|

කිසිවකු වෙනස් නොවේ නම් කිසිවක් වෙනස් නොවේ – නිශාන්ත කමලදාස

පාස්කු ඉරිදා ඇති වූ ව්‍යසනය සම්බන්ධයෙන් අවසන් වරට මා දුටු සංඛ්‍යා ලේඛනවලට අනුව, සිද්ධිය නිසා මියගිය සංඛ්‍යාව 290 ක් වන විට, තුවාල ලැබූ සංඛ්‍යාව පන්සියයකට අධික වී තිබුණි. එය ශ්‍රී ලංකාව පමණක් නොව, මුළු මහත් ශිෂ්ඨ ලෝකය ම කම්පනයට පත් කරන්නට ඇත. මියගිය හා තුවාල ලැබූ බොහෝ දෙනා මේ බෝම්බ තැබීමට කටයුතු කළ කිසිවකුට, ඔවුන්ගේ කෙස් ගහකට හෝ ඔවුන්ගේ අරමුණකට, පෞද්ගලිකව නපුරක් කළ අය නොවීම, ඒ කම්පනය දරා ගැනීමට නොහැකි වීමට තවත් ප්‍රබල හේතුවක් විය. කොහේවත් නැති මිනිසුන් මෙපමණ සංඛ්‍යාවකට මේසා විශාල නපුරක් කළ හැක්කේ කෙසේ ද? බොහෝ දෙනකු උත්තර හොයන්නට දඟලන ප්‍රශ්නය එය විය හැකි ය.

අප රට, තිස් අවුරුදු ශාපලත් යුද්ධය අවසන් කර, තවමත් වසර දහයක් සම්පූර්ණ කර නැත. ඉතිහාසඥයන් පවසන විදිහට, අපේ රටේ ලේ වැගිරීම් සහිත කළකෝලාහල සෑම වසර හතකට වරක් වත් සිදු වේ. ඒ, මෑත අතීතයේ අප තැබූ වාර්තාව ය. ඒත්, අප ඒවායින් ඉගෙන ගන්නේ නැත. හේතුව, මේ සිද්ධි දෙස අප කලින් බැලූ කෝණයෙන් ම, තව දුරටත් බැලීම ය. වෙනත් කෝණයකින් බැලීම ප්‍රතික්ෂේප කිරීම ය.

දැන් මේ එන්නේ ඊට වඩා දරුණු නපුරක් විය හැකි ය. එසේ වන්නේ ත්‍රස්තවාදය අන් සියල්ල මෙන් ම ගෝලියකරණය වී තිබීම ය.

මේ අප විඳවන්නේ නවසීලන්තයේ මුස්ලිම් පල්ලියට එල්ල කළ ප්‍රහාරයට උත්තරයක ප්‍රතිඵලයක් විය හැකි ය. ඒ ගෝලීයකරණයේ ස්වභාවය ය. ලෝකයේ එක් තැනක ප්‍රශ්නයකට උත්තර ලැබෙන්නේ වෙනත් කෝණයකින් වීම ගෝලීයකරණයේ ස්වභාවය ය.

ඇතැම් විට මේ තුළ පණිවිඩ දෙකක් තිබෙනවාද විය හැකි ය. එකක් ලෝකයට ය. අප කලින් ද සඳහන් කළ පරිදි ඒ නවසීලන්තයේ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්තර එම රටෙන් නොව, ලොව හතර දිග් භාගයෙන් ම පැමිණිය හැකි ය යන්න ය. එසේ කළ, කරන, කණ්ඩායමට අයත් කිසිවකු ලොව කොහේ සිටියත් සුරක්ෂිත නැත යන බව අඟවන්නට ය. බෝම්බකරුවන්ගේ ඉලක්කය ක්‍රිස්තියානි පල්ලි හා පාස්කු ඉරිදා උදෑසන ආහාර මේසය වී තිබුණේ, ඒ බව කියන්නට ය. අනෙක් පණිවිඩය රටට ය. මුස්ලිම් මිනිසුන්ට එරෙහිව නොපනත්කම් තව දුරටත් දේශීය වශයෙන් ද නො ඉවසන බව කියන්නට ය. ඒ අනුව එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු එලා ගැනීම මේ ප්‍රහාරයේ අරමුණ විය හැකි ය.

සන්නිවේදනය අරුම පුදුම එකකි. පණිවිඩය යවන්නා කුමක් කියන්නට තැත් කළ ද, පණිවිඩය ලැබෙන තැනැත්තා ඇතැම් විට එයින් ගන්නේ එහෙම පිටින් ම වෙනත් අරුතකි. ඒ නිසා ලැබෙන ප්‍රතිඵලය අනපේක්ෂිත විය හැකි ය.

අපට ගෙනෙන පණිවිඩය

සියලු කලබලවලට මුල ආගම් බව කියන්නට, අනාගමිකයන්ට මේ අපරාධය කදිම සාක්ෂියකි. ඔවුන්ට අනුව මේ අපරාධ නැති වන්නේ ආගම් නැත්තට ම නැතිවුණු දාට ය. තමන්ගේ බැතිමතුන්ට ආරක්ෂාව සැලසිය නොහැකි දෙවි කෙනකු ඇදහිය යුත්තේ මන්ද යන්න, ප්‍රශ්නයක් ලෙස මතු කරමින් ඔවුහු මේ අවස්ථාව තම මතවාදය පතුරුවන්නට භාවිත කරති. ආගම වෙනුවෙන් ඇති කරන පණිවිඩයක් මෙසේ ආගමට එරෙහි ව යතැයි සිතන්නේ එහෙමත් කෙනෙකි. එහෙත් ඒ ලෝක ස්වභාවය ය. හිතු දේ නොම වෙන, නොසිතු දෙය ම වන ලෝක ස්වභාවය ය.

සංහිඳියාව වෙනුවෙන් වැඩ කළ, වැඩ කරන අය කියන්නේ, මුස්ලිම් ජනතාවට විරුද්ධව කළ ප්‍රකෝපකාරී ක්‍රියා නිසා, මුස්ලිම් අන්තවාදීන් ශක්තිමත් වීම මේ තත්ත්වයට තුඩු දුන් බව ය. ඔවුන්ගේ ඇඟිල්ල යොමු වන්නේ බොදුබල සේනාවට, රාවණා බලයට හා මහසෝන් බළකායට ය. බේරුවල දිගන සිද්ධිවල වගඋත්තර කරුවන්ට ය. ඔවුන්ගේ අදහස මේ භේද ඇති කරන්නන් ආණ්ඩු මට්ටු කර, ජනවාර්ගික භේද දුරලා, අප වඩ වඩාත් ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ඇති කිරීමට කැප විය යුතු බව ය. සංහිඳියාව වෙනුවෙන් අන් කවරදාටත් වඩා පෙනී සිටිය යුතු බව ය. මුස්ලිම් අන්තවාදීන් ද මුල කියූ කාරණාවලට එකඟ වුව ද, ඒ සඳහා දෙන උත්තරයට එකඟ වන්නේ නැත. එම උත්තරය මුස්ලිම් අන්තවාදීන්ගේ අපේක්ෂාව නොවේ. ඔවුන්ට අවශ්‍ය භේද තව දුරටත් වැඩි දියුණු කිරිමට ය. නැති භේද ඇති කිරීමට ය. ඒ නිසා, මෙතැනදීත් ඔවුන්ගේ පණිවිඩය අසමත් ය.

මුස්ලිම් අන්තවාදීන් මට්ටු කිරීමට ඉදිරිපත් වූ සිංහල බෞද්ධ අන්තවාදී සංවිධාන කියනු ඇත්තේ, අප එදා පෙන්වා දුන් විදිහට මුස්ලිම් අන්තවාදින් මට්ටු කළේ නම්, අද මෙවැන්නක් කිරීමට ඔවුන් මෙසේ ශක්තිය ගොනු කර නොගනු ඇති බව ය. ඒ කියන්නේ එක් කට්ටියක් මේ සිදුව ඇත්තේ ඉල්ලන් කෑමක් යැයි කියන විට, ඊට ප්‍රතිපක්ෂව ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය කියන්නේ, නයි රෙද්ද අස්සේ දමා ගෙන කනවා යැයි දැන් කෑගසන බව ය. කළ යුත්තේ හුරතල් කිරීම නොව, ලවක් දෙවක් නැතිව නෙළීම බව ය. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැති බවට මේ සිදුවෙමින් තිබෙන දේ කදි ම උදාහරණයක් යැයි එක් බුද්ධ පුත්‍රයකු කියන විට, තව කෙනකු කියනු ඇත්තේ, පෙනේ වත් පුප්පන්නේ නැතිව ඔහොම අහිංසක ගානට හිටියොත්, දර මිටි බඳින්නටත් ගනු ඇතැයි යන්න මෙයිනුත් ඔප්පු වනවා කියා ය. “භූමි පුත්‍ර“ සංකල්පය දරණ අය කියනු ඇත්තේ, ප්‍රශ්න ඇති කරන අන්‍ය ජන වර්ග, රටින් පිටමං කළ යුතු බව ය. ඒ ඇරෙන්නට වෙන උත්තරයක් නැති බව ය. මෙසේ එකිනෙකට වෙනස් මති මතාන්තර තහවුරු කිරීමට මේ එක ම සිද්ධිය භාවිත කළ හැකි ය.

සිතුදේ නොම වෙයි – නොසිතු දෙයක් වෙයි

බැලූ බැල්මට ඉහත කී එකදු ආස්ථානයක් වත් ඇති කිරීම බෝම්බය තැබූ අන්තවාදීන්ගේ අපේක්ෂාව නොවිය හැකි ය. අනෙත් අතට එවැනි ආස්ථාන ඇති වීම ම ඔවුන්ගේ අපේක්ෂා බිඳ වැටීමක් ද විය හැකි ය. එහෙත් කනගාටුවට කාරණය නම්, එවැනි බිඳ වැටීමක් අතිශයින් තාවකාලික වීම ය. එක් අන්තවාදයක පැවැත්ම අනෙක් අන්තවාදයට උඩ ගෙඩි දීමක් නිසා, දිගු කාලීන වශයෙන් සිදු විය හැක්කේ මුස්ලිම් අන්තවාදීන්ගේ අරමුණට එයින් ඔවුන් ද අපේක්ෂා නොකරන තල්ලුවක් ලැබීම ය. එක් දහස් නමසිය අසූ තුනේ කළු ජූලිය ලෙස හැඳින්වෙන ජාතිවාදී කෝලාහල, එල්ටීටීයට සොල්දාදුවන් නිර්මාණය කර දුන් ලෙසට, මුස්ලිම් අන්තවාදීනට අවශ්‍ය භට පිරිස් හදා දීමක් ඒ හරහා සිදු විය හැකි ය.

රටට අවශ්‍ය තද පාලකයකු යැයි අදහන අයට මේ සිද්ධිය ඊට ලබා දෙන අග්‍ර සාක්ෂියකි. “ඕක තමයි අපි දිගටම කියන්නේ“ කියමින් ඔවුහු මේ වනවිට හැම තැනකම තම අදහස පතුරුවමින් සිටිති. එවැනි පාලකයකු අද හෙටම ගෙන ඒමේ අවශ්‍යතාව නැවත නැවතත් කියති. ඒ වෙනුවෙන් අද අද ම වැඩ කළ යුතු බවට ශපථ කෙරෙති. ඒ ද බෝම්බය තැබූ අයගේ ඉලක්කය නොවිය හැකි ය. එහෙත්, එවැනි තද පාලකයකු අන්තවාදයක පැවැත්මට අවශ්‍ය ය. ත්‍රස්තවාදය බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදය අකුලා දැමීමට ගොඩ නැගෙන උත්තරය වන නිසා ය. එය ත්‍රස්තවාදය වැඩි වර්ධනය වීමට හොඳ තෝතැන්නක් සපයන නිසා ය.

අන්තවාදීන්ගේ අපේක්ෂා

ඒ සඳහා උදාහරණ ශ්‍රී ලංකාවෙන් සැපයිය හැකි ය. ජනතා විමුක්ති පෙරමුණ පළමු අවස්ථාවේ කැරලි ගසන්නේ බුරුතු පිටින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ය. දෙවැනි වතාවේ අවි අතට ගන්නේ ඔවුන් තහනම් කිරීමෙන් පසු ය. එල්ටීටීඊ ය ගොඩ නැගෙන්නේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රතිඥාවක් ගන්නට බල කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුවෙන් පන්නා දැමීමෙන් පසු ය.

එයින් ද පෙනෙන්නේ, අන්තවාදීන්ගේ අපේක්ෂාවට එරෙහිව යතැයි බොහෝ දෙනකු සිතන උත්තර, අවසානයේ ඔවුන් වෙනුවෙන් ම පෙනී සිටින බව ය. ඒ පැත්තෙන් ගත්තොත් ත්‍රස්තවාදීන් ජය ගෙන තිබෙන්නේ ය.

“රණවිරුවන්“ට විරුද්ධව නඩු පැවරීම සම්බන්ධයෙන් කෝප වී සිටි පිරිස් කියන්නේ, මේ නඩු හරහා බුද්ධි අංශ අඩපණ වීම ත්‍රස්තවාදීන් හිස එසවීමට හේතු වූ බව ය. ඔවුන්ට අනුව මේ අප විඳවන්නේ එසේ නඩු පැවරෙන තැනට වැඩ සිද්ධ වීමට ඉඩ සැලසූ නිසා ය. ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය පවසන්නේ, යුද්ධය අවසානයෙන් පසු බුද්ධි අංශ මෙහෙයවන ලද්දේ ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමට බව ය. එයින් ඇතැමෙක් කප්පම් ගැනීමෙන් වළ ඉහ ගැනීමට කල්පනා කළ බව ය. ඒ නිසා, බුද්ධි අංශ අඩපණ වූ බව ය. තවත් අය කියන්නේ ඔවුන් විසින් කරන ලද නොපනත්කම් නිසා ද මිනිසුන් අන්තවාදයට තල්ලු කරන්නට රුකුලක් වුණා වන්නට පුළුවන බව ය.

මේ සංවාදයෙන් අදහස් කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ත්‍රස්තවාදයට හුස්ම පිඹිය යුතු බව නොවේ. ත්‍රස්තවාදයේ සැපයුමට පහර දීම සඳහා ශක්තිමත් බුද්ධි අංශයක් තිබිය යුතු ය. හුරතල් කරන්නේ නැතිව, නීති කඩ කරන්නන්ට එරෙහිව අකුරට නීතිය ක්‍රියාත්මක කරන අතරතුර, තමනුත් ඒ නිතීයට ගරු කරන පොලීසියක්, ආරක්ෂක හමුදාවක් සිටිය යුතු ය. ඒ අර්ථයෙන් එවැන්නක් ක්‍රියාත්මක කරන තද පාලකයකු ද අවශ්‍ය ය. එහෙත් ඒ නීතියට උඩින් ඉන්නා පාලකයකු නොවේ. නීතියට යටත් පාලකයෙකි. ඒ පාලකයා, ආරක්ෂක අංශ මෙහෙයවා, ත්‍රස්තවාදීන් අල්ලා, උන්ට නීති ප්‍රකාරව දඬුවම් පැමිණවිය යුතු ය. එහෙත්, ඒ සියල්ලෙන් පසු ත්‍රස්තවාදය අවසන් වෙතැයි මොහොතකටවත් නොසිතිය යුතු ය.

අලියා හඳුනා ගැනීම

මේ අප කී හැම කතාවකින් ම ප්‍රශ්නයේ එක පැතිකඩක් ප්‍රදර්ශනය වනවා වන්නට පුළුවන. එහෙත්, ඒ එකක්වත් තනිවම සමස්ත ප්‍රශ්නය අල්ලා ගන්නේ නැත. මේ කතා කියන අය තම තමන්ගේ කතා ගැන කතා කළාට, අනෙත් කතා ගැන තබන නිශ්ශබ්දතාවයෙන් පෙන්වන්නේ අලියා හඳුනා ගන්නට තැත් කළ අන්ධයන්ගේ ස්වභාවයම ය. තමන් අල්ලා ගෙන ඇති කෑල්ල දක්වමින්, එය ම උඩ දමමින්, සතා මේ යැයි සපථ කර අපට කීමට ය.

ත්‍රස්තවාදයේ සැපයුමට පහර දෙන අතරේ, ත්‍රස්තවාදයේ ඉල්ලුම ඇති කරන හේතු ද විමසිය යුතු ය. ඒවා ද නැති කර දැමීමට කටයුතු කළ යුතු ය. ඉල්ලුම ඇති කරන්නේ සුළු ජන වර්ගයන්ට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන හිංසනයන්ය. ඔවුන් ප්‍රධාන ධාරාවෙන් අයින් කර දැමීමෙන්ය. ඔවුන්ගේ දුක් ගැනවිලි හමුවේ කිසි දෙයක් නොකර සිටීමෙන් ය. ඒ ඉල්ලුම නැති කිරිමේ ක්‍රියාමාර්ග නොගෙන, සැපයුම විතරක් නැති කර දැමීම ප්‍රමාණවත් නැත.

බොහෝ දෙනකුට අවශ්‍ය, තමන් දැනටමත් දරමින් සිටිනා දේශපාලන හෝ ආගමික මතය තහවුරු කර ගැනීම සඳහා, මේ සිද්ධිය සාක්කියක් ලෙස යොදා ගැනීම පමණ ය.

මීට අමතරව සැවොම බලන්නේ, සිද්ධියේ වගකීම අන් අය වෙත, ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව වෙත පවරා තමන් නිදහස් වීමට ය. තමන්ගේ කඳවුර නිදහස් කර ගැනීමට ය. වැරැද්ද ඇත්තේ අනෙකාගේ ය. අපට ඒ නිසා වගකීමක් නැත. අපට කළ හැකි දෙයක් නැත. ඉගෙන ගන්නට දෙයක් ඇත්නම් ඒ අනුන්ට ය. තමන්ට නොවේ ය.

මේ හේතු නිසා අප මේ සිද්ධියයෙන් ද පාඩම් ඉගෙන ගන්නා එකක් නැත. විය හැකි එක ම දෙය නම්, ලේ වැගිරීම් සහිත කෝලාහල සිදු වන තීව්‍රතාව තව තවත් වැඩි වීම ය. ඒවා අතර කාලාන්තරය තව තවත් අඩු වීම ය.

ව්‍යසනයකින් අප යමක් ඉගෙන ගන්නවා නම්, ව්‍යාසනය ඇති කරන පාඩුව එක් අතකට තාවකාලික යැයි සැළකිය හැකි ය. එහෙත් ඒ වෙනුවට අප පාඩම් ඉගෙන ගන්නට අසමත් වීම නිසා, එය දිගින් දිගට නැවත නැවතත් සිදු වේ නම්, එය සදාකාලික අවාසනාවකි.

සංවාදයකින් ඉගෙනීම

යම් බරපතළ හානියක්, ව්‍යාසනයක් සිදු වූ විට, අදාළ වගකිවයුත්තන් විසින් ඒ පිළිබඳ ප්‍රමාණවත් සංවාදයක් පැවැත්විය යුතු ය. ඒවා අහුමුළුවල කෙරෙන අවිධිමත් කතාවලට සීමා නොවී, විධිමත් ලෙස කළ යුතු ය. ඒ සඳහා ප්‍රමාණික බුද්ධිමතුන්ගේ මතයන් විමසිය යුතු ය. ඔවුන්ට එකිනෙකා හා වාද විවාද කරමින්, ඇතිවුණු සිද්ධිය විච්ඡේදනය කරමින්, හරවමින්, පෙරළමින්, බලන්නට අවස්ථාව දිය යුතු ය. ඒවාට හැකිතාක් පුළුල් සහභාගිත්වයක් ලබා ගත යුතු ය. සංවාදය අවසානයේ උගත් පාඩම් ලේඛනගත කළ යුතු ය. ඒ පාඩම්වලට අනුව නැවත එවැනි ව්‍යාසනයක් ඇති නොවීමට ගන්නා වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් විය යුතු ය. ඒ සඳහා එක් එක් පාර්ශ්වයට ඇති වගකීම් නිශ්චය ලෙස දැක්විය යුතු ය. ඒ වැඩපිළිවෙළ නිසි පරිදි සිදු වන බවට වග බලා ගැනීමට, පසුවිපරම් යාන්ත්‍රණයක් සකස් කළ යුතු ය. ඒ හරහා වැඩ පිළිවෙළේ ප්‍රගතිය වරින් වර සමාලෝචනය කළ යුතු ය. ප්‍රතිඵල ප්‍රමාණවත් නැතිනම්, වැඩපිළිවෙළ නැවත විමසිය යුතු ය.

එසේ නොකර, තම මතවාදය තහවුරු කරන සිල්ලර මඟකට බොහෝ දෙනෙක් පිවිසෙති. අපේ අවාසනාව එය ය. අපට ඇත්තේ උගත් පාඩම් නොවේ. කප්පරක් වන නූගත් පාඩම් ය. එයට එක් හේතුවක් වන්නේ, මේ කතා කියන බොහෝ අය ඉතිහාසය හදාරා නැති වීම ය. මේ ත්‍රස්තවාදීන් බිහි කරන හේතු පිළිබඳ මනෝ විද්‍යාත්මක හෝ සමාජ විද්‍යාත්මක දෘෂ්ඨියකින් කරුණු හදාරා නැති වීම ය. වෙනත් රටවල මේ හා සමාන සිද්ධි පිළිබඳ හදාරා නැති වීම ය. ඒවා ගැන විමසන්නට අවශ්‍ය යැයි ඔවුන්ට හැඟෙන්නේ ද නැත. අලුතින් ඉගෙන ගන්නට ඕනෑ යැයි ඔවුන්ට හිතෙන්නේ ද නැත. වැරැදුණේ කොහේ දැයි සෙවීම සඳහා නැවත නැවතත් විමසිය යුතු යැයි ඔවුන් හඟින්නේ නැත.

දැනටමත් කොමිසමක් පත් කර තිබේ. ඒ, වගකිව යුත්තන් සොයන්නට ය. එය ද අවශ්‍ය ය. එහෙත්, වඩාත් අවශ්‍ය උගත හැකි පාඩම් විමසීමට කොමිසමක් පත් කිරීම ය. ත්‍රස්තවාදයේ සැපයුම පමණක් නොව, ඊට ඇති ඉල්ලුම ද පාලනය කළ හැක්කේ කෙසේ දැයි සොයා බැලීම ය.

රටවල් ඉදිරියට යන්නේ තමන්ගේ වැරැදීම්වලින් ඉගෙන ගන්නට ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග නිසා ය. එසේ නොකරන ජාතීන්ට සිදු වන්නේ, සෙසු ජාතීන් තමන් පසු කරමින් යන හැටි බලන්නට ය. එසේ බලමින් ලතවන්නට ය. එකක් පසු පස එකක් එන මෙවැනි ඛේදවාචකයන්ට නැවත නැවතත් මුහුණ දීමට ය.

අප තේරුම් ගත යුත්තේ, කිසිවකු වෙනස් නොවේ නම් කිසිවක් වෙනස් නොවන බව ය. කිසිවකු යන පදයට තමන් ද අයිති බව ය. අනෙකා වෙනස් කිරීමට වඩා, පහසු තමන් වෙනස් වීම ය. එවිට එහි ප්‍රතිඵලයක් ලෙස අනෙකා ද වෙනස් වන්නට නියමිත ය. ඉගෙනීම වඩාත් අවශ්‍ය, තමන් වෙනස් විය යුත්තේ කෙසේ දැයි සොයා ගැනීමට ය.

නිශාන්ත කමලදාස

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *