අප්‍රේල් තුවාලය සුව කළ නොහැකි ද? – අනුර සූරියබණ්ඩාර

අප්‍රේල් 21 සිද්ධියත් සමග රටේ තත්ත්වය ගැන බොහෝ අයගේ උනන්දුව වැඩි වී තිබේ.  එක්තරා ආකාරයකින් එය බිය හේතුවෙන් ඇති වූ තත්ත්වයක් වශයෙන්ද  සලකන්නට පුළුවන.

උතුරු  නැගෙනහිර ප්‍රදේශවල පැවැති තිස් අවුරුදු යුද්ධය සමයේ දෙහිවල, මහ බැංකුව,දළදා මැදුර ,ජය ශ්‍රී මහා බෝධිය, අරන්තලාව,  බදුල්ල ,කෙන්ට් ෆාම්  ආදී වශයෙන් රට පුරා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර , කපා කොටා මරා දැමීම්,  වෙඩි තබා ඝාතනය කිරීම සිදු වුව ද ජනතාවගේ මනසේ තිබූ අදහස වූයේ යුද්ධය පවතින්නේ උතුරු  නැගෙනහිර වැනි  අදහසකි .

නමුත් අප්‍රේල්  21 න්ප්‍රහාරයෙන් පසුව ඇතිවූ තත්ත්වය ඊට වෙනස්ය. ඊට බලපාන ප්‍රධාන කාරණය දෙමළ ජනතාව මෙන් මුස්ලිම් ජනතාවගේ වාසස්ථාන දිවයිනේ එක් ප්‍රදේශයකටට සීමා නොවී තිබීම ය. එනම් මුස්ලිම් ජනතාව අඩු වැඩි වශයෙන් දිවයින පුරාම විසිරී ජීවත්වන්නන් වීම ය . එසේම   රට පුරා විසිරී ඇති මුස්ලිම් වාස ප්‍රදේශ ඒ ඒ ප්‍රදේශ වල අන්  ජනතාව අතර වෙන්ව පිහිටා තිබීම ය.  එනම් නගරයක වුව මුස්ලිම් ජනතාව වාසය කරන ප්‍රදේශයක් වෙන්ව පැවතීම ය.  මුස්ලිම් ජනතාව සඳහාම  ප්‍රසිද්ධ අකුරණ , තිහාරිය වැනි ස්ථාන නිදර්ශන වශයෙන් පවතී.  ඒ අනුව බෞද්ධ සහ කිතුණු ජනතාව අතර ඇති මතය වන්නේ සතුරා (මුස්ලිමානුවා)  තමා අතරම ජීවත් වෙමින් තමාට පහර දීමට  සූදානම්ව සිටින බව ය.

මා සාමාන්‍යයෙන් කොණ්ඩය,  රැවුල කපන බාබර් සාප්පුවට මෙවර ගිය විට මාගේ වාරය ලැබෙන තෙක් රැඳී සිටි මුළු කාලය පුරාමත් රැවුල කොණ්ඩය කපන්නට ගතවුණු කාලය පුරාමත් බාබර් සාප්පුව තුල පැවති එකම සංවාදය වූයේ මුස්ලිම් තර්ජනයයි.

” මුන්අපිත් එක්ක ඉඳලා අපිටම කෙලිනවා” ” තම්බි කොයි එකත් එකයි එකෙක්වත් විශ්වාස කරන්න බැහැ”  ඕකුන්  හැම එකාම ISIS කාරයින්ට සල්ලි දෙනවා.  ආදී නොයෙකුත් ජාතිවාදී ප්‍රකාශය සංවාද අතර නොමදව තිබුණි.

තවත් කෙනෙක් කීවේ කුරානයෙන් උගන්නනේ මිනී මරන්නට , සත්තු මරන්න බවයි.  මැදපෙරදිග රටවල ගල් ගසා මැරීම , අත පය කැපීම ඊට  නිදර්ශන වශයෙන් පෙන්වන පෙනුණි. ISIS ත්‍රස්තවාදින  වැරදිකරුවන්ගේ ගෙල සිදින ආකාරය දැක්වෙන පසුගිය කාලයේ අන්තර්ජාලය හරහා හුවමාරුවන වීඩියෝ පට බාබර් සාප්පුවේ පිරිසක් භාරගෙන තිබුණේ ඉස්ලාම් ධර්මයේ ම්ලේච්ඡත්වය පෙන්වන සාධක ලෙසය.

මුස්ලිම් කඩවලින් බඩු මිලදී නොගත යුතු බව එක් අයෙකි විට සියල්ලන්ම එම  යෝජනාව අනුමත කළා පමණක් නොවේ.  එම යෝජනාව එන්නට පෙර සිටම එනම්,  ඒ වන විටත් ඔවුන් එම අදහස දරමින් සිටි බව සියල්ලන්ගේම ප්‍රතිචාර අනුව පැහැදිලි විය.

කෙනෙක් පසුතැවුනේ මස්  වෙළඳාම් කරන්නට සිංහල කිසිවෙකු ඉදිරිපත් වී නැති බැවිනි. ( මා වාසය කරන නගරයේ කුකුල් මස්, ගව මස් වෙළඳසැල් සියල්ල පවත්වාගෙන යන්නේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් විසිනි.) ”සිංහල මස් කඩේ ” යන  නමින් මස් කඩයක් ආරම්භ කළ යුතු බව එක් අයෙක් කීවේ,  මොකාට මොනවාට බය වෙන්න ද ? කියමින් ඌණ පූර්ණයක් ද කරමිනි.

ඒ ඉහත සංවාදවලින් වැටහෙන කරුණ වන්නේ පසුගිය බෝම්බ ප්‍රහාර හේතුවෙන් ලංකාවේ සමාජයේ මුස්ලිම් විරෝධය කොයි තරම් බරපතළ ලෙස ඉස්මතු වී තිබේද යන්නයි.  බෝම්බ ප්‍රහාරයට පෙරත් ලංකාවේ මුස්ලිම් විරෝධයක් පැවති බව ඇත්තකි.  නමුත් එතෙක් එය පැවැත්වුණේ සිංහල මුස්ලිම් නැතහොත් වඩාත්ම මුස්ලිම් බෞද්ධ ගැටුමක්  වශයෙනි. මෙවර බෝම්බ ප්‍රහාරය හේතුවෙන් සිංහල බෞද්ධ පිරිස්ට අමතරව සිංහල කිතුනු පිරිසක්ද  මුස්ලිම් විරෝධී කොටසට එක්කාසු කරනු ලැබ තිබේ.  බුද්ධාගම මෙරට පැතිර ඇත්තේ සිංහල ජනතාව අතරය.  එහෙත්කිතුනුවන් අතර දෙමළ ජනතාව ද සිටිති.  එපමණක් නොවේ මඩකලපුව කිතුණු දේවස්ථානයේ  ISIS ප්‍රහාරයට ලක් වූවෝ බහුතරය දෙමළ කිතුනු ජනතාවය .  ඒ අනුව කිතුනු දෙමළ ජනතාවද මේ වන විට පසුවන්නේ මුස්ලිම් විරෝධී අදහසක බව  අනුමානයෙන් තොරවම විශ්වාස කළ හැකිය.  ඒ අනුව මෙතෙක් ලංකාවේ පැවති සිංහල – දෙමළ,  සිංහල – මුස්ලිම්,  සිංහල –  ඉස්ලාම් ,බෞද්ධ – හින්දු ගැටුම් වෙනුවට අනාගතයේ බෞද්ධ-  හින්දු – ඉස්ලාම් ගැටුමක ස්වරූපයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ගැටුමක්  ඇති වීමට අවශ්‍ය පරිසරය අප්‍රේල් 21 ප්‍රහාරය විසින් සකසා ඇති බව තේරුම් ගත යුතුව තිබේ.

බෞද්ධ කිතුනු ජනතාවගේ පොදු අදහස වන්නේ සෑම මුස්ලිම්වරයෙකුම IS වාදියෙකු හෝ  ඔවුන්ගේ අනුග්‍රහකයෙකු  බවයි.  මුස්ලිම්  වියතුන්, ඉස්ලාම් පූජකවරුන්, මුස්ලිම් දේශපාලනඥයින් වැනි අය ත්‍රස්තවාදීන් යනු සියළු මුස්ලිම්වරු නොවන බව කියන්නට උත්සාහ කරන බව පෙනුනද බෞද්ධ කිතුනු ප්‍රජාවට ඒ බව බරපතළ ලෙස අවධාරණයය කරන්නට ඔවුනගේ උත්සාහයට හැකි වී ඇති බව පෙනෙන්නට නැත.

අප්‍රේල් 21 ප්‍රහාරයට මෙරට මුස්ලිම් වරුන් විරෝධය පළ කරන්නේ ප්‍රසිද්ධියේ එයට පහර දෙන පිළිවෙතක  පිහිටා නොවීමද  මුස්ලිම් ජනයා කෙරෙහි බෞද්ධ කිතුනු විශ්වාසය පළුදු වීමට  හේතුවක් වී ඇති බව පෙනේ.  මුස්ලිම්වරුන් අප්‍රේල් 21 ප්‍රහාරයට දක්වන විරෝධය පෙනෙන්නේ තමනුත් ආරක්ෂා වී ත්‍රස්තවාදීන්ට විරුද්ධ වීමට දරන උත්සාහයක් වශයෙනි.

නිදර්ශනයක් වශයෙන් මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් ප්‍රහාරයට විරෝධය දැක්වීමක් වශයෙන් මෙතෙක් සිදුවී ඇත්තේ මව්ලවි වරුන් කිහිප දෙනෙක් ප්‍රකාශ ලබා දීම, මුස්ලිම් දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන මුස්ලිම්වරුන් එකතුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් දෙකක් පැවැත්වීම වැනි සුළු කටයුතු එක දෙකක් පමණි. ඒ සඳහා වුවත් මෙරට මුස්ලිම් වරුන් කඩිනම් එකතු වූයේ නැත.  ඔවුන් එසේ කළේද සිද්ධියෙන් සතියකටත් වඩා ගතවූ පසුවය.  මුල් අවස්ථාවේම ප්‍රහාරයට එරෙහිවව කතා කළ ඇතැම්  මුස්ලිම් වරුන්ට විවිධ විරෝධතා මුස්ලිම්වරුන් අතරින්ම එල්ල වූ බවට තහවුරු නොකල ආරංචි ද පවතී.

පවතින තත්වය අනුව පෙනෙන්නේ ප්‍රහාරය ගැන එක මතයකට එන්නට  මෙරට මුස්ලිම් වරුන්ට මෙතෙක් නොහැකි වී ඇති බවයි.  ඒ අතරතුර පල්ලිවල කැලේ කපන්නට කටු ගෙනාවා, කෙල්ලන් ආරක්ෂා කරන්ට නිවෙස් වල කටු තබා ගෙන සිටියා වැනි අදහස් විසින්ද තත්ත්වය බරපතළ කර තිබේ. ඇතැම්  පුද්ගලයන් විවිධ හේතු මත කටු තබාගෙන සිටි බව ඇත්තකි.  ප්‍රහාරයෙන් පසුව කළ පර්යේෂණවලදී ඉස්ලාම් පල්ලිවලින් කඩු හමුවූ බවද ඇත්තකි.  ආගමික ස්ථානවලට කටු තොග පිටින් අවශ්‍ය කුමකටද යන සැකය  ජනතාව අතර ඇති වීමද  සාධාරණය.

මේ සියලු කරුණු පැහැදිලි කිරීමේ වගකීම ඇත්තේ මුස්ලීම් සමාජයටම ය.  එය තැනින් තැන ප්‍රවෘත්ති සාකච්ඡා තැබීම් මගින් කළ හැකි දෙයක්ද නොවේ. තමන්ට  එල්ල වී ඇති චෝදනා වෙන් සැකයෙන් ගොඩ යෑමට නම් මුස්ලිම් ජනතාව පුළුල් පෙරමුණක් වශයෙන් එක් විය යුතුව ඇත. මහජන රැළියක්. යාඥාවක් , උද්ඝෝෂණයක්, උපවාසයක් වැනි බලගතු ව්‍යාපාරයක් හරහා ඔවුන් තමන්ගේ විරෝධය බෞද්ධ කිතුනු ජනතාවට ප්‍රකාශ කළ යුතුය.  එහිදී ත්‍රස්තවිරෝධී පිලට සියලු මුස්ලිම් කණ්ඩායම් එක්ව සිටින බව ද ප්‍රදර්ශනය කරන්නට ඔවුන්ට හැකියාව තිබිය යුතුය.  මේ ප්‍රශ්නය විසඳීමට මැදිහත් විය යුතු අනෙක් පාර්ශවය වන්නේ ආණ්ඩුව ය . ජන කොටස් අතර ඇතිවී තිබෙන සැකය  දුරු කිරීම සඳහා ආණ්ඩුවට රාජ්‍ය යාන්ත්‍රණයට කළ හැකි කටයුතු කොතෙක්ද තිබේ.  අනෙක් අතට එම සැකය දුරු කරන්නට කටයුතු කිරීම ආණ්ඩුවෙත් රජයේ වගකීමක්  ද වේ.

බෞද්ධ සහ කිතුණු ආගමික  නායකත්වය ද ඒ සඳහා මැදිහත් විය යුතුය.  ඔවුන් කළ යුත්තේ  ත්‍රස්තවාදියා යනු සමස්ත මුස්ලිම්  ජනතාව නොවන බව තම අනුගාමිකයන්ගේ මනස්  වලට  තහවුරු කිරීමට  කටයුතු කිරීම ය.  එසේම  මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරී  හෝ  සැකයෙන්යුතුව කටයුතු කිරීමෙන් ඇතිවිය හැකි  නරක ප්‍රතිඵලද බෞද්ධ කිතුනු ආගමික නායකත්වය විසින් තම අනුගාමිකයන්ට  පැහැදිලි කළ යුතුය.

ඉහත කිසිවක්දේශපාලකයන්ට කළ හැකි වන්නේද නැත.  හේතුව ඔවුන් කෙරෙහි ජනතාවට විශ්වාසයක් නොමැති වීමය.  ඒ නිසා එවැනි වැඩසටහන් වලට දේශපාලකයන් ගාවා නොගන්න වග බලා ගත යුතුය.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *