මහින්ද ට බෑ; මමයි ජනාධිපති අපේක්ෂක ගෝඨා නැවතත් ජත්‍යන්තරයට කියයි

දහනවවන සංශෝධනයේ නීති රීති අනුව තම සහෝදර මහින්ද රාජපක්ෂට නැවත ජනපතිවරණයකට තරග කරන්නට බැරි නිසා තමා ඉදිරි ජනපතිවරණයට නිසැක ලෙස ඉදිරිපත්වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉන්දියාවේ පළවන ‘ද වීක්’ (The Week) සඟරාවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වී නැවතත් අවධාරණය කර තිබේ. මීට පෙර පසුගිය සතියේ රොයිටර් පුවත් සේවයට ද ඔහු මෙම අදහස දක්වා තිබුණි.

ලබන මැයි 12 වනදා පළවන්නට නියමිත ‘ද වීක්’ සඟරාවේ අලුත්ම කලාපය මේ වන විටත් වෙළෙඳ පොළට නිකුත් කර තිබෙන අතර ගෝඨාභය මෙම අදහස් දැක්වීම සිදු කර ඇත්තේ එම කලාපයටයි.
එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අදහස් දක්වා තිබෙන ගෝඨාභය තමා හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙන්ම යුද්ධය අවසන් කළ ප්‍රධානියෙකු හැටියට මෙම සිදුවීම ගැන කම්පනයට හා කණගාටුවට පත්වන බව දන්වා ඇත.

මීළඟ ජනාධිපතිවරණයේ ඒකාබද්ධ විපක්ෂ යේ නැත හොත් පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරනු ඇතැයි රාපක්ෂවාදීන් හා පොහොට්ටු සාමාජිකයන් අපේක්ෂා කළ අතර එසේ නම් කිරීමට ප්‍රථම තමා මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා රොයිටර් පුවත් සේවයට ගිය සතියේ ප්‍රකාශ කළේය. ඇමරිකානු පුරවැසි භාවයෙන් තමා ඉවත් වීමට කටයුතු කරන බවට එම සඟරාවට ප්‍රකාශ කරන ගෝඨාභය තමා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇති බව ප්‍රකාශ නොකරයි.

මේ අතර තම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවට හෝ ඔහු නොවන බවට පොහොට්ටු පක්ෂය තවම ප්‍රකාශයක් කර නැත. සමහර විට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය වෙනත් අයකු නම් කිරීමටත් ඉඩ ඇත.

එසේ වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට තරඟ කිරීමට සිදුවෙන්නේ වෙනත් පක්ෂයකිනි. එසේ පක්ෂ නාමය කුලියට ගැනීමට හැකි දේශපාලන පක්ෂ කිහිපයක් තිබේ. පසුගිය 2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා තරඟ වැදුනේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමැති පක්ෂයෙන් හා එම පක්ෂයේ ලාංඡනය වන හංසයා ලකුණෙනි. එසේම මෙවර ගෝඨාභයට වෙනත් පක්ෂයක සහයෝගය ලබාගැනීමට සිදුවනු ඇත.

එළිය මැයෙන් සම්මන්ත්‍රණ මාලාවක් පවත්වමින් තමා වෙත පිරිසක් ගොනු කිරීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ගෝඨාභය රාජපක්ෂ මහතා දියත් කරන්නට උත්සාහ කළත් ලබන ජනාධිපතිවරණයට පෙර අලුත් පක්ෂයක් ලියාපදිංචි කර එයින් ඔහුට ගරඟ කිරීමට කාලවේලා මදි බව ගෝඨාභය හිතවාදීන්ගේ අදහසයි. ඔවුන් කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා අපේක්ෂකත්වය නොදුන්නහොත් එළිය නිවාගෙන කරුවලේ යාමට ගෝඨාභයට සිදුවෙන බවයි.

 

මනෝජ්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *