කතුනට යන්න කෝච්චි පෙට්ටි – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත
තවත් කාන්තා දිනයක් ගෙවී ගොස් තිබේ. ඒ නිමිත්තෙන් රාජ්‍ය උත්සව ද වෙනත් සම්මන්ත්රණ රැස්වීම් ආදිය ද පවත්වනු පෙනිණ. කාන්තා දිනය වෙනුවෙන් කාන්තාවන් ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයකින් යුතු ගුවන්යානයක් සිංගප්පූරුව දක්වා පියාසර කරවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කළ බවද කියැවිණි. කාන්තා දිනය වෙනුවෙන් කෙරුණු තවත් කටයුත්තක් වූයේ කාර්යාල දුම්රිය කිහිපයක කාන්තාවන් සඳහා වන මැදිරි වෙන් කිරීමය . එසේ දුම්රියවල කාන්තා මැදිරි වෙන් කිරීමට හේතුව පොදු ප්‍රවාහනයේ දී කාන්තාවට හිරිහැර විශේෂයෙන් ලිංගික හිංසනයට ගොදුරු වීමට සිදු වීම වැලැක්වීම බවද සඳහන්ය. ගැටලුව වන්නේ ඉහත ක්‍රියාමාර්ග එනම්, කතුන්ගේ ගුවන් යානා පියාසර කරවීම, දුම්රිය මැදිරි වෙන්කිරීම ආදිය මගින් කාන්තාවන්ගේ සැබෑ ගැටලු වලට ලැබෙන විසඳුම කුමක්ද? යන්නය . එසේම ඒවා හුදු ප්‍රචාරය ඉක්මවා යන ආකාරය කුමක්ද? යන්නයි.
දුම්රියේ ගමන් කරන කාර්යාල සේවිකාවන් කියා සිටියේ කාන්තාවන්ට අවුරුද්දකට දවසයි. දුම්රියකට මැදිරියයි කියාය. දුම්රිය වල කාන්තා මැදිරි වෙන් කිරීමේ අරමුණ දුම්රිය තුල කතුන් ලිංගික හෝ වෙනත් අඩන්තේට්ටම්වලට ලක් වීම වැලැක්වීම නම් එහි දී දුම්රියේ ගමන් කරන කාන්තාවන්ගේ අනුපාතයට සමාන අනුපාතයකින් මැදිරි වෙන් කළ යුතුවේ. එය බරපතල කටයුත්තකි. ඒ සඳහා ඒ ඒ දුම්රියවල කෙතරම් සංඛ්‍යාවක් කතුන් සහ පිරිමින් ගමන් කරන්නේද යන්න පිළිබඳව මුලින්ම සංගනනයක් කළ යුතුය.
අනෙක් කරුණ වන්නේ කාර්යාල දුම්රියවල ඔය කියන කාන්තා හිංසනය කොතෙක් පවතීද යන්නයි . හේතුව කාර්යාල දුම්රිය ගමන් කරනුයේ නිරන්තරව යන එන මගීන් පිරිසකි. ඔවුන් ඇතැම් විට නම් වශයෙන් සහ මුහුණුවරින් දන්නා හඳුනන අයය . බොහෝවිට කාර්යාල දුම්රියවල මගින් ගමන් කරනුයේ ද තෝරාගත් දුම්රිය මැදිරියකය . එමෙන්ම කණ්ඩායම් වශයෙනි . ඔවුහු එක්ව විනෝද චාරිකා, නිවෙස් වල මංගල අවමංගල අවස්ථා ආදියට සම්බන්ධ වෙති. පවුල් අතර පවා ඒ අනුව මිතුරු සබඳතා පවතී. එවැනි තත්ත්වයක කලාතුරකින් මිස කාර්යාල දුම්රිය වල කතකට හිරිහැරයකට ලක්වීමට සිදු වන්නේ නැත. ඒ වෙනුවට ඇත්තේ අන්‍යෝන්‍ය වශයෙන් උපකාරී වීමය . කාර්යාලය දුම්රිය වලට සාපේක්ෂව වෙනත් දුම්රියකදී කතක් විශේෂයෙන්ම තනිව ගමන් කරන කාන්තාවන් අපහසුතාවලට ලක්වීමට ඇති ඉඩකඩ බහුලය. එහෙත් මැදිරි වෙන් කිරීම සිදුවී ඇත්තේ කාර්යාල දුම්රිය සඳහා පමණි.
කාන්තාවන් සඳහා දුම්රිය මැදිරි වෙන්කර තැබීම මීට පෙරත් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කළ කටයුත්තකි . කාලයාගේ ඇවෑමෙන් කතුනගේ මැදිරි දුම්රිය වලින් ගැලවී ගියේය .එසේ එම මැදිරි නැතිවී යාමට හේතුව කතුනට මැදිරි වෙන්කරන්නට පෙර වත්මන් පරිපාලනය විසින් සොයා බැලුවේ ද යන්න ගැටලුසහගතය . එසේ සොයා බැලුවේ නම් පෙර වතාවේ කාන්තා මැදිරි ඇතිවී නැති වීමට හේතුව දැනගෙන ඊට බලපෑ හේතු වළක්වා ගන්නට පුළුවන් වන බැවිනි .
කාන්තා හිංසනය යනු කවරාකාරයකින්බැලුවද ප්රශ්නයකි . නිවසේදී ගෘහස්ත හිංසනයටත් , කාර්යාලයේදීත් මහමගදීත් කොතැනක දී කතුන් හිරිහැරයට ලක් වෙති . ගැටලුව වන්නේ ,කතුනට දුම්රිය මැදිරි හෝ බස්රථ හෝවෙන්කිරීමෙන් එකී ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාදෙනු හැකිද යන්නයි. ඇතැම්විටක මෙවැනි සිල්ලර ප්රයත්න සැලකිය හැක්කේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම වැනිය කියාය.
කාන්තා හිමි හිංසනය ඉබේ හටගන්නක් නොවේ. එය සමාජ ප්රශ්නයකි. ඒ සඳහා ඇති තිරසාර විසඳුම වන්නේ සමාජය ආකල්පමය වෙනසකට ලක්කිරීමය . එනම් කාන්තාවන් කෙරෙහි ගෞරවයෙන් සලකන වටපිටාවක් සමාජයේ ඇති කිරීමය. එය ප්‍රවාහන ඇමතිවරයාගේ විෂය පථය තුළ කළහැකි දෙයක් නොවේ . ඊට මුලපුරන්නට හැකි හොදම ස්ථානය පාසලයි . ආගමික ස්ථානවලටත් ජනමාධ්‍යයටත්, කලාකරුවන්ටත් ඒ සඳහා යම් දායකත්වයක් ලබා දෙන්නට පුළුවන්කම තිබේ.
එහෙත් මේ වනවිට පාසල, ආගමික සිද්ධස්ථාන, කලාව, ජනමාධ්‍ය ආදිය ද පවතින්නේ හිංසනයට පාර කපන ආයතන වශයෙන් මිස එය වළක්වන ආයතන වශයෙන් නොවෙයි. දේශපාලනය ගත්කල කතුනට නිසිතැන ලබාදීම සඳහා පළාත් පාලන ආයතන ආසන වලින් 22% ක් කතුනට වෙන්කිරීම ව්‍යවස්ථාපිත කළ කළ කතුන්ම කීවේ නාමයෝජනා ලබාදීම සඳහා ශාරීරික අල්ලස් ඉල්ලූ බවයි .
දරුවන් පාසලකට ඇතුලත් කරගැනීමට දරුවාගේ මව නිදියහනට කැඳවන සමාජයක කාන්තා නිදහස යථාර්ථවත් කිරීම පහසුවන්නේ නැත. උසාවියේදී කතුන් හිරිහැරයට ලක් වන ආකාරය වික්ටර් අයිවන් මහතා ගේ ලේඛනවලින් බලාගන්නට පුලුවන.
උතුරේත් දකුණේත් අතුරුදහන්වුවන්ගේ මව්රුන්, බිරින්දවරුන්ගේ කඳුළු තවමත් වියලි නැත. උතුරු නැගෙනහිර සටනේදී පමණක් නොවේ . දකුණේ කැරැල්ලට ගොදුරු වූවන්ට පවා විසඳුමක් ලබා දෙන්නට ආණ්ඩුව අසමත් ව සිටීම තේරුම් ගත යුත්තේ කෙසේද?
විදෙස් රැකියාවල නියුතු කතුන්ගේ ප්‍රශ්නත් තවත් එකකි . විශේෂයෙන්ම මැදපෙරදිග ආදී රටවල ගෘහ සේවිකාවන්ගේ පවුල් වල ගැටළු අතිශය බරපතළ ය. විදෙස්ගතවන ගෘහණියගේ ගැටළුවට ආණ්ඩුව දුන් පිලිතුරද දුම්රිය මැදිරියේ වෙන් කිරීම හා සමාන පැලැස්තර විසඳුමකි . එනම් බාලවයස් දරුවන් ඇති මව්වරුන්ට විදෙස් රැකියාවලට යාමට කොන්දේසි පැනවීමයි . දරුවන් බිහිකිරීම රැකියා කිරීමේ අයිතිය උල්ලංඝනය කර ගැනීමක් බවට ඒ නිසා පත්විය. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන ප්‍රධාන සාධකය වන විදේශ ශ්‍රමික සේවය කෙරෙහි පාලක පිරිස දක්වන ආකල්පය තරම එයින් පැහැදිලිය. කතුන් විදෙස්ගත වීමෙන් දරුවන්ට ගැටලු ඇති වන්නේ නම් කළ යුතුව තිබුණේ කතුනට රැකියා කිරීමේ අයිතිය නැති කිරීම නොවේ. උපදේශන ,සමාජ සේවා , ළමා රැකවරණ සේවා, දාරකාගාර ආදිය බලවත් කිරීමයි.
දැන් කතුන් මුහුණ දෙන බරපතළම ගැටලුව බවට පත්ව ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය ණය තොන්දුවයි . මොහොමඩ් යුනුස් බංගලිදේශයේ ග්‍රාමීන් බැංකුව හරහා ක්ෂුද් මූල්‍ය බැංකු ක්‍රමය කතුනට හඳුන්වා දුන්නේ ග්‍රාමීය සමාජයේ දුප්පත්කම දුරු කරලීම සඳහා කතුන් බලගැන්වීමේ අරමුණ ඇතිවය. නමුත් ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක ක්ෂුද්මූල්ය සමාගම් බොහොමයක් කටයුතු කරන්නේ කතුන් සූරාකෑමේ ජාවාරමක් වශයෙනි.
ඇතැම් තැන්වලදී කතුන් සිය දිවි නසාගන්නා තරමටත් පවුල් කඩාකප්පල් වන තරමටත් ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව මුහුකුරා ගොස් තිබේ. පසුගිය දිනෙක මුදල් ඇමැතිවරයා පවසා තිබුණේ කතුන්ගේ ක්ශුද්‍ර මූල්‍ය ණය ගෙවීමට ආණ්ඩුව ඉදිරිපත් වන බවයි . බැලූ බැල්මට ජනප්‍රිය යෝජනාවක් වන එය කතුනට උපකාරයකට වඩා ගිනිපොලී සමාගම් ගොඩ දැමීම සඳහා ජනතා මුදල් වැය කිරීමක් වනු ඇති බව යථාර්ථයයි . මුදල් අමාත්‍යංශය හෝ මහ බැංකුව කළ යුත්තේ ගිනි පොලීකාරයන්ට කතුන් ගිලගනිමට ඉඩහැර බලා හිඳ අවසානයේ ජනතා මුදල් පොලී කාරයන් පෝෂණයට යෙදවීමද?
ඉහත කරුණු බොහෝමයක් අනුව පෙනීයන්නේ කතුන්ගේ සැබෑ ගැටලු විසඳීම් වෙනුවට බලධාරීන් පැලැස්තර ප්‍රදර්ශනය කරමින් සිටින බවය. රටට අවශ්‍යව ඇත්තේ රටට අවශ්‍යව ඇත්තේ කාන්තා දින උත්සවය වසරකට වරක් සමරන කාන්තා කටයුතු අමාත්‍යංශයක් නොව කතුන්ගේ සැබෑ ගැටලු හඳුනාගනිමින් අවුරුද්ද පුරා කතුන් වෙනුවෙන් දියත් කෙරෙන වැඩසටහන් මාලාවකි. එසේ නොවන තුරු සිදුවනු ඇත්තේ වසරින් වසරට කාන්තා ප්රශ්නය සෝද සෝදා මඩේ දැමීම පමණි.
