වතු සේවක සටනට සහය දෙන්න අනුර නුවරඑළියේ… බිමල් හැටන්
වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප රු.1000/= දිනාගැනීමේ සටන ජාතික සටනක් බවට පත්වී තිබේ. පසුගිය කාලයේ වතු සේවක සංගම් පමණක් විසින් ගෙන ගිය අරගලය දැන් සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂවලද සහය ලැබෙමින් තිබේ. ජවිපෙ නියෝජනය කරන සමස්ත ලංකා වතු කම්කරු සංගමයද, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයද මෙම සටන් පාඨය සමඟ මුල සිටම අරගලයක නිරත විය. ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් නියෝජනය කරන වතු සංගම් මෙම සටන පාවාදීමෙන් පසු වුවද මෙම සටන අඛණ්ඩව කරගෙන යාමට ජවිපෙ වතු සේවක සංගමය කටයුතු කරමින් සිටියි. මේ සම්බන්ධයෙන් ජවිපෙ නායකයින්ගේද විශේෂ අවධානයක් යොමු වූ අතර ජවිපෙ නායක අනුර දිසානායක මෙම මස මුල් සතියේ දින කිහිපයක් හැටන් නගරයේදී වතු කිහිපයක සේවකයින් හමුවිය. මේ අතර වතුකම්කරු ජනතාවගේ ඉල්ලීමට අනුව මෙම මස 21දින ජවිපෙ නායක අනුර දිසානායක නුවරඑළිය නගරයේදී වතු සේවකයින් හමුවී ඔවුන්ගේ ගැටලූ සාකච්ඡුා කිරීමට පියවර ගත්තේය. එමෙන්ම හැටන් නගරයේ වතු සේවකයින් හමුවීමට ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක ඉදිරියේදී හැටන් නගරයේ සංචාරයක නිතර වීමට නියමිතය.
ක්ෂුද්‍ර මූල්‍ය ණය අවුල කෝප් කමිටුවට…
ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීම නිසා රට පුරා ජනතාව මහත් අර්බුදයකට පත්ව සිටියි. මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගත නොහැකි ණයලාභීන් විසින් සියදිවි නසාගත් අවස්ථාද නිතර වාර්තා වෙමින් තිබේ. බොහෝ ආර්ථික අපහසුතා මැද සිටින ග්‍රාමීය ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන තව තවත් අර්බුදයට යෑම පිළිබඳව ආණ්ඩුවේ පවා අවධානය යොමු වීමට පටන් ගත්තේ ජවිපෙ නායකයින් පාර්ලිමේන්තුව තුළත් ජනහමුවලදීත් මෙහි බැරූරුම් තත්වය පැහැදිලි කිරීමට පටන් ගත් මොහොතේ සිටය. ණය ගෙවීම් පැහැරහැරීමේ තත්වය හේතුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතනත් අර්බුදයකට මුහුණ දෙන්නට විය. මේ සම්බන්ධයෙන් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් හිමිකරුවන්ගේ සංගමය ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගෙන් සාකච්ඡුාවක් ඉල්ලා සිටියේ මෙම තත්වය පිළිබඳව සාකච්ඡුා කිරීමටය. ඒ අනුව පසුගිය 20වැනිදා ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් හිමිකරුවන් පිරිසක් සහ මන්ත්‍රීවරයා අතර විශේෂ සාකච්ඡුාවක් පැවැත්විණි.
”ඇතැම් පුද්ගලයින් හා කුඩා සමාගම් අවිධිමත් විදියට ණය දෙන්න පටන් අරගෙන තිබෙන නිසා අපේ සමාගම්වලටත් අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා. ඇතැම් පුද්ගලයින් දෛනික පොලියට ණය දෙනවා. පොලී අනුපාතය 200%යි. අපේ සමාගම් ඒ වගේ ණය දෙන්නේ නැහැ. අපි ණය දෙන්නේ ජනතාවගේ සංවර්ධනය ව්‍යාපෘතිවලට. ඒ නිසා ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳව දැන් රටේ තියෙන්නේ නරක චිත්‍රයක්.” සමාගම් හිමිකරුවෙක් පැහැදිලි කළේය. ”ක්ෂුද්‍ර මූල්‍ය ණය ගත්ත ලොකු පිරිසක් දැන් ණය ගෙවාගන්න බැරුව ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. මිනිස්සු ආර්ථික අමාරුකම් නිසා ඕනෑම තැනකින් ණය ගන්න පෙළඹෙනවා. පස්සේ ණය ගෙවාගන්න බැරුව සියදිවි නැති කරගන්න පවා පෙළඹෙනවා. මේක ආණ්ඩුවක් විදියට මැදිහත් වෙන්න ඕනෑ ප්‍රශ්නයක්. ව්‍යාපාරිකයින් ගැන වගේම ජනතාව ගැනත් හිතන්න ඕනෑ.” මන්ත්‍රීවරයා කීය. ”ඔව් මන්ත්‍රීතුමා, අපි කියන්නෙත් මේක මහ බැංකුව මැදිහත් වෙලා නියාමනය කරන්න ඕනෑ. විධිමත් විදියට ණය දෙන ආයතනවලටත් මේක ගැටලූවක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමාලා මැදිහත් වෙලා මේක නියාමනය කරන්න ආණ්ඩුවට බලපෑම් කරන්න.” ක්ෂුද්‍ර මූල්‍ය හිමිකරුවෝ ඉල්ලා සිටියහ. ”ඔව් අපේ පැත්තෙන් මැදිහත්වීමක් කරනවා. මම මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න මහ බැංකුව කෝප් කමිටුවට කැඳවන්නම්.” සුනිල් හඳුන්නෙත්ති පොරොන්දු විය. ”ඒ වගේම මන්ත්‍රීතුමා තව ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව කිවුවා ජනතාව අරගෙන තියෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහරින්න ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට මුදල් වෙන් කරනවා කියලා. නමුත් වෙන් කරලා නැහැ. දැන් මිනිස්සු ණය ගෙවන එක නවත්වලා ආණ්ඩුව සමාගම්වලට මුදල් දුන්නා කියලා හිතලා. මේකත් ලොකු අවුලක්.” සමාගම් හිමිකරුවෙක් කීය. ”මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි මේ ගැන මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එක්ක කතා කරමු. මේ සාකච්ඡුාව ඉදිරියට ගෙනියන්න වෙන එකක්.” මන්ත්‍රීවරයා පැහැදිලි කළේය. ඒ අනුව ඉදිරියේදී නැවත සාකච්ඡුා කිරීමේ බලාපොරොත්තුවෙන් සාකච්ඡුාව අවසන් විය.
ඇලෝසියස්ගෙන් අයවිය යුතු ලක්ෂ 506ක බද්දකටත් පොල්ලක්… වෛද්‍ය නලින්ද ජයතිස්ස හෙළිකරයි..
මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලැබ සිටින අර්ජුන ඇලෝසියස්ට අයත් සමාගමකට පනවා ඇති ලක්ෂ 506ක සුරා බදු මුදලක් ආණ්ඩුව විසින් අයකර ගැනීමට කටයුතු නොකර ඇතැයි ජවිපෙ මන්ත්‍රී නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. ඔහු නියෝජනය කරන පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාවේ විමර්ශනයකදී මේ බව හෙළිව තිබේ. රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කොට ඇති විගණන වාර්තාවක මේ බව සඳහන් වී ඇති අතර 2015 මැයි මාසයේදී අර්ජුන ඇලෝසියස්ට මෙම බදු මුදල ගෙවීමට නිර්දේශ කොට ඇත. එහෙත් මේ වන තෙක් ගෙවීට කටයුතු කර නැති අතර මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රශ්න කළේය.
”ඒ විතරක් නෙවෙයි අර්ජුන් ඇලෝසියස් අයත් ස්කාගාරයකට කළුතර බේරුවල පැත්තෙන් පොල් ගස් 70,000කින් රා මදින්න අවසර දෙන්න මේ දවස්වල ආණ්ඩුවේ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් බැහැලා වැඩ. මේ අය සුරා බදු දෙපාර්තමේන්තුවට බලපෑම් කරනවා. පොල් ගස් 70,000ක් කියන්නේ පොල් අක්කර දහසක් විතර අයත් වෙනවා.” මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.
