ත්‍රස්තවාදී නායකයන් මියගිහින්. අවශ්‍ය අය වැඩි දෙනෙක් අත්අඩංගුවේ. තවත් ඉක්මන් ප්‍රහාරයකට ඉඩ අඩුයි – ආරක්ෂක අංශ ආරංචි මාර්ග

පාස්කු ඉරිදා හා පසුව සයින්දුමරදු ප්‍රහාරයෙන් ත්‍රස්තවාදී නායකයින් ගණනාවක් මියගොස් ඇති අතර සංවිධානයේ අත්‍යාවශ්‍ය ප්‍රබලයින් අත්අඩංගුවට පත්වී ඉතිරි පිරිසටත් සැඟවී සිටින්නට සිදු වී ඇති තත්ත්වයක් තුළ ඉක්මණින් තවත් ප්‍රහාරයක් සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමට මෙම සංවිධානයට හැකියාවක් ඇතැයි විශ්වාස කළ නොහැකි බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග කියයි. 21 වැනිදා ප්‍රහාර එල්ල කළ සංවිධාන දෙකෙහි ප්‍රධාප පෙළේ ක්‍රියාකාරීන් 58කට වැඩි පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් පවතියි. සංවිධානයේ ක්‍රියාකාරිත්වය ගැන මොවුන්ගෙන් තවත් තොරතුරු හෙළිවන අතර ඒ අනුව පරීක්ෂා කිරීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකරමින් පවතියි. සංවිධානය පාවිච්චි කළ ආරක්ෂක නිවාස ආදිය පිළිබඳව ද තොරතුරු හෙළිදරව් වී ඇත.

හමුදා බුද්ධි අංශ අප්‍රේල් 26 වැනිදා ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මෙම සංවිධානවල සාමාජිකත්වය 135ක් පමණ වෙයි. එයින් මරාගෙන මැරෙන්න සුදානමෙහි සිටින්නේ 39කි. වෙනත් වාර්තා කියන්නේ සාමාජිකයන් 160ක් බවයි. එයින් මරාගෙන මැරෙන ප්‍රහාරවලට බහුතරය විරුද්ධ වූ නිසා සංවිධානයේ බෙදීමක් ඇති වූ බව ද වාර්තා විය. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළේ එසේ කෑඩි ගිය පිරිසකි.

මුස්ලිම් ජනතාවගෙන් බහුතරය මෙම කණ්ඩායමට එරෙහි වීමත්, අප්‍රේල් 21දායින් පසුව මොවුන් පිළිබඳව තොරතුරා ලබාදීමට එම ජනතාව වැඩි වැඩියෙන් ඉදිරිපත් වීමත් ඔවුන්ට තවත් ප්‍රහාර සංවිධාන කර ගැනීමට බාදාවක් බවට පත්ව ඇතැයි විශ්වාස කෙරෙයි. කල්මුනේ හා සයින්දමර්දු ප්‍රහාරවල මෙම කණ්ඩායමේ ආරක්ෂිත නිවාස පිළිබඳව තොරතුරු ලබාදුන්නේ ද මුස්ලිම් ජනතාව විසින්මය. 21 වනදා ප්‍රහාරය නිසා බියටත් ලජ්ජාවටත් පත්ව සිටින බහුතර මුස්ලිම් ජනයා මේ වන විට වඩාත් විමසිල්ලෙන් සිටින බව කියති.

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සිටම රජයේ බුද්ධි අංශවලට මෙම තොරතුරු ලැබී තිබූ අතර මේ වන විට තවත් බොහෝ තොරතුරු ලැබී ඇති බව අනේ ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත් අනතුරක් නැතැයි සිතනවාට වඩා අනතුරක් ඇතැයි සිතා ක්‍රියාකිරීම ආරක්ෂිත බව කියන ආරක්ෂක ආරංචි මාර්ග කියන්නේ දැනට කරගෙන යන ක්‍රියාන්විතය මගින් මහජන ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කිරීමට හැකි වන බව තමන්ගේ තක්සේරුව වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *