑමක් මේ ඔස්සේ සිදු විය නොහැකි ද? අදාළ ප්‍රශ්නයට මුහුණ දුන් ගුරුවරියන්ට  එම පාසලේ නොව වෙනත්  පාසලක දී පවා හිත සන්සුන් කරගෙන ගුරු වෘත්තියේ  යෙදෙන්නට හැකි මානසික වටපිටාවක් ඉතිරි වනු ඇත්ද? ඉහත ආකාරයේ පුත්තලම් බූරු  ක්‍රියා මග පාදන්නේ ජාතීන් අතර සමගිය නොව අසමගියට බව වටහා ගෙන ආණ්ඩුව හෝ ආරක්ෂක අංශ ඒවා වළක්වන්නට  පියවර නොගන්නේ මන්ද?

හලාවත  කුලියාපිටිය ආදී  ප්‍රදේශවල පුත්තලම් බූරු හැසිරීමෙන් සිදුවූ විනාශයන් කරුවලගස්වැව කටුගස්තොට අවිස්සාවේල්ල වැනි ප්‍රදේශ වල හැසිරීමත් එකම කාසියේ දෙපැත්තකි. ඒ මදිවට දැන් ආණ්ඩුව රටපුරා තහනම් කළ බුර්කාව ප්‍රාදේශීය සභා මට්ටමෙන් තහනම් කරන්න සමහර ප්‍රාදේශීය සභා කටයුතු කරන බව ප්‍රවෘත්ති පළ වේ. ඉන් අදහස් වන්නේ තම ප්‍රාදේශීය සභා පිහිටා ඇත්තේ ලංකාව තුළ නොවන බව ද? නැතහොත් ලංකාවේ පොදු නීතිය ප්‍රාදේශීය සභාවලට අදාළ නැති බව ද? නැතහොත් එම ප්‍රාදේශීය සභාවල පාලනය භාරව සිටින්නේ පුත්තලම නගරයට ආවේණික සත්ත්ව විශේෂයෙන් ම කොටසක් බවද පැහැදිලි කරගත යුතුයි. හේතුව කුමක් වුවත් අවසන් ඵලය රට තවත් ප්‍රපාතයට යාමය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *