ගෝඨාව ආරක්ෂා කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට කරන්නාගොඩටත් !

හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ එවැනි අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ප්‍රකාශ කරමින් හිටපු නාවික හමුදාපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

තමන් අත්අඩංගුවට ගැනීම වලක්වා ලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් කරන්නාගොඩ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම, බුවනෙක අළුවිහාරේ, විජිත් මළල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද විභාග කෙරිණි.

2008 වසරේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් කරන්නාගොඩ මහතාට චෝදනා එල්ල වී තිබේ. කෙසේ වෙතත් ඔහුගේ නීතිඥවරුන් අද අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළේ අදාල සිදුවීම සිදු වූ වකවානුවේදී නාවික හමුදාව තුළ මෙන්ම ඉන් පරිබාහිරවද සිදුකළ කිසිදු පරීක්ෂණයකින් කරන්නාගොඩ මහතා අදාල සිදුවීමට සම්බන්ධ බවට කිසිදු චෝදනාවක් එල්ල නොවූ බවයි. එසේ තිබියදී වසර 10 කට පසුව තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව නීතිඥවරු අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කියා සිටියේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ප්‍රකාශ කළේ පරීක්ෂණ කටයුතු බොහෝදුරට අවසන් කර ඇති බවයි. පෙත්සම්කරුගෙන් අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට තිබෙන බව ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී ප්‍රකාශ කළේය.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම වැලැක්වුවහොත් එය පරීක්ෂණවලට බාධාවක් වියහැකි බවයි.

සියලු පාර්ශ්වයන්ගේ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වලක්වා ලන නියෝගයක් නිකුත් කළ අතර පෙත්සම්කරුට නියෝග කළේ අදාල සිදුවීම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසයි.

මීට පෙර හිටපු ආරක්ෂක ලේකම්වරයා ද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් තමන්ව අත්අඩංගුවට ගැනීම වලක්වා ලන නියෝගයක් ලබාගත් අතර මෙය දැන් සම්ප්‍රදායයක් බවට පත්වෙමින් තිබේ. තරුණයන් 11 දෙනා පැහැර ගැනීමේ සිදුවීමේ සැකකරුවෙකු වන නේවි සම්පත් නමැත්තාට රැකවරණය ලබාදීමට සහ ඔහුව නීතිවිරෝධී ලෙස රටින් පැනයාමේ සිදුවීමට කරන්නාගොඩ මහතා සම්බන්ධ බවට පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. එසේ තිබියදී කරන්නාගොඩ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම නීතිය විසින්ම වලක්වාලීමක් ලෙස මෙය සැලකිය හැකිය.

නීතිය විසින්ම සැකකරුවන් ආරක්ෂා කරන්නේ නම් අතුරුදන් වූ තරුණයන්ගේ දෙමාපියන්ට සහ ඥාතීන්ට සැකකරුවන් ආරක්ෂා කරන නීතියෙන් පිළිසරණක්, සාධාරණයක් ඉටුවනු ඇතැයි විශ්වාසය තැබිය හැකිද ?

අනෙක් අතින් අපරාධවලට වංචා දූෂණවලට සම්බන්ධ බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇති ගෝඨාභයලා, කරන්නාගොඩලා ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින නීතියම අසරණ ජනතාව බුරා පනින්නේ කිසිදු සාධාරණත්වයකින් තොරවයි. ගෝඨාභයලා, කරන්නාගොඩලා රකින නීතියම පොල්ගෙඩි කිහිපයක් සොරකම් කළ දරුවා වැරදිකරුවෙකු කරයි, අඹ ගෙඩි කිහිපයක් සොරකම් කළ කාන්තාව සිරගෙට නියම කරයි.

lanka news web

Leave a Reply

Your email address will not be published. Required fields are marked *